Connect with us

පුවත්

පාලකයෝ ඔවුන්ගේ පවුල් නඩත්තු කරද්දී ජනතාව හැමදාව දුක් විඳිනවා

Published

on

ජාතික බලවේගය විසින් සංවිධානය කරනු ලැබූ පශු වෛද්‍ය සහ පශු සම්පත් වෘත්තිකයන්ගේ ජාතික සමුළුව පසුගිය දා (06) පැවැත්විණි.

මෙහිදී අදහස් දැක්වූ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් විශ්වවිද්‍යාලයේ ජාන වෛද්‍ය විද්‍යාව පිළිබඳ දෙපාර්තමේන්තුවේ ප්‍රධානී මහාචාර්ය චන්දන හේරත් මහතා ප්‍රකාශ කර සිටියේ ස්වේච්ඡාවෙන්ම දැනුම හා තාක්ෂණික දැනුම ලංකාව වෙනුවෙන් ලබා දීමට සූදානම් බවත් ඒ වෙනුවෙන් ලොව පුරා විශාල සංඛ්‍යාවක් කැපවීමෙන් මේ කාර්යයට දායක වීමේ අපේක්ෂාවෙන් බලා සිටින බවත්ය.

මෙහිදී මහාචාර්ය චන්දන හේරත් මහතා විසින් පැවැත්වූ සම්පූර්ණ කතාව පහතින්,

“සත්ව නිෂ්පාදන හා  සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අවුරුදු හතක් වගේ කාලයක් සේවය කළා.  මෙතන  ඉන්න ආනන්ද වික්‍රමසූරිය, කුමාර සිල්වා අපි එකට වැඩ කළ අය. අපි වැඩ කරද්දි දේශපාලනඥයන්ගෙන් බොහොම ප්‍රශ්න ආවා. ඒ අය කියන කියන ආකාරයෙන් වැඩ කරන්න අපි කැමති වුණේ නැහැ. දෙපාර්තමේන්තුවෙනුත් ගොඩක් ප්‍රශ්න තිබුණා. ඒ නිසාම තමයි මට රට හැරයන්න සිදුවුණේ. මගේ ඒ යෑම නිසාම හොඳ දේවල් මට ලැබුණා. නවසීලන්තයට, ටෝකියෝවලට, ඇමෙරිකාවට ගියා. ඊට පසුව ඕස්ටේ්‍රලියාවට ඇවිත් අවුරුදු 20ක් විතර වෙනවා. අපි ග්‍රීන් හෙවන් එකක් බලාගෙන නොවෙයි ගියේ. ඕස්ටේ්‍රලියාවේ මෙල්බර්න්වල ජීවත් වුණත් අපේ හදවතින් ඉන්නේ ශ්‍රී ලංකාවේ. නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගෙන අධ්‍යාපනය රට රටවල ගොස් වෘත්තිකයන් හැටියට වැඩ කරලා අපට යන්න තිබෙන ඉහළ තැන්වලට ගොස් අපි වැඩ කරනවා. මේ රටේ ජනතාවගේ බදු මුදල්වලින් නොමිලේ තමයි අපට ඉගැන්නුවේ. අපේ හිතේ ලොකු වගකීමක් තිබෙනවා අපේ රටට මොකක්ද අපි කරන්න ඕනෙ කියලා. අපි අවුරුදු 30ක් තිස්සේ යාළුවෝ හමුවුණාම කතා කරන්නේ කොහොමද අපි අපේ රටට සේවය කරන්නේ කියලා. යාළුවන් කියන්නේ, අපට කවදාවත් අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. පාලකයෝ හැම දෙයක්ම විනාශ කර තිබෙන්නේ. පාලකයන් ඒ ගොල්ලන්ගේ පවුල් නඩත්තු කරනවා, ජනතාව හැමදාම දුක් විඳිනවා කියලා.

අපිට අපේ සේවය ලබාදිය හැකි අවස්ථාවක් එනකම් බලාගෙන සිටියා. 2022 අපේ රට ආර්ථික තත්වයෙන් පතුලටම වැටිලා, ලෝකයේ කළු තිතක් වගේ ශ්‍රී ලංකාව පේන්න තිබෙන්නේ. සත්‍ය වශයෙන් 2020වන විටත් මේ රට දශක කිහිපයක සිට ආර්ථික වශයෙන් පහළට ගොස් තිබුණේ. ඒ, රටේ පාලකයන්ගේ වරදින්. අපට තිබෙනවා ලොකු වගකීමක්, කොහොමද මේ රටේ ආර්ථිකය ගොඩගන්නේ කියලා. එහෙම හිතුව අපට මේ රට ගොඩගන්න අවස්ථාවක් උදාවෙලා තිබෙනවා. අනුර කුමාර දිසානායක සහෝදරයාගේ නායකත්වයෙන් යුතු ජාතික ජන බලවේගයේ පාලනයක් තුළ ඒ අවස්ථාව ලැබීම ගැන අපි හැමෝම සතුටු වෙනවා. කඩා වැටුණු ආර්ථිකය ගොඩගන්න ජාතික විද්වත් සංවිධානය මැදිහත්වී කටයුතු කරන්න සූදානම්. මම මෙල්බන් නුවර ජාතික විද්වත් සංවිධානයේ වැඩ කරනවා. ඒ සංගමය සහ මේ පශු වෛද්‍යවරුන්, වෘත්තිකයන් අපි සියලු දෙනාම එකතුවෙලා මේ රට ආර්ථිකයෙන් ගොඩගන්න ඕනෑ. ඒ සඳහා අපි එකට අත්වැල් බැඳ ගනිමු. ඇපකැපවී කටයුතු කළොත් ඒ අවස්ථාව ජය ගන්න පුළුවන්.

සත්ව නිෂ්පාදනය හා බිත්තර නිෂ්පාදනය, කෘෂිකර්මය සමග එකට ගැටගැසී තිබෙන ක්ෂේත්‍රයක්. හරකෙක් හදලා කිරි ටිකක් අරගෙන, කිකිළියක් හදලා බිත්තරයක් අරගෙන මේ ආර්ථිකය ගොඩගන්න බැහැ. අපි අවුරුදු පහක ප්ලෑන් එකකට යන්න ඕනෑ. මේ කාර්යය අමාරු ලෙස කෙනෙක් දකින්න පුළුවන්. අමාරු වුණත් අපි ඒ සිහිනය දකින්න ඕනෑ. ඒ සිහිනය සැබෑ කරගන්න, අපේ දක්ෂතාවයන්, නිපුණත්වයන් පාවිච්චි කරන්න ඕනෑ. අභිලාෂයන් සාක්ෂාත් කර ගන්න පුළුවන්. අපි මේ ක්‍රමය වෙනස් කරන්න ඕනෑ. එවිට තමයි සත්ව පාලනයෙන් ආර්ථිකයට දිය හැකි ලොකුම ශක්තිය දෙන්න හැකිවෙන්නේ. මට අවශ්‍ය වුණේ අපේ දැක්ම කොහොමද වෙන්න ඕනෑ කියන අදහස දෙන්න.

අපි ලෝබල් පික්චර් එක අපි දකින්න ඕනෑ. සත්ව පාලනය, කෘෂිකර්මාන්තයත් එක්ක ගැටගැහිලා තිබෙන්නේ. කෘෂිකාර්මික නිෂ්පාදනය වැඩි කරන්න, ආහාර සුරක්ෂිතභාවය ඇතිකරන්න සහ ආර්ථිකය ශක්තිමත් කරන්න අපට දැන් හොඳම අවස්ථාවක් ඇවිත් තිබෙනවා. අපට අවුරුදු පහක සැලසුමක් තුළ මේවා ක්‍රියාවට නගිය හැකියි. සත්ව පාලනයෙන් දළ දේශීය නිෂ්පාදිතයට දායකත්වය 7.4%ක් වෙනවා. එයින් 1.2%ක් සත්ව පාලනයෙන් ලැබෙනවා. කිරි නිෂ්පාදනයෙන් 0.6%ක් ලැබෙනවා. අපට මෙයින් පෙනී යන්නේ මෙහි ඇති වැදගත්කම. මේ කර්මාන්තයෙන් ඩොලර් බිලියන එකක් පමණ ආදායමක් ලැබෙනවා. එය අපට ඩොලර් බිලියන 2ක් දක්වා වර්ධනය කර ගන්න පුළුවනි. කිරි නිෂ්පාදනය ගත්තත් කිරි ලීටර් මිලියන 200ක් මිලියන 400ක් අතර තමයි වසරකට නිෂ්පාදනය වෙන්නේ. එම නිෂ්පාදනය දෙගුණයකටත් වඩා වැඩි ප්‍රමාණයක් දක්වා වර්ධනය කර ගන්න හැකියාව තිබෙනවා. කුකුළු පාලන කර්මාන්තයෙන් මෙට්්‍රක් ටොන් 17,000ක් වාර්ෂික නිෂ්පාදනය වෙනවා. එයින් ඩොලර් බිලියන 1.6ක පමණ වටිනාකම් නිෂ්පාදනය වෙනවා. මෙය සමාන්‍ය මට්ටමෙන් ඔබ්බට යන සැලසුමකට දියුණු කළොත් අපට විදේශ විනිමය උපයන හොඳ මාර්ගයක් කරගන්න පුළුවන්.

අපේ ඉලක්කය වෙන්න ඕනේ වැඩි කිරි නිෂ්පාදනයක් සහ ලෙඩ රෝගවලට ඔරොත්තු දෙන ගව වර්ග දියුණු කිරීමයි. පර්යේෂණ සහ සංවර්ධනය මේ සෑම දෙයකටම යොදා ගන්න ඕනෑ. එහෙම කළොත් අපට 50%ක් දක්වා කිරි නිෂ්පාදනය වර්ධනය කරන්න පුළුවන්. මස් වර්ගවලින් 30%ක් දක්වා වැඩි කරන්න පුළුවන්. ගවයන්ට සහ අනෙකුත් සතුන්ට පෝෂ්‍යදායී ආහාර දෙනවා නම් වැඩි ඵලදාවක් ලබා ගත හැකියි. ඒ වගේම කිරි නිෂ්පාදනයත් 20% – 25% දක්වා වැඩි කර ගත හැකියි. මස් නිෂ්පාදනයත් වැඩි කරන්න පුළුවන්. ඌරන් නිෂ්පාදනයත් හොඳ මාර්කට් එකක්. ග්ලෝබල් පික්චර් එක බැලුවාම විදේශ වෙළඳාම තුළ හොඳ වෙළඳපොළක් ඒ සඳහා තිබෙනවා. අපට ඒ අවස්ථාවලට යොමු වෙන්න හැකිවේවි. සත්ව ආහාර කර්මාන්තයක් ලංකාවේ තිබෙනවා. අපේ රට තුළින්ම අවශ්‍ය අමුද්‍රව්‍ය සපයාගෙන, පර්යේෂණ සහ සංවර්ධනය තුළින් එය දෙගුණයක් දක්වා වැඩිකර ගැනීමේ අවස්ථාවක් තිබෙනවා.

මාලිමාවේ ආණ්ඩුවක් තුළින් අපට මේවා ඉතා හොඳින් ක්‍රියාවට නගන්න පුළුවන් වේවි. අපේ කෘෂි නිෂ්පාදනවලින් වටිනාකම එකතු කරන ලද නිෂ්පාදන දේශීය වෙළඳපොළට හා විදේශ වෙළඳපොළට යැවීමට එය  දියුණු කරන්න ඕනෑ. ෆුඩ් චේන් එකක් හදන්න ඕනෑ. ඒකට ගොවියන් ප්‍රමෝට් කරන්න ඕනෑ. කිරි නිෂ්පාදනය ගත්තොත් අපට එහි අතුරු නිෂ්පාදන ලෙස යෝගට්, චීස්, බටර් වගේ දේවල් හදන්න පුළුවන්. පර්යේෂණ සහ  සංවර්ධනය මගින් අපට ආදායම 30% සිට 50% දක්වා වැඩිකර ගැනීමේ හැකියාව තිබෙනවා. එය අනිවාර්යයෙන් සිදු කරන්න ඕනෑ. ඊට අමතරව ජාන පර්යේෂණ කරන්න ඕනෑ. ඒක ඉතා වැදගත්. පශු වෛද්‍ය අංශයෙනුත් ජාන පර්යේෂණ කරනවා. ඔස්ටේ්‍රලියාවේ ඒ වගේ සමාන පර්යේෂණ හියුමන් රිසර්ච් අපි කරනවා. අපි ජානවල සංයුතිය බලනවා. ජෙනටික් මැපින් කර කිරි නිෂ්පාදනයට වැදගත් වන එක සොයා ගන්න ඕනෑ. වැනි නිෂ්පාදනයක් වෙනුවෙන් අපට ඒක පාවිච්චි කරන්න පුළුවන්. ඒකෙදි ඉතා වැදගත් වන්නේ අපි අන්තර් ජාතික ජාන පර්යේෂණයත් සමග අත්වැල් බැඳ ගැනීමයි. ඒ ගොල්ලන් ළඟ තමයි නව තාක්ෂණය තිබෙන්නේ. අපට  බොහෝ දේවල් ඒ සමග ලබාගත හැකිවෙනවා. ඒ මගිනුත් අපට 15% සිට 20%  දක්වා කිරි නිෂ්පාදනය වැඩිකර ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම අපි දේශගුණය ගැන බලන්න ඕනෑ. සීතලට ඔරොත්තු දෙන සත්තු නුවරඑළිය පළාතේත් වියළි දේශගුණයට ඔරොත්තු දෙන සත්තු අනුරාධපුර, පොළොන්නරුව පැත්තේ හදන්න පුළුවන්. ඒ වගේ ක්‍රමවලට අපට යන්න පුළුවන්. ජාන තාක්ෂණය මගින් ඒ ඒ දේශගුණයට ඔරොත්තු දෙන, ආහාර සුරක්ෂිතතාවය රැකගත හැකි ආකාරයෙන් ගවයන් අපට හදා ගන්න පුළුවන්. හරකුන්ගේ රැඳවුම් නිවාස සහ හොඳ කළමනාකරණයක් තුළින් තවදුරටත් නිෂ්පාදනය වැඩිකර ගත හැකියි.

ජෛව ආරක්ෂණ පියවරවල්, ක්‍රමවේදයන් අපි සැලසුම් කරන්න ඕනැ. අපි නිවැරදිව ප්‍රතිපත්ති සකස් කළොත් සත්තු ආරක්ෂා කර ගන්න පුළුවන්. උෂ්ණ දේශගුණ තත්වයට ඔරොත්තු දෙන සතුන් පරීක්ෂණ කර සොයාගෙන තිබුණොත් අපට සත්තු ආරක්ෂා කර ගත හැකියි. ඒ වගේම අපට තාක්ෂණය හරිම වැදගත්. ඕස්ටේ්‍රලියාවේ හැම ගොවියෙකුටම වහින කාලයත්, වහින්නේ නැති කාලයත් වගා කළ හැකි කාලයත්, වගා කළ නොහැකි කාලයත් පිළිබඳ තොරතුරු ආණ්ඩුවෙන් නැතිනම් ප්‍රාන්ත රාජ්‍යයෙන් දෙනවා. ලංකාවේ සත්ව කර්මාන්තය විශාල ලෙස කරන කිහිප දෙනයි ඉන්නේ. ඒ වුණත් අපට ඇප් එකක් හදා ගැනීම ඉතාම වැදගත්. ඔන් ලයින් ෆ්ලැට් ෆෝම් එකක් හදා ගන්නවා නම්, පර්යේෂණ සහ සංවර්ධන ආයතනයෙන් අර ඇප් එකට තොරතුරු ඇතුල් කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට, අනුරාධපුර, පොළොන්නරුව වැනි ප්‍රදේශවල “තව මාස දෙකකින් දරුණු කුණාටුවක් එන්න පුළුවන්. එයින් බේරෙන්න” යන පණිවිඩය දීමට පුළුවන්. ගොවියන් අතරට තොරතුරු ගලාගෙන යන එක ඉතාම වැදගත්. කිරි නිෂ්පාදනය තුළ විප්ලවීය තත්වයක් ඇති කරන්න පුළුවන්. මේ ලෝකයත් සමග යනකොට අපි ගෝලීය චිත්‍රය පිළිබඳව හිතන්න ඕනෑ. ලෙඩ රෝගවලට ඔරොත්තු දෙන ජාන මැප් කරලා, කෑමවල ගුණාත්මකභාවය වැඩිකරලා, ආහාර සුරක්ෂිතභාවය අපට ඇතිකර ගන්න පුළුවන්. ඒ වගේම මේ තුළින් රැකියා අවස්ථා  ඇති වෙනවා. සත්ව පාලනයෙන් ලැබෙන ලාභය තෙගුණයක් කළහොත් රටේ ප්‍රධාන ආර්ථිකයට ලොකු දායකත්වයක් ලැබෙනවා. ගොවියන්ට සාධාරණ ලාභයක් ලැබෙනවා. ඒ තුළින් පවුල්වල සුරක්ෂිතභාවයක් ඇති වෙනවා.

අපි ස්වේච්ඡාවෙන්ම අපේ දැනුම, තාක්ෂණික දැනුම අපි දෙන්න සූදානම්. ඒ වගේම ලෝකය පුරාම විශාල සංඛ්‍යාවක් කැපවීමෙන් මේ කාර්යයට දායක වෙන්න ඒ අවස්ථාව උදාවෙනකම් බලාගෙන ඉන්නවා. ජාතික ජන බලවේගයේ රජයක් යටතේ ඔබත් විශාල කැපවීමෙන් ඔබේ දායකත්වය ලබා දෙන්න. ඔබගේ ඥාතීන්, යහළුවන්, හිතවතුන් අද රටේ තත්වය පැහැදිලි කර දෙමින් මේ සටන ජයග්‍රහණය කරන්න දායකත්වය දෙන්න කියා ඉල්ලනවා.”

පුවත්

මේ සතියේ කැබිනට් තීරණ මෙන්න

Published

on

By

ඊයේ (ජූලි 15) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ තිබේ.

එම තීරණ මෙසේය :

Continue Reading

පුවත්

ජල ගාස්තු සූත්‍රයට කැබිනට් අනුමැතිය

Published

on

By

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සමාලෝචනය කිරීම පිණිස ගාස්තු ප්‍රතිපත්තිය සහ සූත්‍රය ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

2024-04-08 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි සාකච්ඡාවට ගන්නා ලද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ නව ගාස්තු ප්‍රතිපත්තිය සහ සූත්‍රයට සියලු පාර්ශ්ව සමග සාකච්ඡා කර අවශ්‍ය සංශෝධන ඇතුළත් කරමින් නව ගාස්තු ප්‍රතිපත්තිය සම සූත්‍රය ඉදිරිපත් කිරීමට නියම කර ඇත.

මේ අනුව සකස් කර ඇති සංශෝධිත ජල ගාස්තු ප්‍රතිපත්තිය සහ සංශෝධිත ජල ගාස්තු සූත්‍රය 2025 වසරේ සිට ක්‍රියාත්මක කිරීම පිණිස ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කර ඇත.

Continue Reading

පුවත්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනයට කැබිනට් අනුමැතිය

Published

on

By

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීමට සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ.

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව සඳහන් කලේය.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ව්‍යවස්ථාවේ (ආ) ඡේදයෙහි සඳහන් ” සාවුරුද්දක් ඉක්මවා” යන වචන වෙනුවට “වසර පහක් ඉක්මවා” යන වචන ආදේශ කරමින් 83 ව්‍යවස්ථාවේ (ආ) ඡේදය සංශෝධනය කිරීම පිණිස 2024-07-09 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ප්‍රතිපත්ති අනුමැතිය ලබා දී ඇති බව සඳහන්ය.

ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති කෙටුම්පත සඳහා නීතිපතිගේ අවසරය ලැබී තිබේ.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved