දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය, සියලු ප්‍රාදේශීය සහ නගර කාර්යාල ලබන එළඹෙන සෙනසුරාදා (30) දිනයේද විවෘතව තබන බව එම දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් සේපාලිකා චන්ද්‍රසේකර මහත්මිය සඳහන් කළේ සෑම වර්ෂයකම සියලු ආදායම් වාර්තා ලබාදිය යුතු අවසන් දිනය නොවැම්බර් 30 වනදා වන බැවින් එලෙස ලබන සෙනසුරාදා සිය කාර්යාල විවෘතව තබන බවය.
2017 අංක 24 දරණ දේශීය ආදායම් පනත අනුව සියලු ආදායම් වාර්තා එනම් සංස්ථාපිත ආදායම් බදු, තනි පුද්ගල ආදායම් බදු සහ හවුල් ව්‍යාපාර ආදායම් බදු ලබාදිය යුතු වේ.
ඒ අනුව නොවැම්බර් 30 දිනට පසුව ලැබෙන සියලුම ආදායම් වාර්තා මාර්ගගත ක්‍රමය හෝ පිලිගත් වෙනත් ක්‍රමවේද ලබාදෙන වාර්තා කාල කඩඉමට යටත්ය.
දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරිය වැඩිදුරටත් පවසන්නේ යම් පුද්ගලයෙකුට ආදායම් වාර්තාව මාර්ගගත ක්‍රමය භාවිතයෙන් ලබාදීමට අපහසුතාවක් වේනම් සිය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයෙන් සහාය ලබාගත හැකි බවය.
ඒ අනුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ බිම් මහලේ විශේෂ ඒකකය, 12 වන මහලේ වෙනස් වීම් කළමනාකරණ අංශය සහ දෙවන මහළේ මධ්‍යම ලේඛන කළමනාකරණ අංශයෙන් සහාය ලබාගත හැකිය.
එමෙන්ම VIP බදු ගෙවන්නෙක් නම් VIP බදු අංශයෙන් ද ඉහළ වත්කම් සහිත පුද්ගල අංශයේ ලියාපදිංචි බදු ගෙවන්නෙකු නම් එම අංශයෙන් ද සහාය ලබාගත හැකි බවද දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරිය සඳහන් කළාය.
ඊට අමතරව දිවයිනේ පිහිටි සියලුම ප්‍රාදේශීය හා නගරබද දේශීය ආදායම් කාර්යාල මඟින්ද සහාය ලබාගත හැකි වේ.