Connect with us

පුවත්

දිවයින පුරා නව පාලම් 250ක් ඉදිකිරීමේ සැලසුමක්

Published

on

ග්‍රාමීය ප්‍රදේශවල ජනතාව වෙනුවෙන් ජාතික මට්ටමේ සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රතිලාභ උපරිම අයුරින් ලබාදීම සඳහා මාර්ග සම්බන්ධතාව වැඩිදියුණු කරමින් දිවයින පුරා නව පාලම් 250ක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ නෙදර්ලන්ත ජැන්සන් බ්‍රිජිං සමාගම විසින් 2014 – 2024 කාලය තුළදී ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල ග්‍රාමීය පාලම් 750ක් සාර්ථකව නිම කිරීම වෙනුවෙන් අද (03) පෙරවරුවේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවති සැමරුම් උළෙල අමතමිනි.

මෙම පාලම් මඟින් එකිනෙකට සම්බන්ධ වන ප්‍රදේශවල ජනතාවගේ ජීවන තත්වය වැඩිදියුණු කිරීම සඳහා රජය කැපවී සිටින බව මෙහිදී පැවසූ ජනාධිපතිවරයා රටේ ආර්ථිකය දියුණු වන විට, ඉතාම දිළිඳු මට්ටමේ ජනතාවට ද එමඟින් ප්‍රතිලාභ හිමිවීම සහතික කළ යුතු බව ද අවධාරණය කළේය.

ග්‍රාමීය ප්‍රදේශවල සිටින ජනතාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් බහුමාන දරිද්‍රතාවය 10% දක්වා අඩු කර ගැනීම රජයේ ආපේක්ෂාව බවත්, එම ඉලක්කය කරා ළගා වීමේ දී ග්‍රාමීය ප්‍රදේශවල යටිතල පහසුකම් සංවර්ධනය කෙරෙන මෙවැනි ව්‍යාපෘති ඉතා වැදගත් බවත් පෙන්වා දුන් ජනාධිපතිවරයා මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් දායකත්වය ලබාදීම පිළිබඳ නෙදර්ලන්ත රජයට සිය ස්තූතිය ද පුද කර සිටියේය.

ජැන්සන් බ්‍රිජිං සමාගමෙහි 10 වන සංවත්සරය සහ එම සමාගම විසින් ශ්‍රී ලංකාවේ පාලම් 750ක ඉදිකිරීම් සාර්ථකව නිම කිරීමේ අවස්ථාව සනිටුහන් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිනි බොනී හෝබාක් ( Bonnie Horbach) මහත්මිය වෙත  විශේෂ සමරු තිළිණ පිළිගැන්වීම ද සිදු කෙරිණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය

“ජැන්සන් බ්‍රිජිං සමාගම විසින් මෙරට ඉදිකරන ලද  පාලම් ප්‍රමාණය 750ක් සම්පූර්ණ වීමේ අවස්ථාව සැමරීමට අද අප එක්ව සිටිනවා. මෙය එම සමාගම විසින්  සාර්ථකව ඉටුකළ දැවැන්ත කාර්යයක් බව කිවයුතුයි. මෙම ග්‍රාමීය පාලම් ඉදිකරන ලද ප්‍රදේශ පිළිබඳ මා දන්නවා. ඒවා ඉදිකර ඇත්තේ ඉතා දුෂ්කර ස්ථානවලයි. 
මෙම පාලම් මඟින් එකිනෙකට සම්බන්ධ කරන ප්‍රදේශවල ජනතාවගේ ජීවන තත්වයන් වැඩිදියුණු කිරීම වෙනුවෙන් රජය කැපවී සිටිනවා.

  
ඒ වගේම මෙම පුළුල් මාර්ග ජාලය මගින් අපට ප්‍රධාන අධිවේගී මාර්ග දක්වා භාණ්ඩ ප්‍රවාහනය කිරීමට සහ ඒවා කොළඹට හෝ වෙනත් ප්‍රධාන නගරවලට යැවීමට හැකියාව ලැබෙනවා. ඒ නිසා මෙම ව්‍යාපෘතිය ඉතා වැදගත් ව්‍යාපෘතියක් බව සඳහන් කළ යුතුයි. එසේම අපි තවත් මෙවැනි පාලම් 250ක් ඉදිකිරීමට ද බලාපොරොත්තු වෙනවා.

අප රටේ දරිද්‍රතා අනුපාතය 2019 වසරේදී 15%ක් වූ අතර එය මේ වන විට  25% දක්වා ඉහළ ගොස් තිබෙනවා. 2032 වසර වන විට එය 10% දක්වා අඩු කර ගැනීම රජයේ අපේක්ෂාව බව කිවයුතුයි.

  
රටේ ආර්ථිකය දියුණු වන විට, ඉතාම දිළිඳු මට්ටමේ ජනතාවටත් එයින් ප්‍රතිලාභ ලැබෙන බව සහතික කළ යුතුව තිබෙනවා. අපගේ ප්‍රධාන ඉලක්කයක් වන්නේ ග්‍රාමීය ප්‍රදේශවල සිටින ජනතාව කෙරෙහි අවධානය යොමු කරමින් බහුමාන දරිද්‍රතාවය 10% දක්වා අඩු කර ගැනීමයි. එම ඉලක්කය කරා ගමන් කිරීමට මෙවැනි ව්‍යාපෘති අපට උපකාරී වෙනවා. එබැවින් මෙම ව්‍යාපෘති සඳහා දායක වීම පිළිබඳ මම නෙදර්ලන්ත රජයට ස්තුතිවන්ත වෙනවා. උතුරු පළාතේ ජනතාවගේ සෞඛ්‍ය සේවා පුළුල් කරමින් නව රෝහල් 04ක් විවෘත කිරීමට ද නෙදර්ලන්ත තානාපතිනිය පසුගියදා අප සමඟ එක් වුණා.


මෙම ව්‍යාපෘති දෙක මඟින් ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රජාව ශක්තිමත් කෙරෙනවා. මම ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු මෙම ව්‍යාපෘතිවල වැදගත්කම හඳුනා ගනිමින් ඒවා ඉදිරියට ගෙන යාමට කටයුතු කළා. මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් වගේම ලෙව්කේ දිසාවට අයත්ව පැවති කාලතුවක්කු ද යළි ශ්‍රී ලංකාවට ලබා දීම පිළිබඳ නෙදර්ලන්ත රජයට නැවතත් මගේ ස්තූතිය පුද කරනවා. මෙම කටයුතු සමඟ දෙරට අතර සබඳතා ඉදිරියේ දී ඉතා ශක්තිමත් වනු ඇති බවට ද කිසිදු සැකයක් නැහැ.


අයහපත් කාලගුණය නිසා අපට ගංවතුර තත්ත්වයට මුහුණදීමට සිදුව තිබෙනවා. දැනට ජීවිත ගණනාවක් අහිමි වී තිබෙනවා. මෙම ආපදා තත්ත්වය හේතුවෙන් පූර්ණ වශයෙන් විනාශ වූ සියලු නිවාස යළි ඉදිකරදීම ත්‍රිවිධ හමුදාවේ දායකත්වයෙන් සිදු කිරීමට රජය භාරගෙන තිබෙනවා. අර්ධ හානි සිදු වූ ගොඩනැඟිලි පිළිබඳ වාර්තා ලැබීමෙන් පසුව ඊට අදාළ තීරණ ගැනීමට ද බලාපොරොත්තු වෙන බව සඳහන් කළයුතුයි. මීට අදාළව හිදිසි කැබිනට් පත්‍රිකාවක් අග්‍රාමාත්‍යවරයා විසින් අද සවස කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

  
එමෙන්ම විපතට පත් ජනතාව වෙනුවෙන් අවශ්‍ය සියලු සහන සැලසීමට දැනට තිබෙන මුදල් නිදහස් කරන ලෙස මා උපදෙස් දී තිබෙනවා. ඒ වගේම අවශ්‍ය  සියලු ප්‍රතිපාදන පිළිබඳ අදාළ ඇස්තමේන්තු කඩිනමින් සකස් කිරීමට දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දී තිබෙනවා.


2017 වසරේ ඇති වූ ආපාදා තත්ත්වයට මුහුණදීම වෙනුවෙන් එදා රජය රුපියල් බිලියන 170ක් වැයකළා. පසුගිය වසරේ දිස්ත්‍රික් 13ක් ආපදා තත්ත්වයට පත් වුණා. මෙවර ඇතැම් පළාත්වල විශාල හානියක් සිදුව නැහැ. කෙසේ හෝ ආපදා හානි පියවීම වෙනුවෙන් අවශ්‍ය සියලු මුදල් මෙම වසරේත් ලබන වසරේදීත් ලබා දීමට අප බලාපොරොත්තු වෙනවා.”

පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, නෙදර්ලන්ත නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානි ඉවන් රූජන්ස් (Iwan Rutjens), ඇක්සස් සමූහ ව්‍යාපාරයේ සභාපති සුමල් පෙරේරා, ෆෝසයිට් ඉංජිනියරින් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ තියෝ ප්‍රනාන්දු, ජැන්සන් බ්‍රිජිං ඉන්ටර්නැෂනල් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ඩර්ක් ෆ්‍රැන්සෙන් (Dirk Fransen) යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

පුවත්

නව දූත මණ්ඩල ප්‍රධානීන් ජනපති හමුවෙයි

Published

on

By

ශ්‍රී ලංකාව තුළ සිදුව තිබෙන දේශපාලනික පරිවර්තනය පිළිබඳ පණිවිඩය ජාත්‍යන්තරයට ගෙන යාම හා ජාත්‍යන්තරය හමුවේ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඔසවා තැබීම තානාපතිවරුන් සතු වගකීමක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ විදෙස් රටවල් කිහිපයක් සඳහා ශ්‍රී ලංකා තානාපතිවරුන් ලෙස  පත්ව යන නව දූත මණ්ඩල ප්‍රධානීන් සමඟ ජනාධිපති කාර්යාලයේ අද (15) පැවති සාකච්ඡාවේදීය.

විදේශගත ශ්‍රී ලාංකිකයින්ට සේවා සැපයීමේදී ඒ සඳහා මූලිකත්වය දෙමින් විශේෂ අවධානයකින් කටයුතු කරන ලෙසත්, කිසිදු භේදයකින් තොරව සාධාරණව කටයුතු කරන ලෙසත් ජනාධිපතිවරයා නව රාජ්‍යතාන්ත්‍රිකයන්ට උපදෙස් ලබා දුන්නේය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලාංකිකයන්ගේ තැනක් ලෙස ඔවුන්ට හැඟෙන පරිදි කටයුතු කළ යුතු බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, රට වෙනුවෙන් තම සේවය කාර්යක්ෂමව සිදු කිරීමට කටයුතු කරන ලෙසද කියා සිටියේය.

ඍජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා මෙන්ම ශ්‍රී ලංකාවේ සිටින ව්‍යවසායකයින්ට විදේශ වෙළෙඳපොළ අවස්ථා සොයා ගැනීමට අවශ්‍ය සම්බන්ධීකරණය රාජතාන්ත්‍රික සේවාවේ කොටසක් බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

ඒ අනුව, මෙරට ආර්ථිකය නඟාසිටුවීම සඳහා සෘජු විදේශ ආයෝජන හා සංචාරකයින් කැඳවා ගෙන ඒම තානාපතිවරයාට පැවරෙන ප්‍රධාන වගකීමක් බවත් ඒ සඳහා අවශ්‍ය සහයෝගය ලබා දීමට රජය සූදානම් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ සිදු වූ ඇතැම් සිදුවීම් නිසා පසුගිය කාලයේ තානාපතිවරුන් අපහසුතාවට පත්ව ඇති බවත් වත්මන් ආණ්ඩුව තානාපතිවරුන්ගේ ගෞරවයට හානි වන දෑ නොකරන බවත් කී ජනාධිපතිවරයා තානාපතිවරුන් වෙනුවෙන් ආණ්ඩුව ඕනෑම අවස්ථාවක පෙනී සිටින බවද සඳහන් කළේය.

නව දූත මණ්ඩල ප්‍රධානීන් ලෙස ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ලෙස පී.එම්. කොලොන්නෙ, පකිස්ථානයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ලෙස රියර් අද්මිරල් ෆ්‍රෙඩ් සෙනෙවිරත්න, එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ලෙස එස්.ඩී.එන්.යු. සේනාධීර, අමෙරිකානු නිව්යෝක් එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත ලෙස ජයන්ත ජයසූරිය, කියුබාවේ ශ්‍රී ලංකා තානාපති ලෙස ආර්.එම්. මහින්ද රත්නායක, ජපානයේ ශ්‍රී ලංකා  තානාපති ලෙස මහාචාර්ය පී. ජනක් කුමාරසිංහ, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති ලෙස මහාචාර්ය අරූෂා කුරේ යන මහත්ම මහත්මීහු මෙලෙස පත්වීම් ලැබ සිටිති. 

විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි රණරාජා, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ යන මහත්ම මහත්මීහුද මෙම අවස්ථාවට එක් වූහ.

Continue Reading

පුවත්

කොටහේන සිදුවිම – මවගෙන් සාක්ෂි සටහන් කරගනී

Published

on

By

කොටහේන ප්‍රදේශයේ දැරියක සියදිවි නසා ගැනීමේ සිද්ධියට අදාළව සාක්ෂි සටහන් කරගැනීම අද (15) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වුණි.

කොළඹ වැඩබලන මහෙස්ත්‍රාත් සම්පත් ජයවර්ධන මහතා ඉදිරියේ මෙම සාක්ෂි සටහන් කරගැනීම සිදුව තිබේ.

මෙහිදී කොටහේන පොලීසියේ මෙහෙයවීම යටතේ සාක්ෂි සටහන් කර ගෙන තිබේ.

ඒ අනුව මුලින්ම මියගිය දැරිය පදිංචිව සිටි මහල් නිවාස සංකීර්ණයේ සභාපතිවරයාගෙන් සාක්ෂි සටහන් කරගැනීම සිදුවු බව සඳහන්ය.

ඉන් අනතුරුව මිය ගිය දැරියගේ මවගෙන් සාක්ෂි සටහන් කරගැනීම සිදු කර ඇත.

ඉන් වැඩිදුර සාක්ෂි සටහන් කරගැනීම ලබන 22 වනදා දක්වා කල් තැබු වැඩබලන මහෙස්ත්‍රාත්වරයා එදින දැරියගේ මවගෙන් වැඩිදුරටත් සාක්ෂි සටහන් කරගැනීමට නියමිතය.

Continue Reading

පුවත්

පළාත් සභා හා පළාත් පාලන ආයතනවල දූෂණ වැළැක්වීමට විමර්ශන ඒකක

Published

on

By

පළාත් සභා හා පළාත් පාලන ආයතනවල දූෂණ හා අක්‍රමිකතා වළක්වා ගැනීම සඳහා අමාත්‍යාංශ මට්ටමින් පිහිටුවා තිබෙන විමර්ශන ඒකක පළාත් සභා තුළද ස්ථාපිත කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අනුමැතිය ලබා දුන්නේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා පළාත් ආණ්ඩුකරවරුන් අතර ජනාධිපති කාර්යාලයේදී අද (15) පැවති සාකච්ඡාවේදී ආණ්ඩුකාරවරුන් කළ ඉල්ලීමට ජනාධිපතිවරයා විසින් මෙම අනුමැතිය ලබා දෙන ලදී.

පළාත්වල යටිතල පහසුකම් සංවර්ධනය හා ඒ සඳහා තිබෙන අභියෝග පිළිබඳව මෙහිදී සාකච්ඡා කළ අතර, එම ගැටලුවලට සාධනීය පිළියම් ලබා දීමටද ජනාධිපතිවරයා මෙහිදී පියවර ගත්තේය.

පළාත් සභා සඳහා පසුගිය වසරට වඩා තුන්ගුණයක් මූල්‍ය ප්‍රතිපාදන ලැබී ඇති බැවින් මේ වසර තුළ එම ප්‍රතිපාදන භාවිත කිරීමේදී  පවතින අභියෝග පිළිබඳ ආණ්ඩුකාරවරු ජනාධිපතිවරයා දැනුම්වත් කළහ. එම ප්‍රතිපාදන විධිමත් අයුරින් කළමනාකරණය කිරීමේ වැදගත්කම කෙරෙහිද මෙහිදී අවධානය යොමු විය.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ්, මධ්‍යම පළාත් ආණ්ඩුකාර සරත් බණ්ඩාර සමරසිංහ, දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර, වයඹ පළාත් ආණ්ඩුකාර තිස්ස කුමාරසිරි වර්ණකුළසූරිය, උතුරු මැද පළාත් ආණ්ඩුකාර වසන්ත කුමාර විමලසිරි, උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් චේතනා‍යහන්, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර, සබරගමුව පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න, ඌව පළාත් ආණ්ඩුකාර කපිල ජයසේකර යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved