Connect with us

පුවත්

“දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් EPF ඇතුළු මහජන අරමුදල්වල සාමාජික ශේෂයට බලපෑමක් නෑ”

Published

on

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම මඟින් සේවක අර්ථ සාධක අරමුදල ඇතුළු කිසිඳු මහජන අරමුදල්වල සාමාජික ශේෂයට බලපෑමක් එල්ල නොවන බවත්, අතීතයේ ගෙවා ඇති සුපිරි විශ්‍රාම අරමුදල් ප්‍රතිලාභ අනුපාතයට ද කිසිඳු ආකාරයකට බලපෑමක් නැති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

එසේම දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම මඟින් මෙරට බැංකු පද්ධතියේ ස්ථායීතාවයට හෝ කිසිඳු රාජ්‍ය හෝ පෞද්ගලික බැංකුවක ස්ථායීතාවයට බලපෑමක් එල්ල නොවේ. රටේ මිලියන 50කට අධික බැංකු තැන්පත්කරුවන්ගේ කිසිඳු තැන්පතුවකට ද මෙහි බලපෑමක් නැති බවත්, දැනට ගෙවනු ලබන බැංකු තැන්පතු සඳහා වන කිසිඳු පොලියකට බලපෑමක් එල්ල නොවන බවත්  ජනාධිපතිවරයා සඳහන් කළේය.

විදේශීය මෙන්ම දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනා හෙට (28) පැවැත්වෙන විශේෂ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ගම්පහ දිස්ත්‍රික් ලේකම් පරිපාලන සංකීර්ණය ‘ලක්සියනෑ මන්දිරය’ අද (27) පස්වරුවේ ජනතා අයිතියට පවරා දෙමිනි.

ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට කාර්යක්ෂම සහ විධිමත් රාජ්‍ය සේවාවක් ලබාදීමේ අරමුණින් දිස්ත්‍රික්කයේ විවිධ ස්ථානවල පිහිටා ඇති රාජ්‍ය ආයතන 37ක් එකම ස්ථානයක ස්ථානගත කරමින් ඉදිකෙරුණු සත්මහල් පරිපාලන සංකීර්ණය සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන හාරදහසකට ආසන්නය.

2022 වර්ෂය අවසාන වන විට ශ්‍රී ලංකාවේ සමස්ත රාජ්‍ය ණය (දේශීය හා විදේශීය) ඩොලර් මිලියන 83,700කි. එය දළ දේශීය නිෂ්පාදිතයෙන් 128.3%ක් බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. 2022 අවසන් වන විට සමස්ත විදෙස් ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 41,500කි. එය දළ දේශීය නිෂ්පාදිතයෙන් 63.6%කි. ඒ වන විට සමස්ත දේශීය ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 42,100ක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය. එය දළ දේශීය නිෂ්පාදිතයෙන් 64.6%කි.

මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමකින් තොරව පවත්වාගෙන ගියහොත් 2035 වන විට ද රාජ්‍ය ණය දළ දේශීය නිෂ්පාදිතයෙන් 100%කටත් වඩා ඉහළ මට්ටමක පවතිනු ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා විදේශීය ණය හිමියන් මේ වන විටත් මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එකඟත්වය පළ කර ඇති බව පැවසීය.

ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවය ඇති කිරීමට නම් ණය ප්‍රතිව්‍යුහගත කිරීම අත්‍යාවශ්‍ය අතර දේශීය ණය ද ප්‍රතිව්‍යුහගත කළ යුතුව ඇති බව සඳහන් කළේය.

බාහිර ණය හිමියන් වශයෙන් විදෙස් ණය හිමියන් විශාල බරක් දරණ අතර, ඉදිරි වසර 05 තුළදී පමණක් විදේශ ණයකරුවන්ගෙන් ඇමරිකානු ඩොලර් බිලියන 17ක දායකත්වයක් ලබා ගැනීමට නියමිත බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ අනුව අපේ දේශීය ණයකරුවන්ගෙන් ද ඊට  දායකත්වයක් ලබා දිය යුතුව ඇති බව පැවසීය.

මහජනතාවගේ බැංකු තැන්පතු ආරක්ෂා කිරීමේ මූලික අරමුණ ඇතිව මෙම යෝජනාව සකස් කර තිබෙන අතර, මහබැංකු නියාමනය යටතේ පවත්වාගෙන යන සියලු බැංකුවල බැංකු තැන්පත්කරුවන් ආරක්ෂා කිරීම ප්‍රධාන වගකීමක් බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ඒ අනුව දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රමවේදය අනුව බැංකු තැන්පත්කරුවන්ට කිසිඳු හානියක් නොවන අතර බැංකු පද්ධතිය කඩා වැටීමකට ලක් නොවන බවත් එමඟින් සිදු වන්නේ ආර්ථිකය යළි නඟා සිටුවිය හැකි ප්‍රතිව්‍යුහගත කිරීමකට මග සෑදීම පමණක් බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිහිපත් කළේය.‍

රටේ ආර්ථික ප්‍රකෘතිය ඇතිවීම, පොලී අනුපාතය අඩු වීම, රජයට පහසුවෙන් සහනාධාර මුදල් සැපයීමට හැකි වීම, ඊළග වසර 10 තුළ දේශීය හා විදේශීය වශයෙන් ණය බර අඩු වී එමඟින් ලැබෙන යහපත් ප්‍රතිඵල රටේ මහජනතාවට මෙමගින් හිමිවන බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

පසුගිය ප්‍රංශ නිල සංචාරයේ දී පොදු රාජ්‍ය මණ්ඩලයේ මහලේකම් පැට්‍රිෂීයා ස්කොට්ලන්ඩ්,  ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි  කළමනාකරණ අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා,  නෙදර්ලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය (පළමු) සහ මුදල් අමාත්‍ය සිග්‍රිඩ් කාග්, ඇමරිකානු භාණ්ඩාගාර ලේකම් ජෙනට් යෙලන්, ජපාන විදෙස් අමාත්‍ය යොෂිමාසා හයාෂි යන අය සමග විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් සහ ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රයේ අත්පත් කරගෙන යනු ලබන ප්‍රගතිය සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

මෙහිදී ශ්‍රී ලංකාවේ මතුව තිබු අර්බුදය ආපසු හැරවීමට හැකිවීම ගැන මේ සියලු දෙනා  සතුට පළ කළ බවත්, ඉදිරියේ දී ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සදහා උපරිම දායකත්වය ලබාදීමට පියවර ගන්නා බව ප්‍රකාශ කළ බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය සමඟ මෑතකදී කළ දුරකථන සංවාදයේ දී ද ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සහ ආර්ථික ස්ථායීතාවයට සුබවාදී දායකත්වය පිරිනමන බව ප්‍රකාශ කළ අතර,  ඉදිරි ඉන්දීය සංචාරයේ දී ඒ පිළිබඳව දීර්ඝ සාකච්ඡාවකට එළැඹීමට නියමිත බවත් ජනාධිපතිවරයා පැවසීය.

මේ මොහොතේ දී චීන නිල සංචාරයක නිරත විදේශ අමාත්‍ය අලි සබ්‍රි මහතා එරට විදේශ අමාත්‍ය ක්වින් ගැන්ඩ් මහතා සමඟ අදහස් හුවමාරු කර ගැනීමේ දී දෙරට අතර බහුපාර්ශවීය සහ ආර්ථික සබඳතා සවිමත් කර ගැනීමට එකඟ වී ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

එසේම චීන මුදල් අමාත්‍ය ලී ක්‍යුන් මහතා සමග බීජිං නුවර පැවතී සාකච්ඡාවේ දී මෙරට ආර්ථික ස්ථායීකරණය සහ ස්ථාවර ප්‍රගතිය වෙනුවෙන් වන සැලසුම පිළිබඳව දැනුවත් කර ඇති බවත් පසුගිය අර්බුදකාරී සමයේ චීනය ලබාදුන් විශේෂ දායකත්වය පිළිබඳව ද අලි සබ්‍රි මහතා සිය ස්තූතිය පිරිනැමීමට කටයුතු කළ බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

මෙම සංචාරයේ දී ශ්‍රී ලංකාවේ විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් චීනය විසින් පත් කර ඇති චීන එක්සීම් බැංකුවේ සභාපති වූ ෆුලින් සහ නිලධාරීන් සමඟ සාකච්ඡා කළ බවත්, ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට හැකි උපරිම ආකාරයෙන් දායකත්වය ලබාදෙන බව ඔවුන් සඳහන් කර තිබෙන බවත් ජනාධිපතිවරයා කියා සිටියේය.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, අමාත්‍යවරුන් වන ප්‍රසන්න රණතුංග, නලින් ප්‍රනාන්දු, රාජ්‍ය අමාත්‍යවරුන් වන ෂෙහාන් සේමසිංහ, ප්‍රසන්න රණවීර, සිසිර ජයකොඩි,  ලසන්ත අලගියවන්න, ජානක වක්කුඹුර, ගම්පහ දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන  නිමල් ලන්සා, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, මිලාන් ජයතිලක, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන, බස්නාහිර පළාත් ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක  යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

(ජනාධිපති මාධ්‍ය අංශය)

පුවත්

සජබේ අවුලක්: තවත් තිදෙනෙක් ඉල්ලා අස්වෙයි

Published

on

By

ජාතික සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික්කයේ ආසන සංවිධායකවරුන් තිදෙනෙකු අද (24) සිට සිය ආසන සංවිධායක ධූරවලින් ඉවත් වීමට තීරණය කර තිබේ.

මෙසේ ආසන සංවිධායක ධූරවලින් ඉවත්ව ඇත්තේ, මාතලේ ප්‍රධාන සංවිධායක වසන්ත අලුවිහාරේ, දඹුල්ල ප්‍රධාන සංවිධායක චම්පික විජේරත්න සහ රත්තොට ආසන සංවිධායකවරයා වන රජිත් අලුවිහාරේ යන තිදෙනාය.

හිටපු රාජ්‍ය අමාත්‍යය රජිත් අළුවිහාරේ මහතා පවසන්නේ, ඔවුන් තිදෙනාම සමගි ජන බලවේගයේ ආසන සංවිධායක ධූරවලින් ඉල්ලා අස්වීමේ ලිපි භාරදීමට නියමිත බවය.

දිගින් දිගටම පක්ෂය මගින් සිදු කරන ලද විවිධ කෙනෙහිලි කම් නිසා මෙම තීරණය ගත් බවත් තවත් බොහෝ පිරිසක් මේ ආකාරයෙන් තම ආසන සංවිධායක ධූරවලින් විසිහතර දින ඉල්ලා අස්වීමේ ලිපි භාරදීමට නියමිතව තිබෙන බවත් රජිත් අලුවිහාරේ මහතා පවසා තිබේ.

Continue Reading

පුවත්

විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්

Published

on

By

අද (24) සහ හෙට (25) දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය හා 2024 සාමාන්‍ය පෙළ සෞන්දර්ය ප්‍රායෝගික පරීක්ෂණවලට පෙනී සිටින සිසුන්ට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් විශේෂ දැනුම් දීමක් කර තිබේ.

විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත්තේ යම් සිසුවෙකුට එම විභාග දෙකටම එකම දිනයකදී පෙනි සිටීමට සිදුව ඇත්නම්, ඔවුන්ට අ.පො.ස. සාමාන්‍යපෙළ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා වෙනත් දිනයක් ලබා ගත හැකි බවය.

ඒ සඳහා තමන් වෙත ලැබී ඇති ප්‍රවේශ පත්‍රය සහ දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය සඳහා නිකුත් කරන ලද ප්‍රවේශ පත්‍රය හෝ එහි සහතික කළ පිටපතක් ලබන අඟහරුවාදාට පෙර අදාළ අධ්‍යාපන කලාපයේ සෞන්දර්ය අධ්‍යාපන අධ්‍යක්ෂ වෙත ඉදිරිපත් කළ යුතු බව ද ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

Continue Reading

පුවත්

නිළි රැජිනගේ අවසන් කටයුතු අනිද්දා

Published

on

By

හෙළ සිනමාවේ නිළි රැජින අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පිනී මාලිනී ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව එළැඹෙන 26වනදා කොළඹ නිදහස් චතුරශ්‍රයේදී සිදුකිරීමට නියමිතව ඇත

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved