දුම්රිය මගීන් අපහසුතාවට පත් නොකරන ලෙස ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය විජිත හේරත් මහතා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයෙන් ඉල්ලීමක් කර තිබේ.
විශේෂ නිවේදනයක් සිදුකරමින් විජිත හේරත් මහතා පවසා ඇත්තේ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ ගැටලු සම්බන්ධයෙන් එම වෘත්තීය සමිති සමග කළ සාකච්ඡාවලදී බොහෝ ගැටලුවලට විසඳුම් ලබා දුන් බවය.
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ බඳවා ගැනීම් හා උසස්වීම් ප්‍රශ්නයට ස්ථිර විසඳුම් මෙම මැතිවරණ කාලසීමාවේදී ලබාදීමේදී ගැටලු මතුවන බව ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.
එතෙක්, මහජනතාව අපහසුවට පත් නොකර කටයුතු කරන ලෙස විජිත හේරත් මහතා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයෙන් ඉල්ලා සිටියි.
දුම්රිය ස්ථානාධිපති තනතුරට අදාළව මතුව ඇති ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් ක්ෂණික වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹීමට ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය පසුගියදා (30) තීරණය කලේය.
එහිදී ඔවුන් ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම, ආසන වෙන් කිරීම හා පාර්සල් භාර ගැනීම ආදී කටයුතුවලින් ඉවත් වීමට පියවර ගන්නා ලදී.
කෙසේවෙතත්, ඔක්තොම්බර් 31 දිනය යෙදී තිබුණු දීපාවලී දිනය වෙනුවෙන් එම වර්ජනය තාවකාලිකව අත්හිටවනු ලැබීය.
විසඳුම් නොලැබෙන්නේ නම් දීපවාලි උත්සවය හේතුවෙන් අත්හිට වූ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වර්ජනය යළි අද (02) දිනය තුළ ක්‍රියාත්මක කරන බව දුම්රිය ස්ථානාධිපති සංගමය ඊයේ නිවේදනය කර තිබුණි.