Connect with us

පුවත්

මද්‍යසාර හා මත්ද්‍රව්‍ය පාලනයට ජනපති අපේක්ෂකයින්ට යෝජනාවලියක්

Published

on

මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය (ADIC), ජනාධිපති අපේක්ෂකන්ට මද්‍යසාර, දුම්වැටි පාලනය සහ මත්ද්‍රව්‍ය පාලනය සම්බන්ධයෙන් යෝජනා 12ක් ඉදිරිපත් කරගෙන තිබේ.

දුම්වැටි සහ මද්‍යසාර භාවිතයෙන් දිනකට පුද්ගලයන් 100කට ආසන්න ප්‍රමාණයක් අකාලයේ මරණයට පත් කරයි. ශ්‍රී ලංකාවේ සිදුවන වළක්වා ගත හැකි මරණවලින් 10න් 8කටම බෝ නොවන රෝග (NCD) හේතුවන අතර එම රෝග ඇති වීමට බලපාන ප්‍රධාන සාධක 4න් 2ක්ම දුම්වැටි සහ මද්‍යසාර භාවිතය හේතු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ තොරතුරු වලින් අනාවරණය වී ඇත.

ශ්‍රී ලංකාවේ පුද්ගලයන් දිනකට දුම්වැටි සහ මද්‍යසාර භාවිතය සඳහා රුපියල් කෝටි 121 ක් වියදම් කරනු ලබයි.

දුම්වැටි සහ මද්‍යසාර භාවිතය රටකට තව දුරටත් ආදායමක් නොවන අතර 2022 වර්ෂය තුළ සුරාබදු වශයෙන් ‍රුපියල් බිලියන 165 බදු ප්‍රමාණයක් අයකර ගනු ලැබූවත් මද්‍යසාර භාවිතය නිසා එම වසරේ රටට සෞඛ්‍ය සහ ආර්ථික වශයෙන් ඇති වූ පිරිවැය රුපියල් බිලියන 237 කි.

එමෙන්ම 2016 වර්ෂය තුළ රජය සිගරට් බදු වශයෙන් රුපියල් බිලියන 88 ක් අයකර ගනු ලැබූවත් සිගරට් භාවිතය නිසා සිදු වූ සෞඛ්‍යය සහ ආර්ථික පිරිවැය රුපියල් බිලියන 214ක් බව අධ්‍යයන වලින් අනාවරණය වී ඇත.

මෙරට 9 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම වෙනුවෙන් පැවැත්වෙන ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වන දින පැවැත්වීමට නියමිතව ඇත. ඒ අනුව සෑම ජනාධිපති අපේක්ෂකයෙකුම ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ඉදිරිපත් කරන අතර, ඒ තුළ ඇතුළත් කිරීමට යෝජනා කරන රටේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් රට තුළ දුම්කොළ, මද්‍යසාර සහ අනෙකුත් මත්ද්‍රව්‍ය භාවිතය අවම කිරීම සඳහා විද්‍යාත්මක ප්‍රවේශයක සිට කටයුතු කරන අප ආයතනය (මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය) විසින් සකස් කර ඇති නිර්දේශ පහතින්.

දුම්වැටි, මද්‍යසාර සහ අනෙකුත් මත්ද්‍රව්‍ය ගැටලු පාලනයට යෝජනා හා නිර්දේශ

01. මද්‍යසාර සහ දුම්වැටි සඳහා වූ බදු උද්ධමනයට සහ ආර්ථික වර්ධනයට ගලපමින් සෑම වසරකම සුරාබදු වැඩි වන විද්‍යාත්මක බදු සූත්‍රයක් හඳුන්වා දෙමින් එය ක්‍රියාත්මක කිරීම.

02. දුම්කොළ සහ මද්‍යසාර සමාගම් දැනටමත් රජයට ගෙවිය යුතු නමුත් පැහැර හැර ඇති බදු අයකර ගැනීමටත් අනාගතයේ එවැනි තත්වයක් ඇති නොවීමටත් ක්‍රමවත් බදු අය කර ගැනීමේ ක්‍රමවේදයක් සකස් කිරීම.

03. මද්‍යසාර සහ දුම්කොළ භාවිතය හා ප්‍රවර්ධනය අවම කිරීමට දැනට සම්මතකර ඇති නීති හා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම මෙන්ම දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරි පනතට යෝජනා කර ඇති සංශෝධන කඩිනමින් සම්මත කර ගැනීම.

  • ඒකල වශයෙන් (සිගරට් එක දෙක ලෙසින්) සිගරට් අලෙවිය තහනම් කිරීමේ සශෝධනය ක්‍රියාත්මක කිරීම.
  • අධ්‍යාපන ආයතනයක හෝ ආගමික ස්ථානයක සිට මීටර 100ක් ඇතුළත දුම්වැටි සහ මද්‍යසාර අලෙවි කරන ස්ථානයක් පවත්වා ගෙන යාම තහනම් කිරීමේ සංශෝධනය ක්‍රියාත්මක කිරීම.
  • සියලුම පොදු ස්ථාන දුම්වැටි සහ මද්‍යසාර භාවිතයෙන් තොර කලාප බවට පත් කිරීමේ සංශෝධනය ක්‍රියාත්මක කිරීම.
  • අන්තර්ජාලය ඇතුලු සියලු මාධ්‍ය තුළින් දුම්වැටි, මද්‍යසාර සහ අනෙකුත් මත්ද්‍රව්‍ය භාවිතය දිරිගන්වන ගීත, ගීත ඇල්බම්, චිත්‍රපට, ටෙලිනාට්‍ය, යූ ටියුබ්, ෆේස් බුක්, වීඩියෝ සංවාද ආදී සියලු ආකාරයේ ප්‍රවර්ධනයන් වැළැක්වීම සඳහා වු සංශෝධනය ක්‍රියාත්මක කිරීම.
  • අන්තර්ජාලය හරහා සියලු ආකාරයේ දුම්වැටි, දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන, මද්‍යසාර සහ අනෙකුත් මත්ද්‍රව්‍ය අලෙවිය තහනම් කිරීමේ සශෝධනය ක්‍රියාත්මක කිරීම.
  • දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී පනතට අදාළ වැරදි අත්අඩංගුවට ගත හැකි වරදවල් බවට පත් කිරීම සහ එම වැරදි වලට පනවන දඩ මුදල් සහ දඩුවම් කාලය වැඩි කිරීමේ සශෝධන ක්‍රියාත්මක කිරීම.
  • නීතියෙන් තහනම් කර ඇති දුම්රහිත දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන සහ නීත්‍යානුකූල නොවන මද්‍යසාර සහ අනෙකුත් මත්ද්‍රව්‍ය අලෙවියට අදාළව නීතිය ක්‍රියාත්මක වීම.
  • දුම්කොළ සහ මද්‍යසාර සමාගම්වල අනුග්‍රාහ දැක්වීම් තහනම් නමුත් එය තවදුරටත් උල්ලංඝනය කිරීම් සිදුවෙමින් පවතී. එය වැළැක්වීම සඳහා කටයුතු කිරීම.
  •  ප්‍රධාන මාධ්‍ය හා සමාජ මාධ්‍ය හරහා දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන අලෙවියට අදාළව සෘජු හා වක්‍රාකාර ප්‍රචාරණය සිදු කිරීම නැවැත්වීමට කටයුතු කිරීම.


04. තාවකාලික මද්‍යසාර බලපත් නිකුත් නොකිරීම සහ සංචාරක කර්මාන්තය මුවාවෙන් නිකුත් නරන සුරා බලපත් ලබා දීමේ ක්‍රමවේදය අත් සිටුවීම.

05. 2016 අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ මද්‍යසාර පාලනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීම.

06. නීති විරෝධී මද්‍යසාර, දුම්වැටි සහ අනෙකුත් මත්ද්‍රව්‍ය පාලනය සදහා නීතිය ක්‍රියාත්මක කිරීම. ඒ සඳහා ඇති ආයතන ශක්තිමත් කිරීමට ක්‍රියාත්මක වීම.

07. මත්ද්‍රව්‍ය භාවිතයට පුරුදු වීමට පෙර එයින් වළක්වා ගැනීමේ අරමුණෙන්, ළමුන් සහ තරුණ ප්‍රජාව ඉලක්ක කරගත් දිගින් දිගටම ක්‍රියාත්මක වන ප්‍රතිඵලදායක දුම්වැටි, මද්‍යසාර සහ අනෙකුත් මත්ද්‍රව්‍ය භාවිතය අධෛර්යමත් කිරීම සඳහා ජාතික මට්ටමේ නිවාරණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම.

08. මද්‍යසාර භාවිතය සඳහා යොමු වූවන් එයින් නිදහස් කරගැනීමට උපදේශනය, ප්‍රතිකාර හා වෙනත් සේවා සහ අවශ්‍ය වැඩසටහන් සම්පාදනය කර ක්‍රියාත්මක කිරීම සහ දුම්වැටි සහ මද්‍යසාර භාවිතයෙන් නිදහස් වීමට උදවු ලබාගත හැකි “1948” දුරකතන උපදේශන සේවාව තවදුරටත් පුළුල්කර ක්‍රියාත්මක කිරීම.

09. දුම්කොළ පාලනය සඳහා වන ජාත්‍යන්තර මට්ටමේ සම්මුතියක් වන WHO Framework Convention on Tobacco Control (FCTC) අප රට අත්සන් තබා ඇති අතර එහි ඉලක්ක නිශ්චිත කාල රාමුවකට අනුව අවසන් කිරීම.

10. දුම්වැටි සහ දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන අලෙවිය සදහා බලපත්‍රයක් ලබා ගැනීමේ ක්‍රමවේදයක් හඳුන්වා දීම සහ බලපත්‍ර නොමැතිව දුම්වැටි සහ දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන අලෙවිය තහනම් කිරීම.

11. දුම්කොළ සහ මද්‍යසාර කර්මාන්ත විසින් දැනට පවතින ප්‍රතිපත්ති දුර්වල කිරීමට සහ නව ප්‍රතිපත්ති ගෙන ඒම වළක්වමින් සිදුකරන මැදිහත්වීම් වැළැක්වීමට කටයුතු කිරීම.

12. ගංජා නීතිගත කිරිමේ උගුලෙන් රට ගලවා ගැනීමට ගංජා භාවිතයේ ඇති හානිය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සහ ගංජා භාවිතය ප්‍රවර්ධනය කරන විවිධ ආකාරයේ මාධ්‍යයට එරෙහිව කටයුතු කිරීමට අවශ්‍ය නව පනත් සම්මත කිරීම සහ බලාත්මක කිරීම.

මෙම නිර්දේශ ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ගැටලුව අවම කිරීමේ යාන්ත්‍රණයන් ශක්තිමත් කිරීම සහ අපේ රටේ පුරවැසියන්ගේ යහ පැවැත්ම සහතික කිරීම අරමුණු කරගෙන සකස් කර තිබේ.

මෙම නිර්දේශ සඳහා ඉදිරි ජනාධිපති අපේක්ෂකයන් ඒ සඳහා ඔවුන්ගේ එකඟතාවය සහ එය ඔවුනගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට ඇතුළත් කිරීමට කටයුතු කරනු ඇතැයි මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය බලාපොරොත්තු වේ.

මෙම වැඩපිළිවෙළට ලබා දෙන සහයෝගය සහ නායකත්වය යටතේ සියලුම ශ්‍රී ලාංකිකයන් සඳහා සෞඛ්‍ය සම්පන්න නිදහසින්, සතුටින් ජීවත් වීමට හැකි පරිසරයක් නිර්මාණය කර දීම අනාගත ජනාධිපතිවරයාගේ වගකීම බව මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය ලෙස අපි තරයේ අවධාරණය කර සිටිමු.

පුවත්

දැඩි ආරක්ෂාවක් මැද හරක් කටා අදත් උසාවියට

Published

on

By

සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා යන අයට විරුද්ධව මාතර මහාධිකරණයේ විභාග වන නඩුවට පෙනි සිටිම සඳහා රැදවුම් නියෝග මත රඳවා සිටින ඔහු අද (23) දිනයේ දැඩි ආරක්ෂාව යටතේ අධිකරණ සංකීරණයට රැගෙන ආවේය.

2018 වර්ෂයේදි වැලිගම පොලිස් වසමේ දී මනුෂ ඝාතනයක් සිදුකිරීමට තැත්කිරිමේ චෝදනාව මත මෙම නඩුව මාතර මහාධිකරණයේ විභාග වන අතර, මාතර මහාධිකරණ විනිසුරු එම්.ආර්.අමරසිංහ මහතා ඉදිරියේදී නඩුව විභාගයට ගන්නා ලදී.

සාක්ෂි විමසීමෙන් අනතුරුව ජූනි මස 02 වන දින දක්වා කල්තැබීය.

Continue Reading

පුවත්

පොලීසියේ ලොකු පුටු රැසක තැන් මාරු

Published

on

By

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි වහාම ක්‍රියාත්මක වන පරිදි පොලීසියේ ස්ථානාධිපතිවරු කිහිපදෙනෙකුට ස්ථාන මාරුවීම් හා පත්කිරීම් සිදුකර තිබේ.

පොලිස් මුලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, ඒ අනුව ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු 12 දෙනෙකුට සහ පොලිස් පරීක්ෂකවරු සිව්දෙනෙකුට මෙලෙස ස්ථානමාරුවීම් ලබාදී ඇති බවය.

අදාළ නිවේදනය පහතින්.

Continue Reading

පුවත්

පාර්ලිමේන්තුවේ නීති අංශයක් පිහිටුවීමට අනුමැතිය

Published

on

By

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයන් සහ කාර්ය මණ්ඩලයට අදාළව නඩු කටයුතු සහ නීති උපදෙස් ලබා දීමේ සැලකියයුතු වර්ධනයක් දක්නට ලැබෙන බැවින් ඒ සඳහා අවශ්‍ය නීතිමය පහසුකම් සැලසීමේ අරමුණින් පාර්ලිමේන්තුව සඳහා නීති අංශයක් පිහිටුවීමට පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලීය උපදේශක කාරක සභාව තීරණය කර තිබේ.

මෙම තීරණ ගනු ලැබුවේ උක්ත කාරක සභාව පසුගිය දා  කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධනත්වයෙන් රැස්වූ අවස්ථාවේදීය.

එමෙන්ම, පාර්ලිමේන්තුව තුළ දැනට ක්‍රියාත්මක වන සංඥා භාෂා පරිවර්තන පහසුකම් තවදුරටත් පුළුල් කිරීමටද පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලීය උපදේශක කාරක සභාව තීරණය කර ඇත.

ඒ අනුව ආබාධ සහිත පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ ප්‍රාග්ධන ආයෝජන අරමුදලේ (Commonwealth Parliamentarians with Disabilities (CPwD) Capital Investment Fund) අනුග්‍රාහකත්වයෙන් පාර්ලිමේන්තු කාරක සභා කාමර අංක 05 සහ 06 සඳහා සංඥා භාෂා පරිවර්තන පහසුකම් ලබාදීමට නියමිතය.

පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ප්‍රතිසංස්කරණ කටයුතුවල ප්‍රගතිය පිළිබඳවද කාරක සභාවේ අවධානය යොමුව තිබේ.

ඒ අනුව පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ වැහිපීලි ප්‍රතිසංස්කරණය කිරීම, ප්‍රධාන තඹ ද්වාරයේ ක්‍රියාකාරී යාන්ත්‍රණය නිවැරදි කිරීම, සනීපාරක්ෂක පහසුකම් පුළුල් කිරීම, පාර්ලිමේන්තු වෛද්‍ය මධ්‍යස්ථානය වැඩිදියුණු කිරීම, ගිනි අනාවරක පද්ධතියක් (Fire Detection System)ස්ථාපනය කිරීම ආදී කටයතු ප්‍රමුඛතා කාර්යයන් ලෙස ශ්‍රී ලංකා යුධ හමුදාවේ හා ශ්‍රී ලංකා පොලීසියේ සහය ඇතිව සිදුකිරීමටද කාරක සභාව අනුමතිය ලබා දී තිබේ.

ඊට අමතරව, මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයේ වැඩිදියුණු කිරිම් කටයුතු සඳහාද කාරක සභාවේ අනුමතිය හිමිවිය.

ඒ අනුව, 2025 අයවැය ප්‍රතිපාදන සහ නියමිත ප්‍රසම්පාදන මාර්ගෝපදේශ වලට අනුකූලව ශ්‍රී ලංකා යුධ හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් මෙම කටයුතු සිදු කිරීමට නියමිතය.

සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන ජල සැපයුම් පද්ධතියක් කථානායක නිල නිවසේ ස්ථාපිත කිරීමටද කාරක සභාවේ අනුමතිය හිමිවිය.

ඒ අනුව, ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහයෝගයෙන් මෙම කටයුතු සිදු කිරීමට යෝජිත අතර පාර්ලිමේන්තු සැපයුම් සහ සේවා කාර්යාංශය මගින් නියමිත ප්‍රසම්පාදන මාර්ගෝපදේශ වලට අනුකූලව විවෘත ප්‍රසම්පාදන ක්‍රියාවලියක් ඔස්සේ සූර්ය බල පද්ධති දෙකක් ස්ථාපනය කිරීමට නියමිතය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved