Connect with us

පුවත්

නීතිවිරෝධී විදෙස් ගත වීම් වළකන්න නව ඒකකයක්  

Published

on

සංචාරක වීසා යොදා ගෙන සිදු කෙරෙන නීතිවිරෝධී විදේශ ගත වීම් වැලැක්වීම සදහා කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ ස්ථාපිත ”ආරක්ෂිත සංක්‍රමණ ප්‍රවර්ධන ඒකකය“ කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අතින් අද (21) උදෑසන විවෘත කෙරිණි.

රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය යටතේ මිනිස් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්යය සාධන බළකායේ නිර්දේශ මත මෙම නව ඒකකය පිහිටුවා තිබේ.

මෑත කාළීනව ශ්‍රීලාංකිකයන් විශාල වශයෙන් සංචාරක වීසා යටතේඕමානය, මැලේසියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත රැකියා සදහා පිටත්ව ගොස් ඇති බැවින් විශාල ප්‍රශ්න රාශියක් නිර්මාණය වී ඇති බවත් ඒවා වැලැක්වීම සදහා මෙම නව ඒකකය ස්ථාපිත කළ බවත් මනූෂ නානායක්කාර අමාත්‍යවරයා පැවසීය .

මෙම නව ඒකකය තුළ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය, ආගමන විගමන දෙපාර්තමේන්තුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ රාජ්‍ය බුද්ධි සේවයට අයත් නිලධාරීන් සේවයෙහි යොදවා තිබේ .

මාස තුනක නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක මෙම ඒකකයේ ප්‍රගතිය සමාලෝචනය කිරීමෙන් පසුව සිදු කළ යුතු සංවර්ධන යෝජනා ද ක්‍රියාත්මක කිරීමට නියමිතය.

සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති, විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි, ගුවන් තොටුපොළ කළමනාකරණ ප්‍රධානී එච්.එස්.හෙට්ටිආරච්චි, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති හිල්මි අසීෂ්, එහි සාමාන්‍යාධිකාරී ප්‍රියන්ත සේනානායක මෙන්ම ශ්‍රී ලංකා පොලිසිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව, ආරක්ෂක අමාත්‍යාංශය නියෝජනය කරමින් ඒවායේ උසස් නිලධාරීන් පිරිසක් ද

 මෙම අවස්ථාවටපැමිණ සිටියහ.

පුවත්

ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි

Published

on

By

නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ හේතුවෙන් අද (21) දිනයේ බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, පුත්තලම, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකියි.

උතුරු-මැද පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඌව පළාතේ සහ අම්පාර දිස්ත්‍රික්කයේ  සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත්  විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණක තරමක තද සුළං ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Continue Reading

පුවත්

පොලිස්පති, ප්‍රභූ ආරක්ෂක අධ්‍යක්ෂ වහාම පාර්ලිමේන්තුවට කැඳවන්නැයි පක්ෂ නායකයෝ කතා නායකට කියති

Published

on

By

මෙරට ජාතික ආරක්ෂාවේ බිඳවැටීම පිළිබඳව මතුව ඇති තත්ත්වයන් ගැන සාකච්ඡා කිරීමට පොලිස්පතිවරයා සහ ප්‍රභූ ආරක්ෂක අංශයේ අධ්‍යක්ෂවරයා වහාම පාර්ලිමේන්තුවට කැඳවන ලෙස විපක්ෂ පක්ෂ නායකයන් කථානායකවරයා දැනුවත් කර තිබේ.

ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් හා මන්ත්‍රිවරුන් අතර විපක්ෂ නායක කාර්යාලයේදී ඊයේ (20) පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුවය.

මෙම අවස්ථාවට ගයන්ත කරුණාතිලක, සිවඥානම් ශ්‍රීධරන්, රවුෆ් හකීම්, රිෂාඩ් බදියුදීන්, රවී කරුණානායක, ජීවන් තොණ්ඩමන්, කේ. කාදර් මස්තාන්, දිලිත් ජයවීර, දයාසිරි ජයසේකර, ජේ.සී. අලවතුවල, ආචාර්ය එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා, වෛද්‍ය පී.සත්‍යලිංගම්, නිසාම් කාරියප්පර් යන මන්ත්‍රිවරුන් එක්ව ඇත.

මෙරට ජාතික ආරක්ෂාවේ බිඳවැටීම රටේ ජන ජීවිතයට බලපෑමක් වී ඇති බවත්, විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ මහජන සේවාව නිදහසේ ඉටු කිරීමට නොහැකි තත්ත්වයක් ද උද්ගත වී ඇති බවත්, පක්ෂ නායකයන් එහිදී පෙන්වාදී තිබේ.

ඉන් පසුව ඒ පිළිබඳව නැවත වතාවක් කථානායකවරයාගේ අවධානය යොමු කිරීමේ අරමුණින් කථානායකවරයා හමුවීමට විපක්ෂයේ පක්ෂ නායකයන් තීරණය කර ඇත.

එම අවස්ථාවේදී විපක්ෂයේ මන්ත්‍රිවරුන්ගේ කාර්යභාරය පාර්ලිමේන්තුව තුළදී මෙන්ම පිටත දී නිදහසේ සහ ස්වාධීනව ඉටු කළ හැකි පරිසරයක් නිර්මාණය කිරීමේ වගකීම සහ වගවීම කථානායකවරයා සතු වන බව අවධාරණය කිරීමට කටයුතු කළ යුතු යැයි මන්ත්‍රිවරුන් පෙන්වාදී තිබේ.

Continue Reading

පුවත්

පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන් හෙට වැඩවර්ජනයක!

Published

on

By

ගැටලු පහක් මුල් කරගනිමින් පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන් හෙට (22 වැනිදා) උදෑසන අටේ සිට පැය 24ක වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර ඇත.

උසස්වීම්වලට අදාළ ගැටලුව, සතිඅන්ත හා නිවාඩු දින දීමනා, උපාධිධාරීන් බඳවා ගැනීමට අදාළ ගැටලු, සීමාවාසික පුහුණුව යන නාමයට අදාළ ගැටලුව, වැටුප් හා දීමනා විෂමතාවයන්ට අදාළ එකඟතා නොසලකා හැරීම එම ගැටලු වේ.

වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ, ඖෂධවේදීන්, විකිරණ තාක්ෂණවේදීන් වෘත්තීය, කථන විකිරණ චිකිත්සකයන් ඇතුළු වෘත්තීන් හතක් මෙම වැඩවර්ජනය සඳහා එක් වේ.

මේ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මාස දෙකක් තිස්සේ ඉල්ලීම් කළද සෞඛ්‍ය ඇමතිවරයාට ඒ පිළිබඳව කිසිදු තැකීමක් නොමැති බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් මහතා සඳහන් කරයි.

ඒ අනුව වැඩ වර්ජනයකට එළඹෙන බවට සඳහන් කරමින් සභාපතිවරයා විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයට යොමු කරන ලද ලිපිය මගින් පෙන්වා දෙන්නේ පරිපූරක වෛද්‍ය සේවාව තුළ නිර්මාණය වී ඇති ගැටලු විසඳීම සඳහා වර්තමාන සෞඛ්‍ය අමාත්‍යතුමා මැදිහත් නොවීම හේතුවෙන් වෘත්තීය ක්‍රියාමාර්ග වෙත එළඹෙන බවය.

පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය ලෙස පරිපූරක වෛද්‍ය සේවාව තුළ ඇති වන ඕනෑම ගැටලුකාරී තත්ත්වයකදී සෞඛ්‍ය සේවාලාභියාත්, සමස්ථ මහජනතාවත්, රජයත්, සෞඛ්‍ය අමාත්‍යාංශයත්, සෞඛ්‍ය බලධාරීන් හා නිලධාරීන් මෙන්ම පරිපූරක වෛද්‍ය වෘත්තිකයාත් ආරක්ෂා කරගනිමින් අදාළ ගැටලු විසඳාගැනීමට නිල මැදිහත්වීම සිදු කර ඇත.

කෙසේ වෙතත් සාකච්ඡා මාර්ගයෙන් අදාළ ගැටලු විසඳාගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයාගේ සහ සෞඛ්‍ය ලේකම්වරයාගේ දායකත්වය ලබාගැනීම සඳහා මෙතෙක් දැරූ සියලු උත්සහයන් ව්‍යර්ත වී ඇති බවද හෙතෙම කීවේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved