Connect with us

පුවත්

පොහොට්ටු මන්ත්‍රී ධුර 92ක් අහෝසි වන ලකුණු

Published

on

ශ්‍රී ලංකා පොදුජන‌ පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අනූදෙදනෙකු පක්ෂයෙන් නෙරපා හැරීමට එම පක්ෂය කටයුතු කරමින් සිටින බවට තොරතුරු වාර්තා වේ.

ඒ, ඔවුන් විසින් පක්ෂ තීරණයට පටහැනිව ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතාට සිය සහාය පළ කිරීම හේතුවෙනි.

මෙම මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය පරීක්ෂණ ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බව ද පක්ෂයේ මහලේකම්වරයා පසුගියදා ප්‍රකාශ කලේය.

මේ සම්බන්ධයෙන් ඔවුන් දැනුවත් කර ලිපි යොමු කර ඇති බව ද සඳහන් වේ.

විනය පරීක්ෂණවලින් අනතුරුව ඔවුන්ගේ මන්ත්‍රීධුර අහෝසි කිරීමට නියතමිත බව ද පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඔවුන් ඉවත් කර දිස්ත්‍රි​ක් මනාප ලැයිස්තුවල ඊළඟට සිටින අපේක්‍ෂකයන් මන්ත‍්‍රීවරුන් ලෙස නම් කිරීමට නියමිත බව වැඩිදුරටත් සඳහන්ය.

පුවත්

බීමතින්  පාසැල් දරුවන් ප්‍රවාහනය කරමින් සිටි රියැදුරෙක් අත්අඩංගුවට

Published

on

By

බීමතින් සිසුසැරිය බස් රථයක් ධාවනය කරමින් සිටි බස්රථ රියදුරෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (19) දහවල් කාලයේ දී කටුපොත පොලීසියේ රථවාහන අංශයේ නිලධාරීන් විසින් කටුපොත නගරයේ සිසුසැරිය බස්රථයක් පරීක්ෂාවට ලක්කර ඇත.

එහිදී අදාළ රියදුරා බීමතින් සිටින බවට අනාවරණය වී ඇති අතර, පසුව ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.

එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අවුරුදු 52ක් වූ රදලියගොඩ, කටුපොත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අදාළ බස් රියදුරා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී බස්රථය තුළ පාසල් ළමුන් 16 දෙනෙකු සහ මව්වරුන් දෙදෙනෙකු ගමන් කරමින් සිට ඇත.

අදාළ බස් රථයද පොලිස් භාරයට ගෙන ඇති අතර, සැකකරු අද (20) නාරම්මල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ වනවිට ශ්‍රී ලංකා පොලීසිය බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමට හා රථවාහන වැරදි සම්බන්ධයෙන් නිරන්තරයෙන් මෙහෙයුම් සිදුකරමින් සිටී.

Continue Reading

පුවත්

දේශබන්දු වෙනුවෙන් ඉදිරිපත් කළ මූලික විරෝධතා, පරීක්ෂණ කමිටුව නිෂ්ප්‍රභ කරයි

Published

on

By

පොලිස්පති ටී.එම්.ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් කර ඇතැයි කියන විෂමාචාර සහ සිය ධුරයේ බලතල බරපතළ අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත් කළ පරීක්ෂණ කමිටුව, වගඋත්තරකාර පොලිස්පතිවරයා වෙනුවෙන් විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතා පරීක්ෂණ කමිටුව විසින් නිෂ්ප්‍රභ කර තිබේ.

ශ්‍රේෂඨාධිකරණ විනිසුරු පී.පී. සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් සහ විනිසුරු ඩබ්ලිව්.එම්.එන්.පී. ඉද්දවල සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ඊ.ඩබ්ලිව්.එම්. ලලිත් ඒකනායක යන මහත්වරුන්ගේ සාමාජිකත්වයෙන් මෙම කමිටුව ඊයේ (19) පාර්ලිමේන්තුවේදී රැස් වූ අතර පොලිස්පති ටී.එම්.ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන් මහතා පළමුවරට පරීක්ෂණ කමිටුව හමුවේ පෙනී සිටියේය.

මෙහිදී පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා හට චෝදනා 23කින් සමන්විත චෝදනා පත්‍රය ලබා දෙන ලද අතර ඉන් අනතුරුව වගඋත්තරකාර පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ආර්. එස්. වීරවික්‍රම මහතා විසින් මුලික විරෝධතා ත්‍රිත්වයක් සහ ඉල්ලීම් ද්විත්වයක් ඉදිරිපත් කරන ලදී.

එම කරුණුදැක්වීමෙන් අනතුරුව නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් පරීක්ෂණ කමිටුවට සහභාගී වූ අතිරේක සොලිස්ටර් ජනරාල් (ජනාධිපති නීතිඥ) දිලීප පීරිස් සහ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් රජිත පෙරේරා යන මහත්වරු ඒ සම්බන්ධයෙන් සිය විරෝධතාවය සටහන් කර ඇත.

සියලු කරුණු සලකා බැලු ශ්‍රේෂඨාධිකරණ විනිසුරු පී.පී. සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් යුක්ත පරීක්ෂණ කමිටුව විසින් වගඋත්තරකාර පොලිස්පතිවරයා වෙනුවෙන් ඉදිරිපත් කළ මූලික විරෝධතා සියල්ල නිෂ්ප්‍රභ කරනු ලැබීය. ඒ අනුව විමර්ශන කටයුතු ඉදිරියට ගෙන යාමට මෙහිදී තීරණය විය.

කමිටුව ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා එළඹෙන 28 වැනිදා පස්වරු 2 ට පාර්ලිමේන්තුවේ කාරක සභා කාමර අංක 8 හිදී රැස්වීමට තීරණය කර ඇත.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

මානව හිමිකම් කොමිසමෙන් පොදු මාර්ගෝපදේශ සහ නිර්දේශ මාලාවක්

Published

on

By

පොලිස් අත්අඩංගුවේ සිටින අවස්ථාවේ දී සහ පොලීසිය සමග හටගත් ගැටුමක දී සිදුවන මරණ වළක්වා ගැනීම පිළිබඳ පොදු මාර්ගෝපදේශ සහ නිර්දේශ මාලාවක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබේ.

2025 අංක 1 දරණ පොදු මාර්ගෝපදේශ සහ නිර්දේශ යටතේ පොලීසිය වෙත මෙය නිකුත් කර ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සඳහන් කළේය.

එම කොමිෂන් සභාව වෙත ලැබුණු පැමිණිලි මත පදනම්ව සිදුකළ විමර්ශනවලට අනුව 2020 වසරේ ජනවාරි මාසයේ සිට මෙම වසරේ මාර්තු 31 දක්වා කාලය තුළ පොලිස් අත්අඩංගුවේ දී සිදුවූ මරණ 49ක් සහ පොලීසිය සමග සිදුවූ ගැටුම් හේතුවෙන් මරණ 30ක් නිරීක්ෂණය වී ඇති බව සඳහන්ය.

ඒ අනුව ශ්‍රී ලංකා මානව හිමිකම් කොම්ෂන් සභාව විසින් මෙම මාර්ගෝපදේශ සහ නිර්දේශ මාලාව නිකුත් කළ බව එහි සභාපති, හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එල්.ටී.බී දෙහිදෙණිය මහතා සඳහන් කළේය.

එම මාර්ගෝපදේශ සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීම සඳහා නිර්දේශ ක්‍රියාත්මක කිරීමට පොලීසිය උනන්දු කළ යුතු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිවරයා පවසයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved