Connect with us

පුවත්

තකිකෝ යොෂිඩා මැතිණියගේ 115 ජන්ම සමරුව අදයි

Published

on

ජපානයේ දොරටුව ලාංකිකයන්ට විවර කර දුන් තකිකෝ යොෂිඩා මැතිණියගේ 115 ජන්ම සමරුව (16) අදයි.

යොෂිඩා මැතිණියගේ 115 වන ජන්ම සමරුව නිමිත්තෙන් අද (16) සපුගස්කන්ද යොෂිඩා පෙර පාසල හා යොෂිඩා ෂෝකන්ජි ජාත්‍යන්තර පාසල පවත්වන සමරු උත්සවය එම විද්‍යාලයේ පරිශ්‍රයේ පැවැත්වෙන බව එහි අධ්‍යක්ෂ හේමකුමාර ගුණසේකර මහතා පවසයි.

“ඔකාසන් අම්මා” හෙවත් තකිකෝ යොෂිඩා මැතිණිය
පරමාණු බෝම්බයෙන් සම්පූර්ණයෙන්ම විනාශ වුණ ජපානය යළි නැඟී සිටියේ ඒ රටේ මිනිස්සු තුළ ඇති වුණ ජාතික සංවර්ධන අභිලාෂයන් නිසයි.තමන්ගේ රට ගොඩනැගීමට ඔවුන් දිවා රෑ කැපවෙලා වැඩ කිරීම නිසා “ජපනා හපනා” කියන කතාව ලෝකෙට එකතු විය.

පසුගිය සියවසේ හත්වන දශකයේ අවසාන භාගය වන තුරු ජපානය සහ ශ්‍රී ලංකාව අතර ඒ තරම් සමීප බැඳීමක්, සබඳතාවක් නොතිබුණ අතර, ජපානයට ලංකාව විවෘත වීමට ප්‍රධාන වූ චරිතයකි තකිකෝ යොෂිඩා මැතිණිය.

අනගාරික ධර්මපාලතුමා ජපානයට ගොස් එරට තිබූ කර්මාන්ත සංවර්ධනය ගැන අධ්‍යනය කර ලංකාවේ  දේශීය කර්මාන්තකරණයකට මුල පිරීමට දැඩි උත්සාහයක් ගනු ලැබීය. ඒ වගේම ජපානයේ  ථෙරවාදී බුදු දහම ස්ථාපිත කිරීමටත් උන්වහන්සේගේ හදවතේ විශාල අදහසක්, උත්සාහයක් තිබුණත් උන්වහන්සේට අරමුණ ඉෂ්ඨ සිද්ධ කරගන්න නොහැකි වූයේ පැවති විවිධ බාධක නිසයි. ශ්‍රීමත් ධර්මපාලතුමන්ගේ ඒ අදහස ඉෂ්ඨ සිද්ධ වෙන්නේ උන්වහන්සේගේ මහාබෝධි සමාගමේ සෙවණ යටතේ හැදී වැඩුණු බානගල උපතිස්ස නායක හාමුදුරුවන් ජපානයේ  ලංකාජී විහාරය  ආරම්භ කිරීම තුළයි.

හැඩිගල්ලේ පඤ්ඤාතිස්ස නාහිමිපාණන් වහන්සේ සමඟ ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයේ බෝපාල් එහි සාංචි විහාරයේ වාසය කරමින් විදිසා හි අධ්‍යාපනය ලැබූ සමයේ සාංචි චේතියගිරි විහාරයට පැමිණෙන ජපානයේ මහා බෞද්ධ මහෝපාසිකාව වන තකිකෝ යොෂිඩා  මැතිණියට බානගල හිමියන් හමුවන්නීය.   එහි දී අහම්බෙන් තේ කෝප්පයකින් සංග්‍රහ කිරීම සමඟ ඇරඹි මේ දෙදෙනාගේ මාතෘ පුත්‍ර සබඳතාවය ඔස්සේ අනගාරික ධර්මපාලතුමන්ගේ ථෙරවාවාදී බුදු දහම ජපානයට ගෙනයෑමේ සිහිනය සැබෑ කරමින් බානගල හිමියන් ජපානයේ  සවාරා හි ලංකාජී විහාරය ගොඩනඟා එහි ජපානයේ ප්‍රථම ථෙරවාදී චෛත්‍යය ස්ථාපිත කරන්නේ  යොෂිඩා මැතිණියගේ අප්‍රතිහත ධෛර්ය හා සහයෝගය සමඟින් ය.

