Connect with us

පුවත්

ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපතිට ඇප (UPDATE)

Published

on

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගත් ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

මෙම සැකකරු අල්ලස් කොමිසම විසින් අද (27) දහවල් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග මහත්මිය හමුවට පමුණුවනු ලැබීය.

එහිදී අල්ලස් කොමිසමේ සහ විත්තිය නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය අදාළ සැකකරු රුපියල් මිලියන 5 බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදා හැරීමට නියම කළේය.

ඊට අමතරව සැකකරුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාරදිය යුතු බවත් ඔහුගේ විදේශ ගමන් තහනම් කරන බවයි මහේස්ත්‍රාත්වරිය කියා සිටියේය.

මෙහිදී මහෙස්ත්‍රාත්වරිය අල්ලස් කොමිසමේ නිලධාරීන් වෙත ප්‍රශ්නයක් යොමු කරමින් මෙම නඩුකරයට අදාළව තවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබේදැයි විමසීය.

ඊට පිළිතුරු දෙමින් අල්ලස් කොමිසමේ නිලධාරීන් සඳහන් කළේ, එවක විෂය භාර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මෙහි සැකකරුවකු ලෙස නම්කර අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබෙන බවය.

අල්ලස් කොමිසම වෙනුවෙන් එහි සහකාර අධ්‍යක්ෂ සුලෝචනා හෙට්ටිආරච්චි මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින්  2013 වසරේ ඔක්තෝම්බර් මස 25 වනදා ලැබුණු නිර්නාමික පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන ආරම්භ කළ බව සඳහන් කළේය.

කිරින්ද ධීවර වරායේ වැලි පිරිසිදුකර වෙළඳපොළට මුදා හැරීමේ ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට පැවරීමට අදාළව ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා එවක ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් යෝජනාවක් ඉදිරිපත් කර තිබූ බව සඳහන් කළේය.

ඒ යටතේ පිරිසිදු කර වෙළඳපොළට මුදාහරණ වැලි කියුබ් එකක් සඳහා රුපියල් 300 මුදලක් ගෙවීමට අදාළ සමාගම එකඟ වී ඇති අතර සෙසු පහසුකම් එම සමාගම විසින්ම සලසා ගැනීමටත් එකඟ වී තිබෙන බව අල්ලස් කොමිසමේ නිලධාරිනිය සඳහන් කළාය.

එහෙත් එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරගෙන යාමේදී ධීවර වරාය නීතිගත සංස්ථාව සතු වැලිගොව්වා නෞකාව මෙන්ම අනෙකුත් පහසුකම් ද  අදාළ කොරියානු සමාගම වෙත ලබාදීමට සිදුවී ඇති බවත් ඒ තුළින් ධීවර වරාය නීතිගත සංස්ථාවට රුපියල් ලක්ෂ 262ක පාඩුවක් සිදුව ඇති බවත් එම නිලධාරිනිය කියා සිටියාය.

මෙවැනි විදේශීය ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට පෙර ඒ සඳහා ධීවර වරාය නීතිගත සංස්ථාවේ අනුමැතිය ලබා ගැනීම මෙන්ම අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීම අවශ්‍ය වුවත් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී එම නීතිමය අවශ්‍යතා සම්පූර්ණ කර නොමැති බවයි අල්ලස් කොමිසමේ නිලධාරිය කියා සිටියේය.

මෙම ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම නීතිමය ක්‍රමවේදයෙන් බැහැරව ක්‍රියාත්මක කර ඇති බවත් ඒ සඳහා භූ විද්‍යා සහ පතල් කාර්යාංශය, මධ්‍යම පරිසර අධිකාරිය වැනි ආයතනවලින් ශක්‍යතා අධ්‍යයන වාර්තා ලබාගෙන නොමැති බවත් සඳහන් කළේය.

මෙම ක්‍රියාවලිය තුළින් ධීවර වරාය නීතිගත සංස්ථාවේ එවක සභාපතිවරයා වශයෙන් කටයුතු කළ මෙම සැකකරු අල්ලස් පනතේ දූෂණය නැමැති වරද සිදුකර ඇති බවත් ඔහු සම්බන්ධයෙන් සුදුසු නියෝගයක් නිකුත් කරන ලෙසත් එම නිලධාරිනිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා සඳහන් කළේ මෙය වසර 13 කට වඩා පැරණි පැමිණිල්ලක් බවත් අදාල කාල සීමාව තුළ මෙම සැකකරු විසින් කිසිදු සාක්ෂිකරුවකුට බලපෑම් සිදුකර නොමැති බවත් පැවසුවේය.

අදාළ කොරියානු සමාගම  ගෙවීම් පැහැර හැරීමක් සිදුකර තිබුණේ නම් එය අයකර ගැනීම සඳහා නඩු පැවරීමට පියවර ගත යුතු බවත් එහෙත් ධීවර වරාය නීතිගත සංස්ථාව එවැනි පියවරක් ගෙන නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.

77 වන වියේ පසුවන සිය සේවා දායකයා රෝගී තත්ත්වයෙන් පසුවන හෙයින් ඔහු ඇපමත මුදාහරින ලෙස ජනාධිපති නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සැකකරු ඇප මත මුදාහැරීමට නියම කළේය.

ඉන් අනතුරුව පැමිණිල්ල සැප්තැම්බර් මස 26 වන දා කැඳවීමටද නියම වුණි.


(පෙර පුවත 2025 ජූනි 27 ප.ව.3.10 )

ධීවර සංස්ථාවේ හිටපු සභාපති අත්අඩංගුවට

ලංකා ධීවර සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ මහතා අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගෙන තිබේ.

එම සංස්ථාවේ සිදුවු අක්‍රමිකතාවයකට අදාළව ඒ මහතාව අත්අඩංගුවට ගෙන ඇත.

පුවත්

ට්‍රම්ප්ගේ බද්ද අඩු කරගන්න අදත් සාකච්ඡාවක්

Published

on

By

ඇමෙරිකාව විසින් යෝජනා කරනු ලැබූ තීරු බදු අඩුකර ගැනීම සඳහා අඛණ්ඩ සාකච්ඡා පැවැත්වීමට තීරණය කර ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව අද (18) දිනයේ දී ඇමෙරිකානු වෙළෙඳ නියෝජිත ආයතනය සමග ශ්‍රී ලංකාවේ නියෝජිතයන් එක්වන සාකච්ඡාවක් පැවැත්වෙනු ඇත.

දෙරට අතර වෙළඳ හා ආයෝජන සබඳතා ප්‍රවර්ධනය කර ගැනීම සඳහා මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා සහ අදාළ රාජ්‍ය නිලධාරීන් මාර්ගගත ක්‍රමය ඔස්සේ මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතය.

මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිවේදනයක වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.

“ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ලොව පුරා රටවලින් එරටට ආනයනය කරන භාණ්ඩ සඳහා විශ්වීය තීරු බද්දක් පැනවීමට තීරණය කළේ පසුගිය අප්‍රේල් මස 03 වනදාය. එහිදී අවම ප්‍රතිශතය 10%ක් වූ අතර එය ඇතැම් රටවලට ඉතා ඉහළ අගයක් ප්‍රකාශයට පත්කර තිබුණි. 

ශ්‍රී ලංකාවට එහිදී පනවනු ලැබූවේ 44 %ක තීරු බද්දකි. 

මෙම නව බදු ප්‍රතිපත්තියට ලොව පුරා රටවලින් දැඩි විරෝධයක් එල්ල වූ අතර චීනය ප්‍රකාශ කළේ මෙම බද්ද ඉවත් නොකළහොත් ඊට දැඩි ප්‍රති පියවර ගන්නා බවයි. 

එක්සත්ව ඊට ප්‍රතිවිරෝධය දක්වන බව යුරෝපා සංගමය ද ප්‍රකාශ කර තිබුණි. 

එවන් පසුබිමක ශ්‍රී ලංකා රජය ඇමෙරිකා වෙළඳ නියෝජිතායතනය සමඟ වහාම සාකච්ඡා ආරම්භ කරමින් මේ සඳහා සංශෝධන එකඟතාවන්ට පැමිණීමට පියවර ගනු ලැබීය. ඒ පිළිබඳ ශ්‍රී ලංකාව දැඩි බලාපොරොත්තු සහගතව සිටි අතර ඒ අනුව පසුගිය 12 වැනි දා ඇමෙරිකාව ශ්‍රී ලංකාව වෙනුවෙන් 30% දක්වා අඩු කරමින් නව තීරුබදු යෝජනාවක් ලිඛිතව දැනුම් දෙන ලදී. එම 30% ප්‍රතිශතය තවදුරටත් අඩුකර ගැනීම සඳහා ශ්‍රී ලංකාව ඇමෙරිකානු වෙළඳ නියෝජිතායතනය සමඟ අඛණ්ඩව සාකච්ඡා පැවැත්වීමට ඉන් අනතුරුව තීරණය කරනු ලැබීය. 

ඒ අනුව අද දින මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් හා අදාල නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ඇමෙරිකානු වෙළඳ නියෝජිතායතනයේ නිළධාරීන් සමඟ මාර්ගගත ක්‍රමය ඔස්සේ සාකච්ඡා ආරම්භ කිරීමට නියමිතය.“

Continue Reading

පුවත්

දෙහිවල වෙඩිතැබීමක්

Published

on

By

දෙහිවල දුම්රිය ස්ථානය අසලදී අද (18) උදෑසන 11.00ට පමණ පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩිතැබීමක් සිදුකර තිබේ.

යතුරු පැදියකින් පැමිණි නානඳුන පුද්ගලයින් දෙදෙනෙක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර ඔවුන් එම ස්ථානයෙන් පළා ගොස් ඇති බව වාර්තා වෙයි.

වෙඩිතැබීමෙන් අදාළ පුද්ගලයා තුවාල ලබා ඇති අතර ඔහුව දකුණු කොළඹ ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇත.

මෙසේ වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 45ක් වන පුද්ගලයෙකි.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

Continue Reading

පුවත්

චන්ද්‍රසේන අගෝස්තු 01 දක්වා රිමාන්ඩ්

Published

on

By

2014 වසරේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිළිඳු ගොවීන් සඳහා සහනදායි මිල ගණන් යටතේ බෙදා දීමට රුපියල් මිලියන 25ක් මුදලක් වැයකර මිලදී ගනු ලැබූ බඩ ඉරිඟු බීජ නීත්‍යානුකූල ක්‍රමවේදයට පටහැනිව එම වසරේ පැවැති ජනාධිපතිවරණයේදී තමන්ට වාසියක් අත් කර ගැනීමේ අරමුණින් තම හිතවතුන්ට හා ආධාරකරුවන් අතර බෙදා හැරීම තුළින් දූෂණය නැමති වරද සිදු කළේ යැයි අල්ලස් කොමිසම විසින් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා තවදුරටත් අගෝස්තු මස 01 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

එදිනට පෙර ග්‍රාමීය මට්ටමෙන් සිටින සාක්ෂිකාර රජයේ නිලධාරීන්ගෙන් ප්‍රකාශ සටහන් කර අවසන් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරිය අල්ලස් කොමිසමට නියම කළාය.

අල්ලස් කොමිසමේ සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය මෙම නියෝගය නිකුත් කළාය.

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved