නාරාහේන්පිට පොලිස් ස්ථානයේ පොලිස් සැරයන්වරයකු සහ කොස්තාපල්වරුන් දෙදෙනකු ශ්‍රේෂ්ඨාධිකරණයේදී පුරවැසියකුගෙන් දණ නමා වැඳ සමාව ගෙන තිබේ.
ඒ, ගොඩ්වින් පෙරේරා නමැති පුද්ගලයෙක්ගෙනි.
ගොඩ්වින් පෙරේරා මහතා 2017 වසරේදී නාරාහේන්පිට පෞද්ගලික රෝහලක් වෙත යමින් සිටියදී මාර්ගයේ කුණු ඉවත් කරන පුද්ගලයකු අනතුරකට පත්ව සිට ඇති අතර ඒ ගැන පොලීසියට දැනුම් දී ඔහු රෝගියා රෝහල්ගත කර තිබේ.
පසුව වගඋත්තරකාර පොලිස් සැරයන්වරයා සහ කොස්තාපල්වරුන් දෙදෙනා ගොඩ්වින් පෙරේරා අත්අඩංගුවට ගෙන පොලිස් සිරමැදිරියට දැමූ බව පෙත්සමේ සඳහන්ය.
නීති විරෝධීව අත්අඩංගුවට ගැනීමෙන් සහ රඳවා තබා ගැනීමෙන් අගතියට පත්වූ පෙරේරා මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේ ය.
කෙසේ වෙතත් මෙම වගඋත්තරකාර පොලිස් නිලධාරීන් සමග සමාදානයකට යෑමට පෙත්සම්කරු එකඟවීම මත ඊයේ එම එකඟත්වය විමසීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේදී නඩුව කැඳවා තිබුණි.
ඒ, විජිත්. කේ. මලල්ගොඩ, අචල වෙංගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල ඉදිරියේදීයි.
වගඋත්තරකාර පොලිස් නිලධාරීන් තිදෙනා ඇමතූ විනිසුරු විජිත්. කේ. මලල්ගොඩ මහතා මින් ඉදිරියට මෙවැනි ක්‍රියා සිදු නොකරන ලෙස අවවාද කර ඇත.
පෙත්සම්කරු නඩුව සමතවීමට එකඟ වීම නිසා නඩු කටයුතු අවසන් කරන බව පැවසූ විනිසුරු මඩුල්ල සමතයකට එකඟ නොවුණි නම් පෙත්සම්කරුගේ වයස ද සලකා ලොකු වන්දියක් ගෙවීමට නිලධාරීන්ට සිදුවන බව අවධාරණය කර සිටියේ ය.
ඉන් අනතුරුව පොලිස් නිලධාරීන් තිදෙනා වෙන් වෙන් වශයෙන් පෙත්සම්කරු ඉදිරිපිටට ගොස් දණ නමා වැඳ සමාව ලබා ගෙන තිබේ.