ඉන්දියාවේ අධ්‍යාපන කටයුතු හමාර කර ලංකාවට ඒමට නියමිතව සිටි බානගල හාමුදුරුවන් වැඩිදුර අධ්‍යාපනය ලැබීමට ජපානයට යාමට අවස්ථාවක් යොෂිඩා මැතිණිය ගෙන් ඉල්ලා සිටි අවස්ථාවේ යොෂිඩා මැතිනිය උන්වහන්සේට ජපානයට පැමිණීමට සියලු පහසුකම් සලසා දුන්නීය. යොෂිඩා මැතිණිය බානගල හාමුදුරුවන් ගෙන් අසා සිටියේ “ඔබ වහන්සේ උසස් අධ්‍යාපනය ලැබීමට අපේක්ෂා කරන්නේ කුමන  විෂයන් ද” කියා.එහි දී බානගල හාමුදුරුවන් කියා ඇත්තේ “තමන් උසස් අධ්‍යාපනය සඳහා තෝරා ගන්නේ පූර්ව ළමාවිය සංවර්ධනය හෙවත් ලදරු අධ්‍යාපනය කියන විෂය” බවය.ජපාන අධ්‍යාපනයේ දී පූර්ව ළමා විය  සංවර්ධන අධ්‍යාපනයට ලබා දෙන්නේ ඉහළම ප්‍රමුඛතාවක්.ජපානයේ  පූර්ව ළමාවිය සංවර්ධන අධ්‍යාපනය  ළමා මනෝ විද්‍යානුකූලව දරුවාගේ පෞරුෂ වර්ධනය ඉලක්ක කරමින් ගොඩනැගුණු ඉතාම  සුවිශේෂ අධ්‍යාපන ක්‍රමයකි.(ජපානයේ  පූර්ව ළමාවිය අධ්‍යාපනය පිළිබඳ වෙනම කථා කළ යුතුයි) එම අධ්‍යාපන කටයුතු හමාර කර ශ්‍රී ලංකාවට පැමිණෙන උන්වහන්සේ ගෙන් යොෂිඩා මැතිනිය අසා සිටින්නේ “ඔබ වහන්සේට මගෙන් ඉටුවිය  යුතු දේ කුමක් ද” කියාය.

ජපානයේ සිට සපුගස්කන්ද අබේසේකරාම විහාරයට පැමිණෙන බානගල  හාමුදුරුවෝ යොෂිඩා අධ්‍යාපන හා සමාජසේවා පදනම පිහිටුවා,1979 ජූනි 26 දින සපුගස්කන්දේ  ශ්‍රී ලංකාවේ ප්‍රථම ජපාන සම්ප්‍රදායානුකූල  පූර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය ආරම්භ කළහ.ඊට පූර්ණ අනුග්‍රහය දක්වන්නේ ද ඒ සඳහා පැමිණෙන්නේද යොෂිඩා මැතිනියයි.

එකල ජපානයට ශ්‍රී ලංකාවෙන් සේවකයන් හෝ අධ්‍යාපනය සඳහා යෑම පිළිබඳ කිසිදු කතිකාවක් තිබුණේ නැත. එකල ලංකාවේ හැමෝම කතා කළේ එංගලන්තයට ඇමරිකාවට ජර්මනිය වගේ රටවල් වලට තමන්ගේ දරුවා යැවීමටයි. බානගල හාමුදුරුවන්  ප්‍රථම වරට පූර්ව ළමාවිය සංවර්ධනය අධ්‍යාපනය හැදෑරීමට මෙරට තරුණියන් විශාල ප්‍රමාණයක් ජපානයට යැවීමත් සමඟය ජපානයේ රැකියා සහ අධ්‍යාපන අවස්ථා පිළිබඳ ලංකාවේ කතාබහ ඇරඹෙන්නේ. කොටින්ම ජපානය කියන රට ශ්‍රී ලංකාවට විවෘත වන්නේ යොෂිඩා මැතිණියගේ සහ බානගල නායක හාමුදුරුවන් ගේ මේ ක්‍රියාවලිය  සමඟයි. “ජපන් ලදරු පාසල්” ලෙස රටපුරා ප්‍රචලිත වන මෙම පූර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන නිට්ටඹුව, සපුගස්කන්ද,හොරණ,නුවරඑළිය,මත්තෙගොඩ,අගලවත්ත,පොල්ගස්ඕවිට,මාලඹේ,නුවරඑළිය,මහනුවර,නෙළුව ආදී ප්‍රදේශවල ස්ථාපිත වෙන්නේ යොෂිඩා මැතිණියගේ සම්බන්ධීකරණයෙන් ජපාන දානපතියන්ගේ ඉමහත් ආධාර උපකාර මතයි.

එතැන් සිට යොෂිඩා මැතිණිය ශ්‍රී ලංකාවේ ඉතාමත්ම සමීපතම ආදරණීය සංවර්ධන සහකාරිණියක් බවට පත්වෙනවා.ඒ නිසාම ඇයව බොහෝ දෙනා හඳුන්වන්නේ “ඔකාසන් අම්මා” කියාය.

එකල ලංකාවේ හතු පිපෙන්නා සේ හැම තැනම ලදරු පාසල්  තිබුණාද ඒ සඳහා වන කිසිදු නියාමනයක් හෝ ප්‍රමිතියක් පැවතියේ නැත.යොෂිඩා මැතිණියගේ  මැදිහත්වීම සමග ළමා මනෝවිද්‍යාවට අනුගත ප්‍රමිතිගත  ළදරු පාසල් මෙරට පුරා ස්ථාපිතවීම සමග කාගේත් අවධානයට ඇදී යෑම නිසා  මෙරට ලදරු පාසල් අධ්‍යාපනයට ප්‍රමිතියක්, නියාමනයක්  සකස්වීම ඇරඹෙන්නේ ය.අද වන විට මෙරට  පූර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන නියාමනය සදහා නීති රීති ද ප්‍රඥප්ති ද පනත් ද ආයතන සහ අමාත්‍යංශ පවා ස්ථාපිත වන්නේ යොෂිඩා මැතිනිය හෙවත් ජපන් අම්මා සහ බානගල උපතිස්ස නා හිමියන් විසින් මෙරට ස්ථාපනය කරන්න යෙදුන විධිමත් පූර්ව ළමාවිය අධ්‍යාපන ක්‍රමය සහ පද්ධතිය නිසාය.

මේ අන්දමට ඇය මෙරට ජනතාවට සහ ළමා පරපුරට මෙන්ම ජපානයේ ථේරවාදී බුදු දහම ප්‍රචලිත කිරීමට දැක් වූ ඉමහත් ගෞරවනීය දායකත්වය නිසාම 1991 එවකට ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා විසින් ඇයට “ශ්‍රී ලංකා රංජන” ගෞරව නාමය පිරිනමනු ලැබීය. මෙරට එවැනි ජාතික  ගෞරව නාමයෙන් පුද ලද ප්‍රථම විදේශීය චරිතය වන්නේ යොෂිඩා මැතිනියයි.2000 සදහටම අපෙන් සමු ගන්නා  යොෂිඩා මැතිණියගේ සියවන ජන්ම සමරුව වෙනුවෙන් 2008 දී  ඇය නමින් සමරු මුද්දරයක් ද නිකුත් කළේ, විදේශිකයෙකු වෙනුවෙන් මෙරට සමරු මුද්දරයක් නිකුත් කළ ප්‍රථම කාන්තාව ලෙස යොෂිඩා මැතිණිය ඉතිහාසයට එක් කරමින් ය. එසේම  සපුගස්කන්ද – බියගම ප්‍රධාන මාර්ගය “තකිකෝ  යොෂිඩා මාවත” ලෙස ද නම් කිරීමට ද මෙරට ජනතාව කෘතවේදී විය.

1908 අගෝස්තු 16 වෙනිදා ජපානයේ කියුෂු පරපුරේ උපත ලද යොෂිඩා මැතිණිය පසුව  කීර්තිමත් ශල්‍ය වෛද්‍ය විශේෂඥයකු වන කිෂි යොෂිඩා මැතිතුමා සමඟ විවාහ වීමෙන් පසුව, ජපානයේ  වර්තමානය ඇති විශාලතම පෞද්ගලික රෝහලක් වන යොෂිඩා රෝහලේ කොටස්කාරිණියක් බවට පත්වන්නීය. මෙරට මහා නායක හිමිවරුන් ඇතුළු බොහෝ දෙනකුට එම රෝහලේ නොමිලේ සෞඛ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට ඉදිරිපත් වූ ඇය ⁣මෙරට භික්ෂුන් වහන්සේලාගේ හා බෞද්ධ ජන නායකයන්ගේ ඉමහත් ගෞරවාදරයට පාත්‍ර වූ ජපාන කාන්තා රත්නයක් විය.

පුවත්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2026 සිට

Published

on

By

විෂය නිර්දේශ මෙන්ම විභාග ක්‍රමය ද ඇතුළත් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2026 වසරේ සිට ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (23) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නාය.

පසුගිය රජය විසින් ඉදිරිපත් කර තිබූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල යෝජනාවල සාධනීය වෙනස්කම් සිදුකර ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍යවරිය මෙහිදී පැවසුවාය.

එතුළින් සිසුන්ට වඩාත් යෝග්‍යවන අයුරින් පවතින අධ්‍යාපන ක්‍රමය පරිවර්තනයකට ලක්කරන බව ද අග්‍රාමාත්‍යවරිය කියා සිටියාය.

ඒ අනුව අධ්‍යාපනයේ ඇති තරගකාරීත්වය අවම කිරීමේ අරමුණින් 2026 සිට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුකිරීමට යෝජනා කරන අතර, විභාග ක්‍රමය හා විෂයමාලා සංශෝධනය කිරීමට ද පියවර ගෙන ඇති බව අගමැතිනිය පාර්ලිමේන්තුවට දැනුම්දුන්නේය.

“නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මඟින් විෂයමාලා ඇඟයීම් සහ තක්සේරු කරන ක්‍රියාවලියන් සංශෝධනය වෙනවා. ඒ අනුව වර්තමානයේ පාසල් සිසුන් ඉගෙනුම ලබන විෂයන් සංඛ්‍යාව ඇඟයීම හා තක්සේරුකරණ ක්‍රියාවලිය හරහා ඇති වෙන ශිෂ්‍ය පීඩනය අවම වෙන පරිදි අපි සංශෝධනය කරනවා. අපි අපේක්ෂා කරනවා විභාග කේන්ද්‍රීය ක්‍රමයකට වඩා ප්‍රායෝගික, ළමුන්ට බරක් නොවන අධ්‍යාපනයක් ලබාදෙන්න අපි සැලසුම් කරනවා.”

මේ අතර සෞන්දර්යය, තොරතුරු තාක්ෂණය හා ගිණුම්කරණය වැනි විෂයන්වල අන්තර්ගතයන් වඩාත් යෝග්‍ය පරිදි වෙනස් කිරීමට කටයුතු කරන බවත් එම විෂයන් කිසිවිටෙකත් ඉවත් කිරීමට බලාපොරොත්තු නොවන බවත් අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.

“අපි දකින විදියට මේ විෂයන් අධ්‍යාපනය තුළ තිබිය යුතුයි. ඒවා අන්තර්ගත විය යුතුයි විෂය මාලාවට.”

මේ අතර අධ්‍යාපන ක්‍රමය පරිවර්තනීය වෙනසක් කරා ගෙන යමින් සිටින අවස්ථාවක අංශ තුනකින් එය සිදුකිරීමට බලාපොරොත්තුවන බවද පැවසු අග්‍රාමාත්‍යවරිය, ගුරු පුහුණුව, පාසල් සංවිධානය හා යටිතල පහසුකම් වර්ධනය මෙන්ම පාසල් විෂය අන්තර්ගතය පිළිබඳ දැඩි අවධානයකින් කටයුතු කරන බව ද පැවසුවාය.

Continue Reading

කලා

‘Papon Live’ කොළඹදී පැවැත්වේ! (ඡායා)

Published

on

By

76 වන ඉන්දීය ජනරජ දිනය වෙනුවෙන් කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය හා ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානය විසින් සංවිධානය කළ  ‘Papon Live’  (පැපොන් ලයිව්) ප්‍රසංගය ඊයේ (22) උත්කර්ෂවත් ලෙස කොළඹ නෙළුම් පොකුණ රඟහළේ දී පැවැත්වුණි.

මෙම අවස්ථාවට වැඩබලන ඉන්දීය මහ කොමසාරිස් – ආචාර්ය සත්‍යංජල් පාණ්ඩේ, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අමාත්‍ය වසන්ත සමරසිංහ, මහබැංකු අධිපති – ආචාර්ය නන්දලාල් වීරසිංහ මෙන්ම නියෝජ්‍ය අමාත්‍යවරුන් වන නලින් හේවගේ, හර්ෂණ සූරියප්පෙරුම, සුනිල් වටගල, මහින්ද ජයසිංහ සහ චතුරංග අබේසිංහ ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක්විය.

පැපොන්ගේ ආත්මීය තනු වලට අමතරව, ආචාර්ය රවිබන්දු විද්‍යාපති ප්‍රමුඛ සංගීත හා ගායන කණ්ඩායමයක දක්ෂතා වලින්ද මෙම උත්සවය වඩාත් වර්ණවත් විය. 

අසාම් ප්‍රාන්තයෙන් බිහිවූ ‘අංගරාග් මහන්තා’ ශෛලයන් ගණනාවක ගී ගයන අතිදක්ෂ ඉන්දීය ගායකයෙකු මෙන්ම සංගීතඥයෙකි.  

Moh Moh Ke Dhaage (Dum Laga Ke Haisha), Kyon (Barfi!) Jiyein Kyun (Dum Maaro Dum), Humnava (Hamari Adhuri Kahani), හා Labon Ka Karobar (Befikre) වැනි චිත්‍රපට ගීත රැසක් ගායනා කර ඇති ඔහු, කෝක් ස්ටූඩියෝ, MTV අන්ප්ලග්ඩ් වැනි අතිජනප්‍රිය සංගීත වැඩසටහන් වලටද දායකත්වය ලබාදෙමින් සම්මාන රැසකට හිමිකම් කියයි.

(ඡායා : ශානිකා ජයසේකර ‍| අතිරේක ඡායා : ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය)


Continue Reading

පුවත්

අනුර යාපාට ඇප

Published

on

By

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගත් හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා ඇතුළු සැකකරුවන් සිව්දෙනා ඇපමත මුදා හැරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව කොළඹ අතිරේක මෙහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා මෙම නියෝගය නිකුත් කර තිබේ.


(පෙර පුවත: 2025 ජනවාරි 23, ප.ව.02:01)

අනුර ප්‍රියදර්ශන යාපා සහ බිරිඳ අධිකරණයට

අත්අඩංගුවට පත් හිටපු අමාත්‍යවරයෙකු වන අනුර ප්‍රියදර්ශන යාපා මහතා සහ ඔහුගේ බිරිඳ අද (23) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවසුවේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (22) පස්වරුවේ මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවය.

2014 වසරේ දී බිංගිරිය, නාරම්මල ප්‍රදේශවල ගංවතුරින් අවතැන් වූ පුද්ගලයන්ට සහන සැලසීමේ මුවාවෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් රුපියල් හැටඑක් ලක්ෂ 46,110ක මුදලක් ලබාගෙන, එම කටයුත්ත සඳහා භාවිතා නොකර එම මුදලින් 2015 වසරේ ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු සිදුකිරීම ඔහුට එරෙහිව ඇති චෝදනාව වේ.

ඒ අනුව එම මුදල් සාපරාධී පරිහරණයක් මෙන්ම පොදු දේපොළ යටතට ගැනෙන වරදක් බැවින් නීතිපතිවරයාගේ උපදෙල් අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන ක්‍රියාත්මක කරනු ලබයි.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved