මෙරට ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධකරුවකු වන ජනිත් මධුසංඛ නොහොත් පොඩි ලැසී නමැත්තා සහ ඔහුගේ ඥාතීන් විසින් නීතිවිරෝධී ලෙස උපයාගෙන තිබෙන සියලු දේපළ සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් සිදුකරන ලෙස අධිකරණය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (05) නියෝග කළේය.
නීතිපති දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කර තිබූ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා එම නියෝග කළේය.
ගාල්ල බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා තිබෙන පොඩි ලැසී නමැත්තා මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම, මනුෂ්‍ය ඝාතන සිද්ධීන්, කප්පම් ලබාගැනීමේ සිද්ධීන් ඇතුළු අපරාධ රැසක් සිදුකිරීමෙන් රුපියල් කෝටි ගණනක මුදල් සහ දේපළ රැස් කරගෙන තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරුණු අනාවරණය කරගෙන තිබේ.
ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන උධෘත නීතිපතිවරයා වෙත යොමු කර තිබුණි.
පොඩි ලැසී නමැති සංවිධානාත්මක අපරාධකරු හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමෙන් උපයාගත් කෝටි ගණනක මුදල් යොදවා නිවාස, සුඛෝපභෝගී වාහන ඇතුළු දේපළ රැසක් මිලදී ගෙන තිබෙන බවත්, ඔහුගේ ඥාතීන්ද නීතිවිරෝධීව උපයාගත් මුදලින් දේපළ රැසක් ලබාගෙන තිබෙන බවත් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
ඒ අනුව පොඩි ලැසී සහ ඔහුගේ ඥාතීන් නීතිවිරෝධීව උපයාගෙන ඇති බවට සඳහන් සියලු දේපළ සම්බන්ධයෙන් අවශ්‍ය අධිකරණ නියෝග ලබාගෙන විමර්ශන කටයුතු සිදුකරන ලෙස ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට නියම කළේය.