Connect with us

Videos

නව ජනපති ජාතිය අමතා කළ මංගල කතාව(ඡායා)

Published

on

09 වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා අද පෙරවරුවේ  ධුරයේ දිවුරුම් දුන්නේය.

ඒ අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා ඉදිරියේ, ජනාධිපති ලේකම් කාර්යාලයේ දීයි .

නව ජනපති ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව ජාතිය අමතමින් සිය මංගල කතාව සිදු කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාවේ මේ වන විට යහපත් දේශපාලන සංස්කෘතියක අවශ්‍යතාවයක් මතු වී තිබෙන බවයි

සම්පූර්ණ කතාව,

“අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ වැදගත්ම ලක්ෂණය ජනතාව විසින් තම පාලනය සඳහා පාලකයෙක් තෝරා පත්කර ගැනීමයි. නමුත් මැතිවරණයකට ඡන්දය ප්‍රකාශ කිරීම හා පාලකයෙක් තෝරා පත්කර ගැනීමෙන් පමණක් ප්‍රජාතන්ත්‍රවාදය අවසන් වෙන්නේ නැහැ. එය ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ලක්ෂණයක් වුවත් අපේ රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම වෙනුවෙන් ව්‍යුහයන්ගේ ශක්තිමත්භාවය වගේම නීතිමය ශක්තිමත්භාවයක් අවශ්‍යයි. ඒ නිසා මා ප්‍රථම කොටම අපේ රටේ ජනතාව දැනුවත් කරන්න කැමතියි. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් මාගේ උපරිම කැපවීම මාගේ ධුර කාලය තුළ තහවුරු කරන්න සූදානම්. ඒ වගේම අපේ රටේ මැතිවරණයකින් බලය හුවමාරු කිරීමේදී ප්‍රජාතාන්ත්‍රික ලෙස සිදුවුණු ඉතිහාසයක් තිබෙනවා, කිසිදු විටෙක මැතිවරණයකදී සිදුවූ බල හුවමාරුවක්, කිසිදු නායකයෙක් ප්‍රතික්ෂේප කොට නැහැ. ඒ අනුව යමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනතාවගේ ජන වරම සුහදව පිළිගනිමින් ප්‍රජාතන්ත්‍රවාදී බල හුවමාරුව වෙනුවෙන් එතුමාගේ කැපවීම, එතුමාගේ ආදර්ශය ලබාදීමට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා.

අපට ලැබෙන්නේ ඉතාමත් අභියෝගාත්මක රටක් බව අපි ඉතා ගැඹුරින් තේරුම් ගෙන සිටිනවා. අපේ රටේ දේශපාලනය මීට වඩා පිරිසිදු විය යුතුයි. ජනතාව විශාල ලෙස අපේක්ෂා කරන යහපත් දේශපාලන සංස්කෘතියක අවශ්‍යතාවය තිබෙනවා. අප ඒ වෙනුවෙන් කැපවෙන්න සූදානම්. අපේ රටේ දේශපාලකයාත්, දේශපාලනයත් පිළිබඳව පොදු පුරවැසියන්ගේ තිබෙන්නේ අයහපත් අදහසක්. දේශපාලනය සුදුසු නැති දෙයක් වගේ අදහසක් තිබෙනවා. ඒ නිසා අපේ උපරිම කැපවීමෙන් නැවත දේශපාලනය කෙරෙහිත් දේශපාලකයා කෙරෙහිත් මහජනයාගේ ගෞරවය, මහජනයාගේ විශ්වාසය, තහවුරු කිරීමට අපගේ පාර්ශ්වයෙන් කළ හැකි සියල්ල සිදුකරනවා. ඒ වගේම අප හමුවේ තිබෙන ගැඹුරුතම අර්බුදය හුදු ආණ්ඩුවකට, හුදු දේශපාලන පක්ෂයකට හුදු පුද්ගලයෙකුට පමණක් පියමං කළ හැකි දෙයක් බව අපි විශ්වාස කරන්නේ නැහැ. මෙයට පෙරත් මම ප්‍රකාශ කර ඇති පරිදි මා ඉන්ද්‍රජාලිකයෙකු හෝ මැජික්කරුවෙකු නොවෙයි. මා මේ රටේ ඉපදුණු සාමාන්‍ය පුරවැසියෙක්. හැකියාවන් තිබෙනවා. නොහැකියාවන් තිබෙනවා. දන්න දේවල් තිබෙනවා. නොදන්න දේවල් තිබෙනවා. හැබැයි මගේ ප්‍රමුඛතම කාර්යය හැකියාවන් උරාගෙන, දන්න දේ එක්රැස්කරගෙන වඩාත් හොඳ තීන්දු තීරණ අරගෙන ක්‍රියාකිරීමයි.

ඒ නිසා ඒ සාමූහික මැදිහත් වීමේ පංගුකරුවෙකු ලෙස පත්වීම මගේ වගකීමයි. ඒ වෙනුවෙන් සාමූහිකව මැදිහත් වීමේ කොටස්කරුවෙකු හැටියට මා පත්වෙනවා. මේ අර්බුදය නිමා කිරීමේදී පොදු පුරවැසියන්ටත්, සියලු ක්ෂේත්‍රවල අයටත් විශාල වගකීමක් තිබෙනවා. ඒ වගකීම ඉටුකිරීම වෙනුවෙන් මා හැමදෙනාගේම සහයෝගය අපේක්ෂා කරනවා. නමුත් රටේ ජනාධිපතිවරයා ලෙස මේ කාර්යය මෙහෙයවීමේ ප්‍රමුඛතම හා ප්‍රධානතම වගකීමත් මා වෙත තිබෙන බව තේරුම් ගෙන තිබෙනවා. ඒ නිසා ක්‍රියාවෙන්ම හැම අවස්ථාවකදීම මේ අභියෝගය පියමං කිරීම සඳහා මා වෙත පැවරී තිබෙන වැඩකොටස මා නිසි පරිදි ඉටුකරන බව මේ මේ රටේ පුරවැසියන්ට, සමාජයට ඒත්තු ගන්වන්න මම සූදානම්.

ඒ වගේම අපේ රටට ජාත්‍යන්තර සහයෝගය අවශ්‍යයි. ලෝකයේ කවර බල බෙදීමකදී වුවත් අපට වඩාත් වාසි සහගත ලෙස අපි අපේ විදේශ ප්‍රතිපත්තිය පවත්වාගෙන යනවා. අපට අවශ්‍ය ලෝකයේ හුදකලා රාජ්‍යයක් නොවෙයි; ලෝකයත් සමග සාමූහිකව, ඒකාබද්ධව ඉදිරියට යා යුතු රාජ්‍යයක්. ඒ වෙනුවෙන් අවශ්‍ය තීන්දු තීරණ ගන්න අපි කිසිසේත්ම පැකිළෙන්නේ නැහැ. අපේ රට ගොඩනැගීමේදී කර්මාන්තකරුවන්ට හා ව්‍යවසායකයන්ට විශාල කාර්යභාරයක් පැවරී තිබෙනවා. ඔවුන් වඩා ශක්තිමත්ව අපේ රට ගොඩනැගීම සඳහා රජයේ ක්‍රියාවලියට සහයෝගය දේවි, උදව් කරාවි කියා බලාපොරොත්තු වෙනවා.

අවසන් වශයෙන් මම කියන්නේ, අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියක් තුළින් මාව ජනාධිපති ලෙස තෝරා පත්කරගෙන සිටිනවා. ඒ තෝරා පත්කර ගැනීම සඳහා ජනතාව මා වෙත ඡන්දය ලබාදී තිබෙනවා. මට ලබා නොදුන් ඡන්ද ප්‍රමාණයකුත් තිබෙනවා. ඒ නිසා ජයග්‍රහණයේ සංයුතිය සහ ප්‍රමාණය පිළිබඳව අපට ඉතා හොඳ අවබෝධයක් තිබෙනවා. ඒ නිසා මාගේ පාලන කාලය තුළ මට පැවරී තිබෙන කාර්යභාරය, අපට ඡන්දය නොදුන්, අපව විශ්වාස නොකරන අයගේ සහයෝගය ලබා ගැනීම සහ විශ්වාසය දිනා ගැනීම සාර්ථකව සිදුකළ හැකියි කියන විශ්වාසය අපට තිබෙනවා. ඉදිරියේදී මේ සියල්ල ප්‍රායෝගිකවත් අත්විඳින්න හැකිවේවි. ඒ සඳහා සියලු දෙනාගේ සහයෝගය අපේක්ෂා කරනවා.”

Videos

ලංකාවේ ආර්ථික සංවර්ධනයට ලබා දිය හැකි උපරිම සහාය දෙනවා – චීන අගමැති (වීඩියෝ)

Published

on

By

ශ්‍රී ලාංකේය ජනතාවට “පොහොසත් රටක් –  ලස්සන ජීවිතයක් ” ඇති කිරීම සඳහා වත්මන් රජය ගෙන යන වැඩ පිළිවෙළට  චීනයේ සහාය ලබා දෙන බව චීන අග්‍රාමාත්‍ය  ලී ච්‍යං මහතා  ප්‍රකාශ කළේය.

චීන අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බීජිං අගනුවර දී අද (16) පස්වරුවේ හමු වූ අවස්ථාවේදීය.

චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතා විසින්  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉතා මිත්‍රශීලිව පිළිගනු ලැබීය.

ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය සඳහා චීනයට ලබා දිය හැකි උපරිම සහාය ලබා දෙන බවද චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතා මෙහිදී අවධාරණය කළේය.

දූෂණයෙන් තොර රටක් නිර්මාණය කිරීම සඳහා වත්මන් රජය ගෙන යන වැඩපිළිවෙල චීන අග්‍රාමාත්‍යවරයාගේ පැසසුමට ලක් විය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ, චීනය සහ ශ්‍රී ලංකාව අතර මිතුදම ෆාහියන් භික්ෂුවගේ සමයට පෙර සිටම  පවතින බවය.

දුප්පත්කම තුරන් කිරීම සහ ශ්‍රී ලංකාව ඩිජිටල්කරණයට නතු කිරීම සඳහා වත්මන් රජය ගෙන යන වැඩපිළිවෙලට  සහාය දක්වන ලෙස ද ජනාධිපතිවරයා චීන අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේය.

මේ වන විටත් චීන රජය ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබා දී තිබෙන සහාය සිහිපත් කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඒ පිළිබඳ චීන රජයට සහ ජනතාවට ස්තුතිය පළ කළේය.

දෙරටේ දිගු කාලීන මිත්‍රත්වය වර්ධනය කිරීම, ආයෝජන ප්‍රවර්ධනය සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

සංස්කෘතික හුවමාරුව, වෙළෙඳ හා දේශපාලන සහයෝගීතාව පිළිබඳව ද මෙම හමුවේදී විශේෂ අවධානයට ලක් විය.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක, ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ජන්හොං,, චීනයේ ශ්‍රී ලංකා තානාපති මජින්ත ජයසිංහ යන මහත්වරු ඇතුළු චීනයේ රාජතාන්ත්‍රිකයින්ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

(ජනාධිපති මාධ්‍ය අංශය)

(වීඩියෝ : CCTV)

Continue Reading

Videos

චීන මහජන විරුවන්ට ජනපති අනුරගෙන් පුෂ්පෝපහාර (වීඩියෝ)

Published

on

By

මේ වන විට චීනයේ සිව්දින සංචාරයක නිරතව සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (16) දිනයේදී ටියැන්අන්මන් චතුරස්‍රයේ පිහිටි මහජන විරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වූයේය.

(වීඩියෝ : CCTV +)

Continue Reading

Videos

හම්බන්තොට තෙල් පිරිපහදුවක් ඉදිකරන්න චීනය හා ගිවිසුමක් (වීඩියෝ)

Published

on

By

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සිව් දින චීන රාජ්‍ය සංචාරයේ දී මෙරටට හිමි වු විශාලතම ආයෝජනය සනිටුහන් කරමින්  හම්බන්තොට ප්‍රදේශයේ නව තෙල් පිරිපහදුවක් ඉදිකිරීමට අදාළව ශ්‍රී ලංකාවේ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සහ චීනයේ සයිනොපෙක් සමාගම අතර ගිවිසුමකට අත්සන් තැබීම අද (16) පෙරවරුවේ සිදු විය.

ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර ඛනිජ තෙල් සමාගමක් වන සයිනොපෙක් සමාගම ඩොලර් බිලියන 3.7ක සෘජු විදේශ ආයෝජනයක් යටතේ මෙරට ඉදිකිරීමට නියමිත මෙම තෙල් පිරිපහදුව තෙල් බැරල් ලක්ෂ 02ක ධාරිතාවකින් යුක්ත අතර ඉන් අතිවිශාල ප්‍රමාණයක් අපනයනය කිරීමට සැලසුම් කර තිබේ.

චීනයෙන් ශ්‍රී ලංකාවට හිමි වු මෙම දැවැන්ත ආයෝජනය මෙරට ආර්ථික වර්ධනයට මෙන්ම හම්බන්තොට ප්‍රදේශයේ අඩු අදායම්ලාභී ජනතාවගේ ජීවනෝපායමාර්ග ද ශක්තිමත් කිරීමට දායක වනු ඇත. එසේම ඉතා ඉක්මණින් මෙහි ප්‍රතිලාභ සමස්ත ශ්‍රී ලාංකික ජනතාවට හිමි වේ.

විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත්, ප්‍රවාහන හා මහාමාර්ග සහ වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් එච්. එස්. කේ. ජේ බණ්ඩාර යන මහත්වරුද ගිවිසුම අත්සන් තැබීමේ අවස්ථාවට එක්ව සිටියහ.

(ජනාධිපති මාධ්‍ය අංශය)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved