බූරු කිරිවලින් චීස් ඇතුළු පෝෂ්‍යදායි ආහාර හා චර්ම රෝග සඳහා ඖෂධ නිපදවීමට ඇති හැකියාව සොයා බැලීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨය, විද්‍යා පීඨය හා වෛද්‍ය පීඨය එක්ව පරීක්ෂණ ආරම්භ කර ඇතැයි වාර්තා වේ.
මේ පර්යේෂණ සඳහා භාජනය කිරීමට මන්නාරමේ සිට බූරු පිරිමි සතුන් තිදෙනකු, ගැහැනු සතුන් තිදෙනකු හා බූරු පැටවකු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයට රැගෙන ආ බව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වෛද්‍ය අශෝක දංගොල්ල මහතා මාධ්‍යට පවසා ඇත.
තම රූසපුව වැඩිදියුණු කර ගැනීම සඳහා ක්ලියෝපැට්රා වැනි රූමතියන් බූරු කිරි පාවිච්චි කළ බවට ඉතිහාසයේ සඳහන් වන බවත් ඒ කිරි ආශ්‍රයෙන් ආලේපන සකස් කිරීමේ හැකියාව සම්බන්ධව වෛද්‍ය පීඨය සම්බන්ධ කර ගනිමින් පරීක්ෂණ කිරීමට සැලසුම් කර තිබෙන බවද දංගොල්ල මහතා පැවසීය.
බූරු කිරිවල පෝෂණ ගුණය බොහෝ දුරට මවු කිරිවලට සමාන බවත් ඒවා උපයෝගි කර ගනිමින් සකස් කරන චීස්වලට ලෝකයේ ඉහළ ඉල්ලුමක් පවතින බවත් කී ඒ මහතා පර්යේෂණ සාර්ථක වී නිෂ්පාදනය කිරීමට හැකි වුවහොත් ඒවා අපනයනයෙන් විදේශ විනිමය උපයා ගැනීමේ හැකියාව පවතින බවද අවධාරණය කළේය.
පේරාදෙණි විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයට රැගෙන ආ හොඳින් වැඩුණු බූරුවකු දිනකට තණකොළ කිලෝග්‍රෑම් 5ක් පමණ ආහාරයට ගන්නා බවත් ඔවුන්ගෙන් දෛනිකව ලබා ගත හැකි කිරි ප්‍රමාණය එළදෙනකුගෙන් ලබාගත හැකි කිරි ප්‍රමාණය හා සැසඳීමේදී ඉතා අඩු බවත් මහාචාර්යවරයා පැවසීය.
පුත්තලම හා මන්නාරම කේන්ද්‍ර කර ගනිමින් බහුලව දක්නට ලැබෙන මේ සත්ත්ව විශේෂය මේ වන විට වනජීවී දෙපාර්තමේන්තු භාරකාරත්වයෙන්ද ඉවත් කර තිබෙන බවත් අයාලේ යන්න ඉඩ හැර සිටින බූරුවන් අනතුරුවලට ලක්ව මියයන අවස්ථා බහුලව වාර්තා වන බවත් දංගොල්ල මහතා ප්‍රකාශ කළේය.
බූරුවන්ගේ ආයු කාලය, ගැබ් කාලය, පැටවුන් බිහි කිරීමෙන් පසු කිරි ලබා ගැනීමට හැකි සක්‍රිය කාලය හඳුනා ගැනීම සඳහා වන පරීක්ෂණ පශු වෛද්‍ය පීඨයේ මූලිකත්වයෙන් අඛණ්ඩව සිදු කරන බවද මහාචාර්යවරයා පැවසීය.
කල්පිටි බූරුවන් වසර සිය ගණනක ඉතිහාසයක් ඇති සත්ත්ව කොට්ඨාසයක් වන අතර භාණ්ඩ සහ පුත්තලමේ ලුණු ප්‍රවාහනයට ශ්‍රී ලංකාවට රැගෙන ආ බූරුවෝ පසුකලෙක කල්පිටි බූරුවෝ බවට පත්ව තිබේ.
බුරු කිරි ආශ්‍රිත කරගෙන නිෂ්පාදන කිරීමට පර්යේෂණ කරන මේ අවස්ථාවේ මේ කල්පිටි බූරුවන් සංරක්ෂණය සඳහා ද නිශ්චිත වැඩපිළිවෙළක අවශ්‍යතාව පවතින බව සත්ව හා පරිසර සංවිධානවල මතය වේ.
ප්‍රදේශයේ කෘෂි ව්‍යාපාරිකයකු වූ එරඹුකුඩැල්ලේ පදිංචි රොෂාන් ප්‍රියලාල් සිල්වා මහතා මාධ්‍යට අදහස් දක්වමින්, බූරුවන් මේ වන විට පොල් වතුවල බැඳ තබා පොල් කුරුමිණියන් පලවා හැරීමට භාවිත කරන බවද කීය.
සංරක්ෂණයට යම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවුණොත් තව වසර ගණනකින් බූරුවන් නැත්තටම නැතිව යන බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
මේ සම්බන්ධයෙන් කල්පිටිය වන අඩවි ආරක්ෂක උපාලි කුමාරතුංග මහතා කියා සිටින්නේ සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනතේ 11 වගන්තිය (අ) අනුව බූරුවා ගෘහාශ්‍රිත සත්ත්වයකු ලෙස නම් කර ඇති බවත් ඒ නිසා එම පනත බූරුවන්ට අදාළ නොවන බවයි.