ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාව වැනි ඓතිහාසික වටිනාකමකින් යුත් සිතුවම් අන්තර්ගත වන බෞද්ධ සිද්ධස්ථාන තුළ ඡායාරූප ගැනීම තහනම් කර ඇත්තේ, ඒ සඳහා භාවිත කරන ආලෝක ධාරා මගින් සිතුවම්වලට හානි වන නිසා යැයි මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී සමරසිංහ මහතා කියා සිටී.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා පවසා ඇත්තේ පුරාවිද්‍යාත්මක අවශ්‍යතා වෙනුවෙන් එවැනි ස්ථානවල ඡායාරූප ගැනීමේදී ඒ සඳහා ආලෝකය අඩු කෙරෙන විශේෂිත ෆිල්ටර් යෙදූ කැමරා භාවිත කරන බවයි.
එසේ නොවුණහොත් එම ආලෝක ධාරාවලින්, ස්වභාවික අමුද්‍රව්‍යවලින් සිතුවම් කර ඇති චිත්‍රවලට වන හානි අති විශාල බවත්, හෙතෙම කියා සිටී.
දළඳා මාලිගාව තුළ ඡායාරූප ගැනීම සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පුරාවිද්‍යා ආඥා පනත යටතේ ඇති බලතල අනුව ක්‍රියාත්මක විය හැකි අතර ඒ අනුව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊට අදාළ ඉදිරි ක්‍රියාමාර්ග ගනු ඇති බවද මහාචාර්ය ගාමිණී සමරසිංහ මහතා පවසයි.
විවාහ ගිවිස ගත් යුවළක් ශ්‍රී දළදා මාලිගාව තුළ පූර්ව මංගල ඡායාරූප ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ, ප්‍රදීප් නිලංග දෑල මහතා මේව විට පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.
එසේම, සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු දැනගත් වහාම ඒ පිළිබඳව පොලිසියට දැනුම් දුන් බවත්, පොලිස් පරීක්ෂණවලින් අනතුරුව ඒ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත් ඔහු කියා සිටී.
දළදා මැදුර තුළ හේවිසි මණ්ඩපය, අබරාව ඇතුළු ස්ථාන ගණනාවක මෙම යුවළ ඡායාරූපවලට පෙනී සිට ඇත.
කෙසේවුවද, මේ අතර එසේ දළදා මාලිගාව තුළ ඡායාරූප ගත් අදාළ යුවලට නීතිය ක්‍රියාත්මක කිරීමට සැරසෙන්නේ ඔවුන් ඡායාරූප ගැනීමේදී භාවිත කරන ලද ආලෝක ධාරා මගින් සිතුවම්වලට හානි සිදුව ඇතැයි යන නිගමය මත නම් මීට පෙර හිටපු ජනපතිවරු වන ගෝඨාභය රාජපක්ෂ හා පවුල, මහින්ද රාජපක්ෂ හා පවුල ඇතුළුව දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාර පෙනී සිටිමින් ගෙන ඇති ජායාරූපවලට නීතිය ක්‍රියාත්මක නොවන්නේ මන්දැයි අසමින් සමාජ මාධ්‍ය අතර කතිකාවක් පැතිර තිබේ.