Connect with us

පුවත්

“බදු අයකර ගතයුත්තන්ගෙන් නොගෙන තක්කඩි ක්‍රියාමාර්ග අනුගමනය කරනවා”

Published

on

ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයේ මාධ්‍ය හමුවක් අද (22) පැවැත්විණි.

මෙයට ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයේ සමාජික මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා,  ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයේ සාමාජික ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා හා ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සුනිල් හඳුන්නෙත්ති මහතා එක්ව සිටියහ.

“සත්‍ය ලෙසම ආදායමක් නොලැබූවත් ආදායමක් ලැබෙන සේ සලකා දේපළ බද්ද ක්‍රියාත්මක කිරීමට සැරසෙනවා”
– ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිල සාමාජික මහාචාර්ය අනිල් ජයන්ත – 

වර්තමාන ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග පමණක්  ක්‍රියාත්මක කර, රටේ ආර්ථිකය ගැන නොසලකා කටයුතු කරමින් සිටිනවා. ආදායම් පාලක වියදම් මූලධර්මය මත බදු පිට බදු පනවමින් මූල්‍ය අරමුදලේ ඉලක්ක, දත්ත සම්පූර්ණ කරමින් යනවා. සාමාන්‍ය ජනතාව මත අති විශාල බදු පීඩනයක් එල්ල කරමින් තිබෙන නිසා ඔවුන්ගේ මිලදී ගැනීමේ හැකියාව තවදුරටත් පහත වැටී කර්මාන්ත කඩා වැටීමෙන් ආර්ථිකය හකුළුවමින් සිටිනවා. ඒ අතර තවත් බද්දක් දේපොළ මත පනවන බදු ලෙස හඳුන්වමින් තවදුරටත් පීඩනය එල්ල කිරීමට සූදානම් වෙනවා. සාමාන්‍ය ජනතාව කල්පනා කරන්නේ විශාල දේපළක් තිබෙන අයගෙන් මෙම බද්ද අයකිරීමට යන බවයි. නමුත් ඇත්තටම සිදුවන්නේ දේපළ පාදක කරගෙන බද්දක් අය කිරීමයි. නව බද්දෙන් “ආරෝපිත කුලියක්” ලැබෙන බවට තමා පදිංචි නිවසම පදනම් කරගෙන ගණනය කරනවා.

මෙහිදී සිදුකරන්නේ තමා පදිංචිවී සිටින නිවස කුලියට දෙන්නේ නම්, ආදායමක් ලැබෙනවාය යන තිබෙන සංකල්පයක්. මේ ලෙස බදු අයකර ගැනීමට සූදානම් වන ආකාරය මේ වන විටත් නිරවුල් කර නැතත් රුපියල් බිලියන 68ක මුදලක් 2025දී අයකර ගන්න සූදානම් වෙනවා. මේ සම්බන්ධයෙන් ව්‍යාකූලත්වයක් ඇති කර අවසන් වශයෙන් එහි බර සාමාන්‍ය ජනතාව මත පැටවීමට සූදානම් වනවා. දැනට රුපියල් ලක්ෂ දෙකක වැටුපක් ලබන පුද්ගලයෙකු තමන්ගේම නිවසේ වාසය කිරීම වෙනුවෙන් මාසයකට රුපියල් 50,000 ආදායමක් ලැබෙනවාය යනුවෙන් උපකල්පනය කරනවා. ඒ අනුව ඔහුගේ මාසික ආදායම රුපියල් 250,000ක් ලෙස සලකා 36%ක පමණ බද්දක් අයකිරීමට සූදානම් වෙනවා. ඒ කියන්නේ සත්‍ය වශයෙන්ම ආදායමක් නොලැබූවත් ආදායමක් ලැබනවා සේ සලකා දේපළ බද්ද ක්‍රියාත්මක කිරීමට සැරසෙනවා. 

ගිය වසරේදී ආදායම් බදු දෙපාර්තමේන්තුවට අයවිය යුතුව තිබූ බදු රුපියල් බිලියන 1100ක් අයකර ගැනීම අත්හැර දමා තිබෙන තත්වයක මේ නව බද්ද පැනවීමට සූදානම් වෙනවා. මෙම බද්දට අදාළ මූලික දත්ත සහ සැලසුම් ක්‍රියාමාර්ග මෙම වසරේ සැප්තැම්බර්වල සිට මූල්‍ය අරමුදලට ලබාදිය යුතුව තිබෙනවා. මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කරමින් ඇතැම් කොන්දේසි වෙනස් කර ගත හැකි බව ඔවුන් පෙන්වාදී තිබියෙදීත් එසේ නොකර මූල්‍ය අරමුදල ඉදිරියේ දණ ගසමින් තව තවත් ජනතාව පීඩාවට පත්කරනවා. මේ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නිවැරදිව තේරුම් ගෙන විරෝධය පළ කරන ලෙස අපි සියලුම පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටිනවා. 

“මනඃකල්පිත ආදායම් මත බදු පැනවීම ජනතාවට ඇති කරන තවත් විශාල පීඩනයක්”
– ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිල සාමාජික හර්ෂණ සූරියප්පෙරුම – 

මූල්‍ය අරමුදලේ කොන්දේසි ඉටුකරමින් නැවත වරක් ජනතාව වෙත බදු පටවන්න දේශපාලුවෝ අලුත් න්‍යායකින් මනඃකල්පිත ආදායමක් මත බදු පනවන්න සූදානම් වෙනවා. තමන් ජීවත් වන නිවසෙන් ආදායමක් ලබා ගන්නවා යැයි සිතා මෙම බද්ද අයකරනවා. ජාතික ජන බලවේගය යෝජනා කරන්නේ ජනතාවට ආදායම් ලැබෙන පරිදි ආර්ථිකය ප්‍රසාරණය කරමින් ඉදිරියට යන මාවතකදී රජය ආදායම් ලබාගත යුතු බවයි. මේ බදු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ජනතාව නොමග යවන ප්‍රකාශයක් සිදු කළා. රටේ ජනතාවගෙන් 90%ට බල නොපාන 10%ක් පමණ මත මෙම බද්ද පැනවෙන බව කීවා. දැනට රටේ නිවාස මිලියන පහක් පමණ තිබෙනවා. එයින් නිවාස ලක්ෂ පහක්වත් උපරිම වශයෙන් මෙම බද්දට හසුකර ගැනීමට සූදානම් වෙන බව ආණ්ඩුවේ ප්‍රකාශවලින් පැහැදිලියි. නමුත් රටේ ආදායම් බදු ගෙවන අය සිටින්නේ 3%ක පමණ පිරිසක්. දූෂිත දේශපාලකයන් තමන්ගේ චෞර රැළට අති විශාල බදු සහන ප්‍රමාණයක් ලබාදී ජනතාව මත තවත් බදු බර පටවන බව පැහැදිලි වෙනවා. 

ජාතික ජන බලවේගය ආර්ථික වැඩපිළිවෙළ සකස් කර තිබුණේ වැඩි බර ජනතාව වෙත පටවා තිබෙන ක්‍රමය වෙනස් කර, නිවැරදි ආර්ථික සංවර්ධනයකින් රට ඉදිරියට ගෙන යන්නයි. විශ්‍රාම ගොස් සිටින දෙමාපියන් මත පවා බර පැටවෙන මේ මනඃකල්පිත ආදායම් මත බදු පැනවීම තවත් විශාල පීඩනයක් ඇති කරනවා. මුල් වටයේදීතම දරු මුණුබිරියන් සමග ජීවිතයේ සැඳෑ සමය ගෙවීමට ඉඩ නොදුන් මේ පිරිස රට හැර ගිය දරුවන් එවන සල්ලිවලට මනඃකල්පිත ආදායම් මත බද්දක් ගහන්න සූදානම් වෙනවා. අකාර්යක්ෂම දූෂිත ආණ්ඩු ඉතා සංකීර්ණ ආකාරයෙන් හඳුන්වා දෙන නව බදු මගින් ගෙන එන පීඩාව වහා නතර කළ යුතුයි. දහසය වරක් මූල්‍ය අරමුදලට ගොස් ගොඩගන්න බැරි වූ රට මේ දූෂිත දේශපාලුවන් යටතේ තවදුරටත් ගෙන යනවා වෙනුවට නිවැරදි මාවතක නව පුනරුද යුගයක ගමනට අවතීර්ණ කරවිය යුතුයි. දූෂිත යුගය අවසන් කර, නව යුගයක් වෙනුවෙන් සැලසුම් සහගතව ක්‍රියාකරන්න අපි සියලු දෙනා පෙළගැසෙමු. 

“රනිල්ලා කැඳවා ගත් මූල්‍ය අරමුදල දැන් අර්බුදය තවත් තීව්‍ර කරන ක්‍රියාමාර්ග යෝජනා කර තිබෙනවා”
– ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිල සාමාජික සුනිල් හඳුන්නෙත්ති – 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ ජූනි මාසයේ ඉදිරිපත් කළ වාර්තාවේ පිටු අංක 14 සහ 15 සඳහන් කරුණුවල හරය වන්නේ “ආරෝපිත කුලී බද්ද” යනුවෙන් හඳුන්වන නව බද්දයි. මේ බද්ද ආදායම් බද්දක් ලෙසට සැලකුවාට සත්‍ය වශයෙන් ආදායම් නොලබන දේපළ මත ආදායම් ලබනවා සේ සලකා බදු අයකරනවා. ලබාදී තිබෙන වාර්තාවේ 18 වැනි වගන්තිය අනුව දැනට ආදායමක් නොලබන හිස් නිවාස සහ ගොඩනැගිලි මතත් බදු අයකරනවා. පසුගිය මාසය වන විට ව්‍යවසායන් දෙලක්ෂ විසිඑක්දහසක් පමණ වැසීගිය තත්වයක් තිබෙන අතර, ඉදිකිරීම් කර්මාන්තය අඩපණ වී තිබෙනවා. තව පැත්තකින් පළාත් පාලන ආයතන ක්‍රියාකාරීව නොතිබුණත් අයකරනු ලබන වරිපනම් බදු ඉහළ දමා තිබෙනවා. බදු බර දරාගන්න බැරිව විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන් මෙන්ම වෛද්‍යවරුන් ඇතුළු විශාල පිරිසක් රට අත්හැර යමින් සිටියදී මේ වගේ නව බදු අයකරන්න සූදානම් වෙනවා. අර්බුදයෙන් රට ගොඩගන්න කියා රනිල් වික්‍රමසිංහලා කැඳවා ගත් මූල්‍ය අරමුදලත් දැන් අර්බුදය තව තවත් තීව්‍ර කරන ක්‍රියාමාර්ග වේගවත් කර තිබෙනවා. 

මූල්‍ය අරමුදලේ කොන්දේසි අනුව දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්න මුල පිරුවේ සේවක අර්ථසාධක අරමුදල ඇතුළු විශ්‍රාම අරමුදල්වලට ලැබෙන ප්‍රතිලාභ කපා හැරීමෙනුයි. ඉන්පසුව දැන් නව කොන්දේසි මගින් ඉඩම් සහ නිවාස මත අනුමාන කරන ආදායම්වලටත් බදු ගෙවන්න යෝජනා කර තිබෙනවා. මීට කලින් අයවැයවලදී ‘සුපිරි මන්දිර’ බද්ද යනුවෙන් නම්කළ බද්ද සහ ‘සුපර් ගේම් ටැක්ස්’ යනුවෙන් නම් කළ බද්දක් ගැන කතා කළත් මේ දක්වා ඒ බදු ක්‍රියාත්මක කළේ නැහැ. රුපියල් බිලියන 1131ක් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව, රේගු දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුවට අයකර ගත හැකිව තිබියදී අයකර ගෙන නැති බව පාර්ලිමේන්තුවේ ආර්ථික අධීක්ෂණ වාර්තාවේ සඳහන් වෙනවා. ඒ වාර්තාවේම සඳහන් වෙන්නේ 2023 ජූනි මාසෙ 23වනදා වන විට අවුරුදු 15ක් තිස්සේ අයකර ගත යුතුව තිබෙන නමුත් අයකර ගෙන නැති බදු ප්‍රමාණය රුපියල් බිලියන 200ක් බවයි. ජනතාවගෙන් අයකර ගෙනත් රජයට බාරනොදුන් මෙවැනි විශාල බදු ප්‍රමාණයක් ආණ්ඩු ගණනාවකින් අයකරගෙන නැති බව පැහැදිලියි. දේශපාලන හිතවත්කම් තිබෙන අයගෙන් අයකර ගත යුතු බදු අයකර නොගෙන මෙවැනි තක්කඩි ක්‍රියාමාර්ග අනුගමනය කරනවා. 

මෙවැනි පීඩාකාරී කොන්දේසි පිළිබඳව ජාතික ජන බලවේගය සියල්ල සමාලෝචනය කර බලා ඔවුන් සමග සාකච්ඡා කරමින් ජනතාව මත තිබෙන පීඩනය අවම කිරීමට ක්‍රියාකරනවා. රනිල් වික්‍රමසිංහ, රාජපක්ෂ හවුල් පාලනය ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් ඇතිකර ගන්නා ගිවිසුම් සම්බන්ධයෙන් බරපතළ අවධානයක් යොමු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඉදිරියේදී එන ජනාධිපතිවරණයේදී ලබා ගන්නා ජන වරම මේ හවුල් පාලනය පරාජය කර, ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් කටයුතු කිරීමට ජාතික ජන බලවේගය ක්‍රියා කරනවා.

පුවත්

ජනපති නියමයෙන් නව පත්වීම් කිහිපයක්

Published

on

By

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් තනතුරු කිහිපයකට නව පත්වීම් සිදුකර තිබේ.

ඒ අනුව සිදුකෙරුනු පත්වීම් මෙසේය :
ජාතික නවෝත්පාදන නියෝජ්‍යායතනයේ ප්‍රධාන නිලධාරී – ආචාර්ය මුදිත දර්ශන සෙනරත් යාපා මහතා

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයේ ලේකම් – සම්පත් මන්ත්‍රීනායක මහතා

ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශයේ ලේකම් – ආචාර්ය බී. කේ. කෝලිත කමල් ජිනදාස මහතා

උතුරු පළාත් ප්‍රධාන ලේකම් – තනුජා මුරුගේසන් මහත්මිය 

ඊට අදාළ පත්විම් ලිපි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද (20) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී එම මහත්ම මහත්මීන් වෙත පිළිගන්වන ලදී.

Continue Reading

පුවත්

රණක්ෂිතයට පත් සෙබළුන්ගේ ප්‍රයෝජනයට ජනාධිපති කාර්යාලයෙන් වාහන

Published

on

By

රණවිරු සේවා අධිකාරියේ ඉල්ලීමකට අනුව රණක්ෂිතයට පත් සෙබළුන්ගේ ප්‍රතිකාර සහ පුනරුත්ථාපන කටයුතු වෙනුවෙන් පවත්වාගෙන යන සුවසහන නිකේතන සඳහා අඩුපාඩුවක්ව පැවැති වාහන 05ක් පිරිනැමීම ජනාධිපති කාර්යාලයට අයත් ශ්‍රාවස්ති පරිශ්‍රයේදී අද (20) පස්වරුවේ සිදුවිණි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් මත පිරිනමන ලද මෙම වාහනවලට අදාළ ලිපි ලේඛන ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් රණවිරු සේවා අධිකාරියට භාර දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදය කළේය. 

එහිදී  ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානයේ රණවිරු සේවා අධිකාරිය වෙනුවෙන් මේජර් එරංග රත්නායක මහතා විසින් එම ලේඛන භාර ගනු ලැබීය.

මෙම වාහන අනුරාධපුරය, කඹුරුපිටිය සහ පාන්ගොල්ල පිහිටි අභිමංසල නිකේතනයන්හි සහ අත්තිඩිය මිහිදු සෙත් මැදුර, රාගම රණවිරු සෙවණ යන සුවසහන නිකේතනයන්හි නේවාසිකව ප්‍රතිකාර ලබන රණක්ෂිත සෙබළුන්ගේ කටයුතු වෙනුවෙන් යෙදවීමට නියමිතය. 

මෙසේ සුවසහන නිකේතනයන් වෙත බාර දෙනු ලැබුවේ මිට්සුබිෂි මොන්ටෙරෝ ජීප් රථ දෙකක්, නිසාන් පෙට්‍රල් ජීප් රථයක්, ටොයොටා කරීනා මෝටර් රථයක් සහ ටොයොටා හයිලක්ස් රථයකි.

Continue Reading

පුවත්

අගමැතිනියට මරණ තර්ජන

Published

on

By

අගමැතිනි හරිනි අමරසූරිය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු දේශපාලනඥයන්ට එල්ල විය හැකි ජීවිත තර්ජන සම්බන්ධයෙන් සිදු කරන ලද පරීක්ෂණ පිළිබඳව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (20) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

පාර්ලිමේන්තුව අමතමින් ඔහු සඳහන් කළේ, අගමැතිනි හරිනි අමරසූරියට මරණ තර්ජන ඇතුළත් විද්‍යුත් තැපෑලක් අගමැති කාර්යාලයට ලැබී ඇති බවය.

ඒ අනුව ඒ සම්බන්ධයෙන් අගමැති කාර්යාලයේ අතිරේක ලේකම්වරයෙකු පැමිණිල්ලක් ගොනු කර ඇති අතර විද්‍යුත් තැපෑල සම්බන්ධයෙන්, ගූගල් වෙතින් වාර්තාවක් ඉල්ලා සිටි බවත්, එම වාර්තාව ලැබී ඇති බවත් මහජන ආරක්ෂක අමාත්‍යවරයා පවසයි.

එම විද්‍යුත් තැපෑලෙහි IP ලිපිනය නෙදර්ලන්තය සහ ජර්මනිය සමඟ සම්බන්ධ වී ඇතැයි සොයාගෙන ඇති බවට අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට පැවසූ අතර ඒ සම්බන්ධයෙන් වන වාර්තාව ලැබුණු පසු අධිකරණයට කරුණු ඉදිරිපත් කරන බවද සඳහන් කරන ලදී.

තවද සජිත් ප්‍රේමදාස මහතගේ ජීවිතයට එල්ල වී ඇති තර්ජන සම්බන්ධයෙන්, මහජන ආරක්ෂක අමාත්‍යවරයා හෙළි කළේ 2024 අගෝස්තු මාසයේදී අමාත්‍යාංශයේ හදිසි දුරකථන අංකය හරහා පැමිණිල්ලක් ලැබී ඇති බවය.

පාතාල නායකයෙකු වන ‘ලොකු පැටී’ ගේ සහචරයෙකු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉලක්ක කර ගනිමින් ස්නයිපර් ප්‍රහාරයක් සඳහා සූදානම් වෙමින් සිටින බවට පැමිණිල්ලේ සඳහන් වූ බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවට හෙළි කලේය.

ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ ආනන්ද විජේපාල මහතා :

“අපි පැමිණිල්ල සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. තොරතුරු සපයන්නා විසින් ඉදිරිපත් කරන ලද කරුණු අසත්‍ය බව සොයාගෙන තිබෙනවා. පැමිණිල්ල කළ ජංගම දුරකථන අංකය පිළිබඳව ද පරීක්ෂණයක් පවත්වා තිබෙනවා. පැමිණිල්ලට අදාළ කරුණු අසත්‍ය බව ඔප්පු වී තිබෙනවා,”

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved