Connect with us

පුවත්

නිවාස ව්‍යාපෘතියකට චීනය – ලංකාව ගිවිසුම් අත්සන් කරයි

Published

on

චීන රජයේ ආධාර මත අඩු ආදායම්ලාභීන්, කෘතහස්ත කලාකරුවන් හා මාධ්‍යවේදීන් වෙනුවෙන් නිවාස 1,996ක් ඉදිකිරීමේ ගිවිසුමට අද (27) අත්සන් තබා ඇත.

ශ්‍රී ලංකා රජය වෙනුවෙන් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අදාල ගිවිසුමට අත්සන් තැබූ අතර චීන රජය වෙනුවෙන් ඊට අත්සන් තැබුවේ ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ජන්හොං මහතායි.

ගිවිසුම අත්සන් තැබීම බත්තරමුල්ල, නාගරික සංවර්ධන අධිකාරියේ ශ්‍රවණාගාරයේදී සිදු කෙරිණි.

චීන රජය විසින් මෙම ව්‍යාපෘතිය සඳහා යුවාන් මිලියන 552ක මූල්‍යාධාරයක් ලබාදෙන අතර, එය මෙරට මුදලින් ආසන්න වශයෙන් රු. බිලියන 24.48කි. 

වසර තුනක් තුළ ඉදි කෙරෙන මෙම නිවාස 1,996න් නිවාස 1,888 ක් කොළඹ ජීවත්වන අඩු ආදායම්ලාභීන්ටත්, නිවාස 108ක් මෙරට කෘතහස්ත කලාකරුවන් හා මාධ්‍යවේදීන් සඳහාත් වෙන්කෙරේ. 

ඒ අනුව පෑලියගොඩ දුටුගැමුණු පාරේ නිවාස 615ක්, දෙමටගොඩ එළුමඩුව වත්තේ නිවාස 586 ක්, මොරටුව බැටරි වත්තේ නිවාස 575 ක්, මහරගම අඹවත්තේ නිවාස 112 ක් සහ කොට්ටාව පළතුරුවත්තේ නිවාස 108ක් වශයෙන් ඉදි කෙරෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය විසින් නිවේදනය කරයි. කලාකරුවන් සහ මාධ්‍යවේදීන් සඳහා වෙන් කරන්නේ කොට්ටාව පළතුරුවත්ත නිවාස 108යි.

අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීමෙන් පසු නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේ ලබන මාර්තු මාසයේදී මෙම නිවාස ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවයි.

මෙරට නිවාස ඉදිකිරීම සඳහා චීන රජය සමඟ ගිවිසුම් ගතවූ පළමු හා අවසන් අවස්ථාව මෙය නොවන බව පෙන්වා දුන් ඇමතිවරයා චීනය හැමවිටම මෙරට ජනතාවගේ සාමාජීය හා ආර්ථික ගැටළු සඳහා සහන සැලසීමට ඉදිරිපත් වූ බවද පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ රජය වෙනුවෙන් චීන ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයටත්, එරට ජනතාවටත් ස්තූතිය පළ කළ ඇමතිවරයා චීනය හා ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පුළුල් කිරීමට මෙම ව්‍යාපෘති ඉවහල්වන බවද පෙන්වා දුන්නේය. චීනය හැමවිටම ශ්‍රී ලංකාවේ මිතුරෙක් බවත්, ශ්‍රී ලංකාව මුහුණදුන් සෑම අසීරු අවස්ථාවකදීම චීන රජය සමීප මිතුරෙකු ලෙස ඒ සඳහා සහාය පළ කළ බවත්, දශක තුනක් තිස්සේ මෙරට පැවැති යුදමය වාතාවරණය තුළත්, ඉන් පසුවත් චීනය හැමවිටම ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටි බවද ඔහු කීවේය.

මෙහිදී අදහස් පළ කළ මෙරට චීන තානාපති චී ජන්හොං මහතා අවධාරණය කළේ, චීනය හැමවිටම ශ්‍රී ලංකාවේ සාමාජීය හා ආර්ථික තත්ත්වය දියුණු කිරීම සඳහා සහාය පළ කරන බවයි. චීන ප්‍රදානයන් යටතේ මෙරට ජනතාවගේ ආර්ථික හා සාමාජීය තත්ත්වය ඉහළ නැංවීමේ ව්‍යාපෘති 100කට අධික සංඛ්‍යාවකට චීනය දායක වී ඇතැයිද පෙන්වා දුන් තානාපතිවරයා පසුගිය කාලයේදී ශ්‍රී ලංකාව මුහුණ දුන් ස්වභාවික විපත්, ත්‍රස්තවාදී යුද්ධය, කොවිඩ් වසංගතය හා ආර්ථික අර්බුදය අවස්ථාවේදීද හැකි උපරිමයෙන් ශ්‍රී ලංකාවට සහාය පළ කළ බවද අවධාරණය කළේය. චීනය ශ්‍රී ලංකාවේ හොඳ අසල්වැසියකු මෙන්ම සමීප මිතුරෙකු බව පෙන්වා දුන් තානාපතිවරයා සඳහන් කළේ මෙරට ජනතාවගේ සාමාජීය හා ආර්ථික තත්ත්වය ඉහළ නැංවීම සඳහා උදව් උපකාර කිරීමට චීනය තවදුරටත් සුදානමින් සිටින බවයි.

මෙම අවස්ථාවට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ, අමාත්‍යාංශ ලේකම් ඩබ්ලිව්.එස්. සත්‍යානන්ද, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත්, එහි අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර යන මහත්වරු ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

පුවත්

ඇප ලැබුණත් චාමර රිමාන්ඩ් (UPDATE)

Published

on

By

නඩු තුනක් සම්බන්ධයෙන් අද (27) දිනයේ අධිකරණයට ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා නඩු දෙකකින් ඇප හිමි වුවත් එක නඩුවකට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ අනුව චාමර සම්පත් දසනායක මහතා අප්‍රේල් 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත. 


(පෙර පුවත 2025 මාර්තු 27 ප.ව.4:55)

චාමරට ඇප ලැබේ(UPDATE)

දූෂණ චෝදනා මත සැකපිට අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

අද (27) දින ප්‍රකාශයක් සටහන් කරගැනීමෙන් අනතුරුව සැකකාර මන්ත්‍රීවරයා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

ඉන් පසුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය, සැකකරු රුපියල් 50,000ක මුදල් ඇප සහ රුපියල් මිලියන 5 බැගින් වූ ශරීර 2ක් මත මුදාහැරීමට නියම කළේය.

එමෙන්ම සැකකරුගේ විදේශ ගමන් තහනම් කළ මහෙස්ත්‍රාත්වරිය, ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාරදිය යුතු බවටත් නියෝග කර ඇත.

ඇප කොන්දේසි සම්පූර්ණ කිරීමෙන් අනතුරුව සැකකරු ඇප මත මුදාහරිණ ලෙස මහෙස්ත්‍රාත්වරිය නියම කලාය.

2016 වසරේ ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් ළදරු පාසල් දරුවන්ට බෑග් ලබාදීම සඳහා පළාත් සභාව හරහා ලංකා බැංකුවෙන් රුපියල් ලක්ෂ 10ක මුදලක් චෙක්පතක් වශයෙන් ලබාගෙන එය තම පදනම යටතේ මුදල් බවට පත්කරගැනීම තුළින් දූෂණය නමැති වරද සිදුකළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් චාමර සම්පත් දසනායක මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

(පෙර පුවත 2025 මාර්තු 27 ප.ව.2.01.)


චාමර සම්පත් අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අද (27) ප‍්‍රකාශයක් ලබා දීමට පැමිණි අවස්ථාවේදීය.

ඔහු ඌව පළාත් මහ ඇමතිවරයාව සිටින කාලයේ එම පළාත් සභාවේ සිදුව ඇති බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ලක් මත මෙම පරීක්‍ෂණ ක‍්‍රියාත්මක බව සඳහන් වේ.

(පෙර පුවත 2025 මාර්තු 27 ප.ව.1.55.)


චාමර සම්පත් අල්ලස් කොමිසමට

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාගෙන් අල්ලස් කොමිසම මේ වන විට ප්‍රශ්න කරමින් සිටින බව වාර්තා වේ.

ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ සිදු වූ අක්‍රමිකතාවකට අදාළව මෙලෙස ප්‍රශ්න කිරීම් සිදුකර බව සඳහන්ය.

Continue Reading

පුවත්

ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණයට GP සහතිකකරන ක්‍රමවේදය හඳුන්වාදේ

Published

on

By

ශ්‍රී ලංකාවේ තිරසාර අපද්‍රව්‍ය කළමනාකරණයට මහඟු  පිටුවහලක් ලබාදෙන නව ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණ සහතික කිරීමේ ක්‍රමවේදයක් – GP Certified නමින්  පසුගියදා කොළඹදී හඳුන්වාදෙනු ලැබීය.

මෙම ක්‍රමවේදය හඳුන්වා දෙනු ලැබුවේ Island Climate Initiative (ICI) ආයතනය විසිනි.

GP Certified යනු ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලිය ජාත්‍යන්තර ප්‍රමිතින් අනූව ක්‍රියාත්මක කිරීමට මඟ පෙන්වමින් මෙරටට මුල් වරට හදුන්වා දෙන උසස් තත්ත්ව සහතිකයකි.  එහිදී ICI නිලධාරීන් පැවසුවේ, “ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය ජාත්‍යන්තරව පිළිගත් නිර්නායක අනූව ක්‍රියාත්මක කිරීමට මෙය උපකාරී වේ,”යන්නයි.

ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණයේ අභියෝගය

වසරකට ටොන් ගණනින් ප්ලාස්ටික් අපද්‍රව්‍ය ශ්‍රී ලංකාවේ පරිසරයට මුදාහැරෙයි. එයින් ප්‍රතිචක්‍රීකරණය කරනු ලබන්නේ සියයට 4%  පමණි. ඉතිරි 96% බොහෝවිට දහනය කිරීම, කසල ලෙස බැහැර කිරීම හෝ ජල මාර්ගවලට මුදා හැරීම හේතුවෙන්  විශාල ලෙස පරිසරික හා සාගර /ජල  දූෂණයට මඟ පාදයි.

GP Certified ක්‍රමවේදය මෙම ගැටළුවට විසඳුමක් වශයෙන් හඳුන්වාදී ඇති අතර, එය ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලිය නවීකරණය කරමින් ශ්‍රී ලංකාවේ බහුල වශයෙන් ප්ලාස්ටික් අපද්‍රව්‍ය පරිසරයට මුදා හරින FMCG (Fast-Moving Consumer Goods) වෙළඳපලට නව මඟක් සපයයි.

ඒ අනුව  ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය සහතික කරමින්, ප්ලාස්ටික් භාවිතය සඳහා වගකීමක් සහිත ක්‍රමවේදයක් නිර්මාණය කිරීමට මෙය උපකාරී වේ.

GP Certified සහතිකය සහ එහි වැදගත්කම

GP Certified සහතිකය හිමිවූ ප්ලාස්ටික් නැවත භාවිතයට ගතහැකි, ආරක්ෂිත සහ පාරිසරික වගකීමක් සහිත බව සනාථ කරයි. මෙය FMCG සමාගම්වලට ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය කරන ලද ද්‍රව්‍ය ආරක්ෂිතව භාවිතා කිරීමට සහාය වීම අරමුණු කරයි.

GP Certified සහතිකය ලබාදෙන ප්‍රමුඛතම කරුණු:
• ආරක්ෂාව – ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය  සෞඛ්‍යාරක්ෂිතව හා  සනීපාරක්ෂක තත්ත්ව වලට අනුකූලව සිදු වීම.
• ගුණාත්මකභාවය – ප්ලාස්ටික් ඇසුරුම් නිෂ්පාදන සඳහා උසස් තත්ත්වය සහතික කිරීම.
• තිරසාරත්වය –සමාජ වගකීමක් සහිත සැපයුම් දාම සහ අපද්‍රව්‍ය කළමණාකරණ ක්‍රමවේද ප්‍රවර්ධනය කිරීම

Island Climate Initiative හි කළමනාකාර අධ්‍යක්ෂ චමින්ද රාජපක්ෂ පවසන්නේ “GP Certified සහතිකය ලද විට, ප්ලාස්ටික් අපද්‍රව්‍ය වාසිදායක සම්පතක් බවට පත්වන අතර, දේශීය ව්‍යාපාර ශක්තිමත් කරමින්, විදේශ විනිමය ඉතිරි කිරීමට සහ ශ්‍රී ලංකාවේ පාරිසරික සුන්දරත්වය ආරක්ෂා කිරීමට මෙය මහත්  උපකාරයක් වන බවයි.”

මේ අතර, Ecopoly (Pvt) Ltd හි කළමනාකාර අධ්‍යක්ෂ චුල්ලක හපුආරච්චි පැවසුවේ “GP Certified වැඩසටහන ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණ කර්මාන්තය සුවිශාල පෙරළියකට ලක් කරන නව අදියරකි. මෙය අපගේ නිෂ්පාදන ආරක්ෂාව හා ගුණාත්මකභාවය තහවුරු කරමින්, පාරිභෝගික විශ්වාසය වර්ධනය කරනු ඇති බවයි.”

GP Certified වැඩසටහන සහ දේශීය සහයෝගිතාව

මෙම වැඩසටහනට PLEASE ව්‍යාපෘතිය මඟින් මූල්‍ය සහය ලබාදෙන අතර, එය ලෝක බැංකුව සහ UNOPS ආයතනවල සහය යටතේ, දකුණු ආසියානු සහකාර පාරිසරික වැඩසටහන (SACEP) මඟින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි.

කොළඹදී පැවැති මෙම එළිදැක්වීමේ උත්සවයේදී FMCG වෙළඳ නාම ප්‍රවර්ධකයින්, ප්‍රතිචක්‍රීකරණකරුවන්, ප්‍රතිපත්ති සැලසුම්කරුවන් සහ පාරිසරික නියෝජිතයන් එක්වී ශ්‍රී ලංකාවේ තිරසාර ඇසුරුම්කරණයේ අනාගතය පිළිබඳව සාකච්ඡා කළහ.

GP Certified වැඩසටහන ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණ කර්මාන්තය නව මානයකට ගෙනයාමට සහාය වන අතර, තිරසාර චක්‍රීය ආර්ථිකයක් ගොඩනැගීමට මෙය වැදගත් වේ.

Continue Reading

පුවත්

හිඟයකින් තොරව සහල් සපයන්න රජයට වැඩපිළිවෙළක් තිබෙනවා

Published

on

By

කිසියම් ආකාරයක හාල් හිඟයක් ඇති වුවහොත් ක්ෂණිකවම විදේශයකින් ගෙන්වනවා මිස මිල වැඩිකිරීමට ඉඩදෙන්නේ නැති බව අමාත්‍ය ලාල් කාන්ත මහතා අවධාරණය කරයි.

කීරි සම්බා හිඟයක් ඇති බවට වන වාර්තා පිළිබඳ අවධානය යොමුව ඇති බව ද අමාත්‍යවරයා පවසයි.

අමාත්‍ය ලාල් කාන්ත මහතා මේ බව සඳහන් කළේ මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්විමෙන් පසුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved