බළන්ගොඩ, ඉදුරන්පිටියේ පිහිටි සත්ත්ව ගොවිපොළකට කඩාවැදුණු පහළොස් දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් එම ගොවිපොළේ මුරකරුව ගස් බැඳ ඌරන් 55ක් කොල්ලකා ඇතැයි බළන්ගොඩ පොලිසිය කියයි.
මෙම කොල්ලය සිදුව ඇත්තේ පෙරේදා (14) අලුයම් කාලයේදීය.
ඌරු කොටුවේ හිමිකරු පොලිසියට පැමිණිලිකර ඇත්තේ එම කොල්ලකෑ ඌරන්ගේ වටිනාකම රුපියල් ලක්ෂ 15 ඉක්මවන බවය.
ඒ අතර ඌරු පැටවුන්ද සිටින බව ඔහු වැඩිදුරටත් පවසා ඇත.
මුරකරු සිය බිරිය සහ සිව් හැවිරිදි දරුවා සමඟ පදිංචිව සිටින්නේ ද ගොවිපොළ භූමියේ ඇති කාමරයකය.
කිසියම් පුද්ගලයෙක් පැමිණ අලුයම 12.30ට පමණ එම කාමරයේ දොරට ගසා ඇති බවත් ඒ අනුව දොර විවරකර බැලීමේදී පුද්ගලයන් පිරිසක් දොරකඩ අසල රැඳී සිට ඇති බවත් මුරකරු පොලිසියට පවසා තිබේ.
ඒ අය සිය බිරියව නිෙවස තුළ දමා දොරගුළු දැමූ බවත් තමාව තේක්ක ගසක ගැටගසා ඔවුන් පැමිණි ලොරි රථයක් ඌරු කොටුව වෙත රැගෙන ගොස් ඌරන් එහි පටවාගෙන පලාගිය බවත් මුරකරු පොලිසියට පවසා ඇත.
ලොරි රථයට අමතරව කැබ් රථයක්ද ගොවිපොළ භූමියට ඇතුළුකර තිබුණු බවත් ඔවුන් ඌරන් කොල්ලකා යන අතර තුර කාමරයේ දොර ඇරගෙන ගිය බවත් මුරකරු පවසා තිබේ.
කොල්ලකරුවන් ගොවිපොළ භූමියෙන් ගියපසු බිරිය පැමිණ තමාගේ දෑත් ලිහා දැමූ බවත් ඒ මොහොතේම තමා ඒ බව ගොවිපොළේ හිමිකරුට දැනුම් දුන් බවත් මුරකරු පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පවසා ඇත.
මුරකරු පවසන ආකාරයට මෙම කොල්ලය පැය එකහමාරක් වැනි කෙටි කාලයක් තුළ සිදුකර ඇත.
කොල්ලකරුවන්ගේ හැසිරීමට අනුව පෙනී යන්නේ ඔවුන් ගොවිපොළ ගැන හොඳට දන්නා කියන පිරිසක් බවද පොලිසිය කියයි.