මත්තල මහින්ද රාජපක්ෂ අන්තර්ජාතික ගුවන් තොටුපළට පැමිණෙන සංචාරකයන්ට අවශ්‍ය වීසා ගැනීම හා ඊට මුදල් ගෙවීමට ඇති ප්‍රමාදය නිසා ඔවුන්ට විශාල ලෙස රස්තියාදුවීමට සිදුව ඇතැයි වාර්තා වේ.
එම තත්ත්වය හේතුවෙන් පසුගිය මස 29 වැනි දින හා පෙරේදා (02) සංචාරකයන් හාරසියකට අධික ප්‍රමාණයක් රැගෙන පැමිණි ගුවන් යානාවල මගීන්ට පැය තුන හතරක් ගුවන් තොටුපළේ සිටීමට සිදුව තිබේ.
වීසා තොරතුරු ඇතුළත් කර පසුව මුදල් ගෙවීමට ඇති අනෙක් කවුළුව වෙත ගිය ද එහි සේවකයන් දෙදෙනකු පමණක් සිටින අතර වීසා මුද්‍රා තබන කවුළුවේ පමණක් සේවකයන් හය දෙනකු සිටින බව වාර්තාවේ.
එහෙත් මත්තල කවුළු තුනකින් සිදුකරනු ලබන සේවය කටුනායක ගුවන් තොටුපළේ කවුළු දෙකකකින් සිදු කරයි. මෙහි ඇති පරිගණක පැරණි වීම නිසා අන්තර්ජාල වේගය මන්දගාමි වීම හේතුවෙන් මෙම ප්‍රමාදය වැඩිවී ඇති බව එහි සේවකයෝ පවසති.
පෙරේදා පමණක් මත්තල ගුවන් තොටුපළට සංචාරකයන් රැගත් ගුවන් යානා තුනකින් එක්දහස් විසිහතර (1024) දෙනෙකේ පැමිණ ඇති අතර ඔවුන් දැඩි අපහසුතාවකට පත්ව තිබේ.
එසේ පැමිණෙන සංචාරකයන්ට එහි තීරුබදු රහිත හෝ සහිත සාප්පු සංකිර්ණ, මෙන්ම අවන්හලක්වත් නොමැත.
මේ නිසා වෙන් කරවාගෙන ඇති හෝටලයට යන තෙක් පැය ගණනක් ගුවන් තොටුපළ තුළ හෝ බස්රථය තුළට වී සිටීමට සිදුව ඇත.
සංචාරකයන්ට අන්තර් ජාලයෙන් විසා ලබා ගැනීමට අවස්ථාව ලබා දී ඇතත් රුසියානු සංචාරකයන්ගේ විද්‍යුත් බැංකු කාඩිපත් මෙරට මහබැංකුව පිළි නොගන්නා නිසා මෙම තත්ත්වය උදාවී ඇති බව මේ සම්බන්ධයෙන් ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතා මාධ්‍යට පවසා තිබේ.
ගුවන් තොටුපළ සේවා අධිකාරියට දන්වා ඇති අතර ඊට අවශ්‍ය පහසුකම් ලැබුණු විගස තවත් කවුළු කිහිපයක් විවෘත කරන බවද ඔහු පවසා ඇත.
ඊට අමතරව සිය දෙපාර්තමේන්තුවට අත්‍යවශ්‍ය සේවකයන් හැට දෙනෙකු බඳවා ගැනීමට අවශ්‍ය අනුමැතිය ඉල්ලා ඇති අතර ඔවුන් බඳවා ගත් පසු ඊට අවශ්‍ය සේවකයන් සංඛ්‍යාව යොදවන බවත් ඔහු පවසා තිබේ.