මැදිරිගිරිය නගරයේ මාර්ග දෙකක්, හිටපු අමරකීර්ති අතුකෝරාල මන්ත්‍රීවරයාගේ සහ ඔහුගේ ආරක්ෂක නිළධාරියාගේ නමින් නම් කර එය විවෘත කිරීමට ගිය රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතාට ප්‍රදේශයේ ජනතාවගෙන් දැඩි විරෝධයක් එල්ලවී තිබේ.
පසුගිය වසරේ පැවැති අරගලයේදී අරගලකරුවන්ගේ පහරකෑමට ලක්ව ජීවිතක්ෂයට පත් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල මන්ත්‍රීවරයාගේ නමින් මැදිරිගිරිය කවුඩුලුවැව මාර්ගයත් ඔහුගේ ආරක්ෂක නිළධාරී ජයන්ත ගුණවර්ධන මහතාගේ නමින් බිසෝබණ්ඩාර පාසල් මාර්ගයත් නම් කිරීමට ප්‍රාදේශීය සභාවේ අනුමැතිය හිමි විය.
ඒ අනුව ඊට අදාල නාම පුවරු විවෘත කිරීමේ අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් සමරවික්‍රම මහතා ඇතුළු දේශපාලඥයෝ පිරිසක් එක් ඒක්ව තිබේ.
අනතුරුව එම ස්ථානයට එක් රොක් වූ ප්‍රදේශයේ ජනතාව ඔවුන්ට සිය විරෝධය එල්ල කර ඇති අතර ඔවුන් පවසා ඇත්තේ ප්‍රදේශයේ අබලන් මාර්ග කොතෙකුත් තිබියදී සුදු ඇදගෙන විත් දැනට ප්‍රයෝජනයට ගන්නා මාර්ග විවිධ පුද්ගලයන්ගේ නම් වලින් විවෘත කිරීම ලජ්ජා සහගත බවයි.
තවද අලි මිනිස් ගැටුම් වලින් දිනෙන් දින මිනිස් ජීවිත අහිමි වන කාලයක ජන ජීවිතයට බාධා නොවන ලෙස අලි ගැටළු වලට පවා පිළියම් ලබා නොදී මෙවන් විහිලු සහගත ක්‍රියා නොකරන ලෙසට ගම්වාසීහු ඇමැතිවරයා ඇතුළු පිරිසට එහිදී දන්වා ඇත.
මෙම සිද්ධියත් සමග ප්‍රදේශයේ උණුසුම් තත්ත්වයක් ඇති වු අතර පැය භාගයක් පමණ පැවැති විරෝධතාවයෙන් පසුව ඇමැතිවරයා ඇතුළු පිරිස එම ස්ථානයෙන් පිටව ගිය බව වාර්තා වේ.
කෙසේවුවද, අමාත්‍යවරයා හා පාර විවෘත කිරීමට අවස්ථාව නොදුන් බව කියමින් මැදිරිගිරිය ප්‍රාදේශීය සභාවේ සභාපති පොලිසියේ පැමිණිල්ලක් කර ඇතැයි ද වාර්තා වේ.