Connect with us

පුවත්

පළාත් පාලන කටයුතුවලට සම්බන්ධවෙන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් අවස්ථාව – ජනපති

Published

on

ප්‍රාදේශීය සභාව, පළාත් සභාව හා මධ්‍යම රජය යන අංශ තුනෙන්ම සේවාවන් සැපයීමේ දී සිදුවන මුදල් නාස්තිය වළක්වා ගැනීම සඳහා මෙම යාන්ත්‍රණ තුනෙහිම ක්‍රියාකාරිත්වය පිළිබඳ අවධානය යොමු කරමින් නව යාන්ත්‍රණයක් සැකසීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

පළාත් ආණ්ඩුකාරවරුන් සහ ප්‍රධාන ලේකම්වරුන් සමඟ සාකච්ඡා කර මසක් තුළදී ඒ පිළිබඳ වාර්තාවක් සකස් කරන ලෙස තමා නිලධාරීන්ට උපදෙස් දී තිබෙන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ පළාත් ආණ්ඩුකාරවරු සහ ප්‍රධාන ලේකම්වරු සමඟ ඊයේ (17) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදී ය.

පළාත් සභා ක්‍රමයේ පරිපාලන ක්‍රියාවලිය පිළිබඳ සාකච්ඡා කිරීමට මෙම හමුව කැඳවා තිබිණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය :

අද මම ඔබ සියලුදෙනාව කැඳවනු ලැබුවේ පළාත් සභා ක්‍රමයේ පරිපාලන ක්‍රියාවලිය පිළිබඳ සාකච්ඡා කිරීමටයි. මධ්‍යම රජයේ පරිපාලන ක්‍රමය පිළිබඳව ද අවධානය යොමු කරමින් මෙය ඉදිරියට ගෙන යන්නේ කෙසේද යන්න පිළිබඳ අප සාකච්ඡා කළ යුතුයි.

ඇතැම් අවස්ථාවල ප්‍රාදේශීය සභාව, පළාත් සභාව හා මධ්‍යම රජය යන අංශ  තුනෙන්ම එකම ආකාරයේ සේවාවන් ලබාදීම සිදු වෙනවා. උදාහරණයක් ලෙස ගතහොත් කාණු කැපීම සහ විදුලි කණු සිටුවීම හා මාර්ග ඉදිකිරීම පෙන්වා දිය හැකියි. එලෙස කටයුතු කිරීමේ දී විශාල මුදල් නාස්තියක් සිදු වෙනවා. එසේ නම් මෙම යාන්ත්‍රණ තුනෙහිම ක්‍රියාකාරිත්වය පිළිබඳ අවධානය යොමු කරමින් නව යාන්ත්‍රණයක් සැකසිය යුතුයි. ඒ සඳහා පළාත් ප්‍රධාන ලේකම්වරුන් සමඟ සාකච්ඡා කර මාසයක් ගත වීමට පෙර ඒ සඳහා  නව ක්‍රමවේදයක් සකස් කරන ලෙස මම උපදෙස් දී තිබෙනවා.

පළාත් සභා ක්‍රියාත්මක නොවන නිසාත්, පළාත් සභාවල ඇමතිවරු නොමැති  නිසාත් පළාත් සභා ක්‍රමය යටතේ අද සම්පූර්ණ පාලන බලය තිබෙන්නෙ පළාත් ආණ්ඩුකාරවරුන් වන ඔබටයි.

පසුගිය වසර අපට ඉතා අසීරු කාලවකාවනුවක් වුණා. ඒ බව නැවත සඳහන් කිරීම අවශ්‍ය නැහැ කියා මම විශ්වාස කරවා. රටේ ආර්ථික ගැටලුවලට විසඳුම් ලබා දෙන අතරම රටේ පාලන ක්‍රමය යථා තත්ත්වයට ගෙන ඒමට අප කටයුතු කළ යුතුයි.

විශේෂයෙන් බිම් මට්ටමේ සේවා ලබාදීම සිදු වන්නේ පළාත් සභා මඟිනුයි. ඊට අමතරව දිස්ත්‍රික් මට්ටමින් සේවා ලබාදීම මධ්‍යම රජය යටතේ සිදු වෙනවා. මෙම සේවාවන් ලබාදීමේ දී තරගයකින් තොරව ඒකාබද්ධව මෙම කටයුතු ඉදිරියට ගෙන යා යුතුයි.

ආහාර සුරක්ෂිතතා වැඩසටහන අප දැන් රට පුරාම ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ අනුව ඉදිරි මහ කන්නයේ දී වැඩි අස්වැන්නක් ලබා ගැනීමට අප බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ජනතාවගේ මන්දපෝෂණ තත්ත්වය පසුගිය වසරට වඩා අඩු වුව ද අපට එයින් සෑහීමකට පත් විය නොහැකියි. 

රටේ ජනතාවගේ මන්දපෝෂණ තත්ත්වය අවම කර ගැනීමට අස්වැසුම වැඩසටහන ද හේතු වූ බව කිවයුතුයි. අස්වැසුම වැඩසටහන යටතේ ජනතාවට ලැබෙන ප්‍රතිලාභය සමෘද්ධියට වඩා වැඩි වෙනවා. 

විශේෂයෙන්ම ලබන වසර අවසාන වනතුරු පාර්ලිමේන්තුව ක්‍රියාත්මක වන නිසා මෙම පළාත් පාලන කටයුතුවලට සම්බන්ධවීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් අවස්ථාවක් ලබාදිය යුතුයි. එහිදී ආණ්ඩුකාරවරයා  සමඟ එකට වැඩ කළ හැකි වන පරිදි විශේෂ උපදේශක කාරක සභාවක් පත් කිරීමට ද අපේක්ෂා කරනවා. 

විශේෂයෙන්ම අධ්‍යාපනය, වෘත්තීය පුහුණු කටයුතු මෙන්ම ඒ ඒ පළාත්වල නව විශ්වවිද්‍යාල ආරම්භ කිරීම පිළිබඳව ද අවධානය යොමු කර තිබෙනවා.

විශේෂයෙන්ම සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය වෙනුවෙන් පළාත් මට්ටමින් සංචාරක මණ්ඩල පත් කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ වගේම ආයෝජකයන් සහ ව්‍යාපාරිකයන් දිරි ගැන්වීමේ වැඩසටහන් රැසක් ඉදිරියේ දී පළාත් මට්ටමින් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව කිවයුතුයි.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා මෙහිදී අදහස් දක්වමින් සඳහන් කර සිටියේ මධ්‍යම රජය සමඟ කටයුතු කිරීමේදී පළාත් සභාවලට මුහුණ දීමට සිදුවන ගැටලුවලට විසඳුම් ලබාදීම සඳහා ජනාධිපති කාර්යාලයේ සහාය ලබාදීමට අපේක්ෂා කරන බවයි. 

මෙහිදී අදහස් දැක්වූ පළාත් ආණ්ඩුකාරවරු පළාත් සභා බල ප්‍රදේශයන්හි පවතින ගුරු පුරප්පාඩු කඩිනමින් පිරවීමේ අවශ්‍යතාව පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කළහ.

ඇතැම් පාසල්වල අතිරික්ත ගුරුවරුන් සිටින අතර, ඇතැම් පාසල්වලට ගුරු පුරප්පාඩු පවතින බව පෙන්වා දුන් ආණ්ඩුකාරවරු ගුරු හුවමාරු වැඩසටහනක් හරහා එය තුලනය කර ගැනීමට අවස්ථාව සලසා දෙන ලෙස ද ඉල්ලා සිටියහ.

“හොඳම පාසල ළඟම පාසල” සංකල්පය යටතේ ඉදි කරන ලද දෙමහල් ගොඩනැගිලි වල ඉදිනොවූ කොටස් නිසා ඇතැම් ගෙඩනැඟිලි විනාශ වන තත්ත්වයට පත්ව ඇති බවත්, ඒ සඳහා සුදුසු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවත් ආණ්ඩුකාරවරු පෙන්වා දුන්හ.

අතර මග නැවතී ඇති සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රතිපාදන වෙන් කර ඇති නමුත් ඇතැම් ව්‍යාපෘති වෙනුවෙන් එම මුදල් තවමත් ලැබී නැති බව ද ඔවුහු සඳහන් කළහ.

එසේම පළාත් මට්ටමින් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා අවස්ථාව ලබා දෙන ලෙසද පළාත් ආණ්ඩුකාරවරු මෙහිදී වැඩිදුරටත් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියහ.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා ද, මුදල් අමාත්‍යාංශයේ ලේකම්, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු රේඛීය අමාත්‍යාංශ ලේකම්වරු සහ නිලධාරීහු ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ. 

(ජනාධිපති මාධ්‍ය අංශය)

පුවත්

විදුලි ගාස්තු 18.3%කින් ඉහළට?

Published

on

By

විදුලි ගාස්තු ඉහළ නැංවීමේ යෝජනාවේ දී ස්ථාවර ගාස්තු සහ ඒකක ගාස්තු යන දෙකම ඉහල දැමීමට යෝජනා කර තිබේ.

කෙසේවෙතත් මේ සඳහා මහජන උපයෝගීතා කොමිසම තවම සිය අනුමැතිය ලබා දී නොමැත.

ජූනි 01 සිට විදුලි ගාස්තු ඉහළ නැංවීමට නියමිතව තිබේ.

කෙසේවෙතත් පිරිවැය පියවාගැනීම සදහා විදුලි ගාස්තු 18.3%කින් ඉහළ නැංවීමට අවශ්‍ය බව විදුලිබල මණ්ඩලය පැවසීය.

සබැඳි පුවත් :

ලාභ ලැබූ විදුලිබල මණ්ඩලේ යළි පාඩු ලැබීම අරඹලා

Continue Reading

පුවත්

ගල්කිස්සේ තරුණයෙකු ඝාතනයට පැමිණි පැදිකරු අත්අඩංගුවට

Published

on

By

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් ගල්කිස්ස, සිල්වෙස්ටර් මාර්ගයට හැරෙන හන්දිය අසලදී 19 හැවිරිදි තරුණයෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියේ පැදිකරු ඊයේ (16) අත්අඩංගුවට ගෙන ඇත.

මෙම ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන ගල්කිස්ස පොලිස් ස්ථානය හා ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයට ලද තොරතුරක් මත අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිව තිබේ.

අදාළ පුද්ගලයා හෝමාගම, මාකුඹුර ප්‍රදේශයේදී අත්අඩංගුවට පත්ව ඇති අතර, ඔහු වයස අවුරුදු 45ක් වන මාකුඹුර, පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලීසිය පවසයි. 

මේ අතර සැකකරුවන් අපරාධය සඳහා පැමිණි බවට සැකකෙරෙන යතුරුපැදියේ කොටස් හා ව්‍යාජ අංක තහඩු දෙකක්, සැකකරුගේ නිවස පිටුපස වල දමා තිබියදී පොලීසිය විසින් සොයාගෙන ඇත.

මෙම අපරාධයට ආධාර අනුබල දුන් බවට සැකකරන පුද්ගලයින් දෙදෙනෙකු ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් මීට පෙර අත්අඩංගුවට ගෙන තිබුණි.

එම සැකකරුවන් අවුරුදු 21 හා 32 වයස්වල පසුවන්නන් බව සඳහන් විය.

Continue Reading

පුවත්

බණ්ඩාරවෙල ලංගම බස් වර්ජනයක්

Published

on

By

බණ්ඩාරවෙල ලංගම ඩිපෝවේ බස්රථ රියදුරෙකුට බීමත් මගියෙකු විසින් සිදුකළ පහරදීමක් මුල්කරගනිමින් එම ඩිපෝවේ බස්රථ ඩිපෝ භූමියට ගෙන්වා අද (17) වර්ජනයක් ආරම්භ කරඇත.

බණ්ඩාරවෙල සිට පල්ලෙවෙල දක්වා ගමන්ගන්නා රාත්‍රී අවසන් බස් රථයේ ඉකුත් 15වනදා බීමතින් අශෝබන ලෙස හැසිරී මගීන්ට හිරිහැර වන ලෙස කටයුතු කළ පුද්ගයෙකුට බස් රථයේ රියදුරු අවවාද කර තිබේ.

එහිදී රියදුරුට තර්ජනය කර බසයෙන් බැස ඇති අදාළ පුද්ගලයා, රියදුරා සේවය නිමකර නිවෙස බලා යමින් සිටියදී මග රැක යකඩ පොල්ලකින් පහරදී ඇත.

මේ වනවිට එම තුවාල ලැබූ රියදුරු බණ්ඩාරවෙල දිසා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

එම පහරදීමෙන් පසු බණ්ඩාරවෙල පොලීසිය විසින් පල්ලේවෙල ප්‍රදේශයේ සැකකරුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප ලබාදී තිබේ.

පහරකෑමට ලක්වූ රියදුරා පවසන්නේ තමාට පොලීසියෙන් සහ බණ්ඩාරවෙල ඩිපෝව මගින් ද නිසි සාධාරණයක් ඉටු නොවූ බවය.

ඒ හේතුවෙන් අදාළ බලධාරීන්ට මේ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නා ලෙස බලකරමින් මෙම වර්ජනය ආරම්භ කර ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved