Connect with us

පුවත්

නෙවිල් ප්‍රනාන්දු රෝහල නව්‍යකරණයට නව සැලැස්මක්

Published

on

ප්‍රධාන ධාරාවන් කිහිපයක් පිළිබදව අවධානය යොමු කර සුදුසුම සංවර්ධන සැළැස්ම ක්‍රියාත්මක කරමින් මාළඹේ වෛද්‍ය නෙවිල් ප්‍රනානදු රෝහල රටට අතිශය ඵලදායී රෝහලක් ලෙස කඩිනමින් සංවර්ධනය කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කළේය.

අමාත්‍යවරයා මෙම කරුණු අනාවරණය කළේ පසුගියදා එම රෝහලේ සිදුකරන ලද විශේෂ නිරීක්ෂණ චාරිකාවකට හා සාකච්ඡාවකට එක්වෙමිනි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සිය ධූරයේ රාජකාරී ආරම්භ කිරීමෙන් පසු රජයේ රෝහලක සිදුකරන ලද පළමු නිරීක්ෂණ චාරිකාව ද මෙය විය.

මෙහිදී අමාත්‍යවරයා රෝහලේ සියලු අංශ නිරීක්ෂණයට ලක් කරමින් අදාල ඉදිරි සැළසුම් සකස් කිරීම සදහා අමාත්‍යංශයේ නිලධාරීන්, විශේෂඥ වෛද්‍යවරුන් ප්‍රමුඛ රෝහල් කාර්ය මණ්ඩලය සමග දීර්ඝ සාකච්ඡාවක නිරත විය.

මේ වනවිට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් රෝහල ඉදිරියේදී පවත්වාගෙන යායුතු ආකාරය සහ සංවර්ධනය කළයුතු ආකාරය පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍යවරයා පත්කර තිබෙන විශේෂ කමිටුව එම රෝහලේ ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳව ව්‍යාපෘති යෝජනාවලිය සකස්කරමින් සිටින බව මෙහිදී අනාවරණය විය.
ඉදිරියේදී ශ්‍රී ලංකාව සෞඛ්‍ය කේන්ද්‍රකරගත් සංචාරක ව්‍යාපාර අංශයෙන් ද ප්‍රධාන කේන්ද්‍ර ස්ථානයක් බවට පත් කිරීම වත්මන් රජයේ ප්‍රධාන ඉලක්කය බව සඳහන් කළ අමාත්‍යවරයා ඒ යටතේ මෙම රෝහල දේශීය වෛද්‍ය ක්‍රමයද සම්බන්ධ කරගනිමින් සංවර්ධනය කිරීමේ හැකියාව පවතින බව පැවසීය. එමෙන්ම නෙවිල් ප්‍රනාන්දු රෝහල ස්ථාපිත කර ඇති භූමිය පිළිබඳව සලකා බලන විට සාර්ථක සංචාරක ව්‍යාපාර ආකෘතියකට ගැලපෙන පසුබිමක් පවතින නිසා එවැනි පියවරක් අනුගමනය කිරීමට පිහිටීමද වඩා යෝග්‍යවනු ඇතැයිද සඳහන් කළේය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය මගින් මාසිකව නෙවිල් ප්‍රනාන්දු රෝහලේ වැටුප් ගෙවීම සදහා දැනට රුපියල් මිලියන 40 මුදලක් වැයකරන බව පෙන්වා දුන් අමාත්‍යවරයා තව දුරටත් මෙම රෝහල රජයේ රෝහලක් ලෙස සම්ප්‍රදායිකව පවත්වාගෙන යාමට අරමුණක් නොමැති බවත්, ජාත්‍යන්තරව සහ මෙරට තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් හා නිපුණතාවන්ගෙන් පරිපුර්ණ රෝහල් කාර්ය මණ්ඩලයේ පුහුණුව මෙන්ම ගුණාත්මකභාවයද සැළකිල්ලට ගනිමින් අලුත් ආකෘතියක් යටතේ මෙම රෝහල නව්‍යකරණයකට ලක්කිරීමට සැලසුම් සකස් කරන බව ද අවධාරණය කළේය.

ඇඳන් 1002 ක ඉලක්කගත ධාරිතාවකින් සමන්විත වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු රෝහල දැනටමත් ඇඳන් 800 ක පමණ ධාරිතාවකින් සමන්විත වන බවත්, මේ වන විට ද ඇඳන් 440 ක පමණ ප්‍රමාණයක් එදිනෙදා භාවිතයට යොදාගෙන ඇති බවත් මෙහි දී අනාවරණය විය. එමෙන්ම සාමාන්‍ය වාට්ටු, වෙන්කරන ලද ඇදන් සහිත වාට්ටු මෙන්ම සුභෝපභෝගී, අර්ධ සුභෝපභෝගී සහ සාමාන්‍ය තත්වයේ කාමර ආදී වශයෙන් කාමර 100 ක පමණ ප්‍රමාණයක් දැනටමත් ස්ථාපිත කර ඇත. මාළඹේ සයිටම් වෛද්‍ය විද්‍යාලයට අනුබද්ධව 2013 වර්ෂයේ දී මෙම රෝහල ආරම්භකර ඇති අතර 2017 වර්ෂයේ දී එය රජයට පවරා ගැනීමේ මුලික කටයුතු ආරම්භ වී ඇත.

මෙම නිරීක්ෂණ චාරිකාවට සහ අනතුරුව පැවති සාකච්ඡාව සදහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, මාළඹේ වෛද්‍ය නෙවිල් ප්‍රනානදු රෝහලේ වත්මන් සභාපති සුනිල් ගලගම, අධ්‍යක්ෂ වෛද්‍ය කමල් ජයසිංහ, නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චමින්ද අල්ගම යන මහත්වරුන් ඇතුළු අමාත්‍යංශ නිලධාරීන්, විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුලු කාර්යමණ්ඩලයේ පිරිසක් සහභාගි වූහ.

පුවත්

විදුලි ගාස්තු 18.3%කින් ඉහළට?

Published

on

By

විදුලි ගාස්තු ඉහළ නැංවීමේ යෝජනාවේ දී ස්ථාවර ගාස්තු සහ ඒකක ගාස්තු යන දෙකම ඉහල දැමීමට යෝජනා කර තිබේ.

කෙසේවෙතත් මේ සඳහා මහජන උපයෝගීතා කොමිසම තවම සිය අනුමැතිය ලබා දී නොමැත.

ජූනි 01 සිට විදුලි ගාස්තු ඉහළ නැංවීමට නියමිතව තිබේ.

කෙසේවෙතත් පිරිවැය පියවාගැනීම සදහා විදුලි ගාස්තු 18.3%කින් ඉහළ නැංවීමට අවශ්‍ය බව විදුලිබල මණ්ඩලය පැවසීය.

සබැඳි පුවත් :

ලාභ ලැබූ විදුලිබල මණ්ඩලේ යළි පාඩු ලැබීම අරඹලා

Continue Reading

පුවත්

ගල්කිස්සේ තරුණයෙකු ඝාතනයට පැමිණි පැදිකරු අත්අඩංගුවට

Published

on

By

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් ගල්කිස්ස, සිල්වෙස්ටර් මාර්ගයට හැරෙන හන්දිය අසලදී 19 හැවිරිදි තරුණයෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියේ පැදිකරු ඊයේ (16) අත්අඩංගුවට ගෙන ඇත.

මෙම ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන ගල්කිස්ස පොලිස් ස්ථානය හා ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයට ලද තොරතුරක් මත අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිව තිබේ.

අදාළ පුද්ගලයා හෝමාගම, මාකුඹුර ප්‍රදේශයේදී අත්අඩංගුවට පත්ව ඇති අතර, ඔහු වයස අවුරුදු 45ක් වන මාකුඹුර, පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලීසිය පවසයි. 

මේ අතර සැකකරුවන් අපරාධය සඳහා පැමිණි බවට සැකකෙරෙන යතුරුපැදියේ කොටස් හා ව්‍යාජ අංක තහඩු දෙකක්, සැකකරුගේ නිවස පිටුපස වල දමා තිබියදී පොලීසිය විසින් සොයාගෙන ඇත.

මෙම අපරාධයට ආධාර අනුබල දුන් බවට සැකකරන පුද්ගලයින් දෙදෙනෙකු ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් මීට පෙර අත්අඩංගුවට ගෙන තිබුණි.

එම සැකකරුවන් අවුරුදු 21 හා 32 වයස්වල පසුවන්නන් බව සඳහන් විය.

Continue Reading

පුවත්

බණ්ඩාරවෙල ලංගම බස් වර්ජනයක්

Published

on

By

බණ්ඩාරවෙල ලංගම ඩිපෝවේ බස්රථ රියදුරෙකුට බීමත් මගියෙකු විසින් සිදුකළ පහරදීමක් මුල්කරගනිමින් එම ඩිපෝවේ බස්රථ ඩිපෝ භූමියට ගෙන්වා අද (17) වර්ජනයක් ආරම්භ කරඇත.

බණ්ඩාරවෙල සිට පල්ලෙවෙල දක්වා ගමන්ගන්නා රාත්‍රී අවසන් බස් රථයේ ඉකුත් 15වනදා බීමතින් අශෝබන ලෙස හැසිරී මගීන්ට හිරිහැර වන ලෙස කටයුතු කළ පුද්ගයෙකුට බස් රථයේ රියදුරු අවවාද කර තිබේ.

එහිදී රියදුරුට තර්ජනය කර බසයෙන් බැස ඇති අදාළ පුද්ගලයා, රියදුරා සේවය නිමකර නිවෙස බලා යමින් සිටියදී මග රැක යකඩ පොල්ලකින් පහරදී ඇත.

මේ වනවිට එම තුවාල ලැබූ රියදුරු බණ්ඩාරවෙල දිසා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

එම පහරදීමෙන් පසු බණ්ඩාරවෙල පොලීසිය විසින් පල්ලේවෙල ප්‍රදේශයේ සැකකරුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප ලබාදී තිබේ.

පහරකෑමට ලක්වූ රියදුරා පවසන්නේ තමාට පොලීසියෙන් සහ බණ්ඩාරවෙල ඩිපෝව මගින් ද නිසි සාධාරණයක් ඉටු නොවූ බවය.

ඒ හේතුවෙන් අදාළ බලධාරීන්ට මේ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නා ලෙස බලකරමින් මෙම වර්ජනය ආරම්භ කර ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved