Connect with us

පුවත්

නාඳුනන මළ සිරුරු දෙකක් හමුවෙයි; එක් සිරුරක ඉනෙන් පහළ නැහැ

Published

on

නාඳුනන පිරිමි දෙදෙනකුගේ මළ සිරුරු ස්ථාන දෙකකින් සොයාගෙන තිබේ.

එක් මළ සිරුරක් කැලණි ගඟේ පාවෙමින් තිබියදී සහ අනෙක කලවාන ප්‍රදේශයෙන් ඊයේ සොයාගෙන ඇත.

වැල්ලම්පිටිය, කොටුවිල ප්‍රදේශයේ කැලණි ගඟේ ඉවුරේ තිබී සොයාගත් මළ සිරුරේ ඉනෙන් පහළ කොටස නොමැති බවද පොලීසිය කියයි.

මියගොස් ඇති අයගේ අනන්‍යතාව ද මෙතෙක් තහවුරු කර ගැනීමට නොහැකි වී තිබේ.

මළ සිරුර සිද්ධිය සිදුවූ ස්ථානයේ තිබෙන බවත් වැල්ලම්පිටිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වන බවත් පොලීසිය වැඩිදුරටත් නිවේදනය කරයි.

පුවත්

ඇමති විජේපාලගේ මන්ත්‍රී ධූරය අහෝසි කිරීමේ පෙත්සමට අද මොකද වුණේ?

Published

on

By

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාලගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බලරහිත කිරීමේ අඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබෙන පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා අද අභියාචනාධිකරණය හමුවේ මූලික විරෝධතා මතු කළේ ය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා විසින් ගොනු කරනු ලැබ තිබූ මෙම පෙත්සම අද (පෙබ: 17) අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ කේ.එම්.එස්. දිසානායක යන විනිසුරුවරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබිණි.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම තුළ ඉතා වැදගත් අත්‍යවශ්‍ය පාර්ශවකරුවන් වග උත්තරකරුවන් ලෙස නම් කර නොමැති බව සඳහන් කළේ ය.

‘ජනාධිපති ලේකම් නැති වීම අඩුවක්’

ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා පත්කරනු ලබන්නේ ජනාධිපතිවරයාගේ නියමය පරිදි ජනාධිපති ලේකම්වරයා බව පෙන්වා දුන් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා මෙම පෙත්සමේ වග උත්තරකරුවකු ලෙස ජනාධිපති ලේකම්වරයා නම් කර නොතිබීම බරපතළ නීතිමය ඌණතාවක් බව සඳහන් කළේ ය.

ඒ අනුව මෙම පෙත්සම පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති බවත් එය නිෂ්ප්‍රභ කරන ලෙසත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සිය මූලික විරෝධතා දක්වමින් සඳහන් කළේ ය.

මෙම අවස්ථාවේදී වගඋත්තරකාර අමාත්‍ය ආනන්ද විජේපාල වෙනුවෙන් නීතිඥ චාමර නානායක්කාරවසම් සමග පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම අධිකරණය හමුවේ කරුණු දක්වමින් ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා පත් කරනු ලබන්නේ ජනාධිපතිවරයා විසින් බැවින් ජනාධිපතිවරයාගේ නිල ක්‍රියාවක් අභියෝගයට ලක් කරමින් අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ඉදිරිපත් කිරීමට හැකියාවක් නොමැති බව සඳහන් කළහ.

ඒ අනුව, මෙම පෙත්සම සලකා බැලීමට අභියාචනාධිකරණයට අධිකරණ බලයක් නොමැති බවත් එය නිෂ්ප්‍රභ කරන ලෙසත් ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම සිය මූලික විරෝධතා ඉදිරිපත් කරමින් සඳහන් කර සිටියේ ය.

මෙහිදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ විශ්ව පෙරේරා සඳහන් කළේ, වග උත්තරකාර අමාත්‍යවරයා ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා වශයෙන් පත්කිරීම තමන් විසින් කිසිසේත් ම අභියෝගයට ලක් නොකරන බව ය.

තමා අවධාරණය කරන්නේ වග උත්තරකාර අමාත්‍යවරයාට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට සහ ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් නොමැති බව පමණක් යැයි ද නීතිඥවරයා සඳහන් කර සිටියේ ය.

වැඩබලන සභාපති විනිසුරුගේ තීරණය

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති විනිසුරුවරයා කියා සිටියේ, මෙම පෙත්සම පවත්වාගෙන යාමට තිබෙන හැකියාව සම්බන්ධයෙන් වග උත්තරකරුවන් මූලික විරෝධතා මතු කර ඇති නිසා ඒ සම්බන්ධයෙන් මුලින් ම තීන්දුවක් ලබා දීමට තමාට සිදුවන බව ය.

ඒ අනුව, මූලික විරෝධතාවලට අදාළව ලිඛිත දේශන තිබේ නම් ඒවා මාර්තු මස 18 වන දා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස විනිසුරු මඩුල්ල විසින් පෙත්සමේ සියලු පාර්ශවකරුවන්ට නියෝග කරනු ලැබීය.

පෙත්සමේ අන්තර්ගතය

මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස අමාත්‍ය ආනන්ද විජේපාල, පාර්ලිමේන්තු මහ ලේකම් සහ නීතිපතිවරයා නම් කර තිබේ.

පෙත්සම්කරු කියා සිටින්නේ, වග උත්තරකර ආනන්ද විජේපාල මහජන ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා විසින් ඉකුත් නොවැම්බර් මස 18 වන දා පත්කරන ලද බව ය.

පසුව ඉකුත් දෙසැම්බර් මස 10 වන දා නිකුත් වූ සන්ඩේ ටයිම්ස් පුවත්පත මගින් ආනන්ද විජේපාල ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා වශයෙන් පත් කර තිබෙන බව වාර්තා කර තිබූ බවත් පෙත්සමේ සඳහන් වෙයි.

පසුව මේ පිළිබඳව තමා තොරතුරු දැනගැනීමේ වන යටතේ ඉල්ලීමක් කළ අතර එහිදී අමාත්‍ය ආනන්ද විජේපාල ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා වශයෙන් පත්කර තිබෙන බව තහවුරු කර ගත් බවත් පෙත්සම්කරු සඳහන් කළේ ය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91 වන ව්‍යවස්ථාව යටතේ රාජ්‍ය සේවයේ නිරත අයෙකු පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට හා ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් නොලබන බව දක්වා ඇතැයි පෙත්සම්කරු ප්‍රකාශ කරයි.

ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා යනු රාජ්‍ය තනතුරක් යැයි පෙන්වා දෙන පෙත්සම්කරු ඒ අනුව එවැනි තනතුරක් දරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් දැරීමට අමාත්‍ය ආනන්ද විජේපාලට සුදුසුකමක් නොමැති බවට තර්ක කරයි.

ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව ආනන්ද විජේපාල අමාත්‍යවරයාට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුකම් නොමැති බවට තීන්දුකොට ඔහුගේ මන්ත්‍රී ධූරය බලරහිත කිරීමේ තීන්දුවක් ලබා දෙන ලෙසත් පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා තිබේ.

ඊට අමතරව මෙම පෙත්සම විභාග කර අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරන තුරු ආනන්ද විජේපාල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් අසුන් ගැනීම හා පාර්ලිමේන්තුවේ ඡන්දය ප්‍රකාශ කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් ඉල්ලා ඇත.

එසේ ම, ආනන්ද විජේපාල මහජන ආරක්ෂක අමාත්‍ය ධූරයේ කටයුතු කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

BBC සිංහල සේවය

Continue Reading

පුවත්

පළාත් පාලන ආයතන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත විශේෂ බහුතර ඡන්දයෙන් සම්මතයි

Published

on

By

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත දෙවනවර කියවීම අද (17) පාර්ලිමේන්තුවේදී විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත විය.

එහිදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 187ක් ලැබුණු අතර විරුද්ධව කිසිදු ඡන්දයක් භාවිත කර නොතිබීම මෙහිදී දක්නට ලැබුණු විශේෂ සිදුවීමකි.

Continue Reading

පුවත්

අධික රස්නය ගැන අවවාදාත්මක නිවේදනයක්!

Published

on

By

උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

අද (17) ප.ව 4:00 නිකුත්කළ එම නිවේදනය හෙට (18) දිනය සඳහා වලංගු වන පරිදි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත.

ඒ අනුව උතුරු, උතුරු මැද, වයඹ, බස්නාහිර සහ දකුණු පළාත් සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය යොමුකළ යුතු” මට්ටමක පවතියි යැයි අපේක්ෂා කෙරේ.

මෙම තත්ත්වය තුළ ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම, හැකිතාක් සෙවන ඇති ස්ථානවල රැඳී සිටීම සිදුකළ යුතු අතර කුඩා ළමුන්, වැඩිහිටි හා රෝගී පුද්ගලයින් සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ යුතු බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දෙයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved