Connect with us

පුවත්

මහින්දගේ සේවයට ජනපති අනුරගෙන් ඇගයුමක්

Published

on

අයහපත් දේ වළක්වා ගැනීමට පොරබැඳීම මෙන්ම යහපත් දේ නිර්මාණය කිරීමට දායක වීම රාජ්‍ය නිලධාරින්ගේ වගකීම බවත්, එහිදී මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා රටට මහඟු ආදර්ශයක් සැපයූ බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

එසේම, පසුගිය ආර්ථික අර්බුදයෙන් පසු ඇති වූ පරිවර්තනීය යුගයේදී ඉතා සුමට ලෙස මෙරට ආර්ථිකය හසුරවමින්, රටට ආර්ථික ජයග්‍රහණ අත්කර දීමට එතුමා ලබා දුන් සුවිශේෂී දායකත්වය සහ කැපවීම අගය කළ ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් සිය කෘතඥතාවද පිරිනැමීය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ධුරයෙන් විශ්‍රාම යාම වෙනුවෙන්, අද (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සංවිධානය කර තිබූ උත්සවය අමතමිනි.

පුද්ගලයන්ගේ සැබෑ වටිනාකම් වෙනුවට, වෙනත් දේ වටිනාකම් බවට පත්ව ඇති මෙම යුගයේදී රටත්, සමාජයත් ඉදිරියට ගෙන යාම වෙනුවෙන් පුද්ගල වටිනාකම් පිළිබඳ නව හර පද්ධතියක අවශ්‍යතාව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා අධිපරිභෝජනවාදී, දූෂණයෙන් අගතියට පත් රාජ්‍ය සේවයක් වෙනුවට මනුෂ්‍යත්වයෙන් සහ අනෙකා කෙරහි සංවේදී වෙමින් වගකීම් ඉටුකරන රාජ්‍ය සේවයක් රටට අවශ්‍ය බවද පැවසීය.

එසේම, රාජ්‍ය සේවය පුරවැසියන්ට ඉහළින් තිබෙන සහ ජනතාව සමග කිසිදු සබඳතාවක් නොමැති යාන්ත්‍රණයක් නොවිය යුතු සේම, තීන්දු තීරණ ගැනීමේදී සෑම විටම, එම තීන්දුවලින් ජන ජීවිතයට එල්ල විය හැකි බලපෑම පිළිබඳවද අවධානය යොමු කළ යුතු බව පෙන්වා දුන් ජනාධිපතිවරයා අත්දැකීම් බහුල සහ ගැඹුරු අවබෝධයක් ඇති ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරියකු වූ මහින්ද සිරිවර්ධන මහතාගේ රාජකාරී ජීවිතයෙන් තරුණ රාජ්‍ය නිලධාරින්ට ලබා ගත හැකි ආදර්ශ බොහෝ බවද සඳහන් කළේය.

මෙහිදී අදහස් දැක් වූ මහින්ද සිරිවර්ධන මහතා සඳහන් කළේ මුදල් අමාත්‍යාංශයේ ලේකම් ධුරය හෙබ වූ වසර 03ක සේවා කාලය තම වෘත්තීය ජීවිතයේ සුවිශේෂීම අවස්ථාව බවයි. රටෙහි පාලනයේ වෙනසක් සිදු වුවද තමා කෙරෙහි විශ්වාසය තබමින් අඛණ්ඩව එම ධුරයේ රඳවා ගැනීමට කටයුතු කිරීම පිළිබඳව ජනාධිපතිවරයා වෙත ස්තූතිය පළ කළ ඒ මහතා, තම ධුරයේ කටයුතුවලදී ජනාධිපතිවරයාගෙන් ලැබුණු සහාය විශාල ශක්තියක් වූ බවද සඳහන් කළේය. එසේම, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තුළ තිබූ විශ්වාසය, දරා ගැනීම සහ අසීමිත කැපවීම නොවන්නට රට ආර්ථික අර්බුදයෙන් මුදා ගැනීමට නොහැකි වනු ඇති බවද මහින්ද සිරිවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාගේ විශිෂ්ට සේවාව අගයමින් සිහිවටන තිළිණයක් පිළිගැන්වීමද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ප්‍රධාන උපදේශක ආචාර්ය හාන්ස් විජේසූරිය, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලංගමුව යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීහු සහ මහින්ද සිරිවර්ධන මහතාගේ පවුලේ ඥාතීහු ඇතුළු ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

පුවත්

ට්‍රම්ප්ගේ බද්ද අඩු කරගන්න අදත් සාකච්ඡාවක්

Published

on

By

ඇමෙරිකාව විසින් යෝජනා කරනු ලැබූ තීරු බදු අඩුකර ගැනීම සඳහා අඛණ්ඩ සාකච්ඡා පැවැත්වීමට තීරණය කර ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව අද (18) දිනයේ දී ඇමෙරිකානු වෙළෙඳ නියෝජිත ආයතනය සමග ශ්‍රී ලංකාවේ නියෝජිතයන් එක්වන සාකච්ඡාවක් පැවැත්වෙනු ඇත.

දෙරට අතර වෙළඳ හා ආයෝජන සබඳතා ප්‍රවර්ධනය කර ගැනීම සඳහා මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා සහ අදාළ රාජ්‍ය නිලධාරීන් මාර්ගගත ක්‍රමය ඔස්සේ මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතය.

මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිවේදනයක වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.

“ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ලොව පුරා රටවලින් එරටට ආනයනය කරන භාණ්ඩ සඳහා විශ්වීය තීරු බද්දක් පැනවීමට තීරණය කළේ පසුගිය අප්‍රේල් මස 03 වනදාය. එහිදී අවම ප්‍රතිශතය 10%ක් වූ අතර එය ඇතැම් රටවලට ඉතා ඉහළ අගයක් ප්‍රකාශයට පත්කර තිබුණි. 

ශ්‍රී ලංකාවට එහිදී පනවනු ලැබූවේ 44 %ක තීරු බද්දකි. 

මෙම නව බදු ප්‍රතිපත්තියට ලොව පුරා රටවලින් දැඩි විරෝධයක් එල්ල වූ අතර චීනය ප්‍රකාශ කළේ මෙම බද්ද ඉවත් නොකළහොත් ඊට දැඩි ප්‍රති පියවර ගන්නා බවයි. 

එක්සත්ව ඊට ප්‍රතිවිරෝධය දක්වන බව යුරෝපා සංගමය ද ප්‍රකාශ කර තිබුණි. 

එවන් පසුබිමක ශ්‍රී ලංකා රජය ඇමෙරිකා වෙළඳ නියෝජිතායතනය සමඟ වහාම සාකච්ඡා ආරම්භ කරමින් මේ සඳහා සංශෝධන එකඟතාවන්ට පැමිණීමට පියවර ගනු ලැබීය. ඒ පිළිබඳ ශ්‍රී ලංකාව දැඩි බලාපොරොත්තු සහගතව සිටි අතර ඒ අනුව පසුගිය 12 වැනි දා ඇමෙරිකාව ශ්‍රී ලංකාව වෙනුවෙන් 30% දක්වා අඩු කරමින් නව තීරුබදු යෝජනාවක් ලිඛිතව දැනුම් දෙන ලදී. එම 30% ප්‍රතිශතය තවදුරටත් අඩුකර ගැනීම සඳහා ශ්‍රී ලංකාව ඇමෙරිකානු වෙළඳ නියෝජිතායතනය සමඟ අඛණ්ඩව සාකච්ඡා පැවැත්වීමට ඉන් අනතුරුව තීරණය කරනු ලැබීය. 

ඒ අනුව අද දින මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් හා අදාල නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ඇමෙරිකානු වෙළඳ නියෝජිතායතනයේ නිළධාරීන් සමඟ මාර්ගගත ක්‍රමය ඔස්සේ සාකච්ඡා ආරම්භ කිරීමට නියමිතය.“

Continue Reading

පුවත්

දෙහිවල වෙඩිතැබීමක්

Published

on

By

දෙහිවල දුම්රිය ස්ථානය අසලදී අද (18) උදෑසන 11.00ට පමණ පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩිතැබීමක් සිදුකර තිබේ.

යතුරු පැදියකින් පැමිණි නානඳුන පුද්ගලයින් දෙදෙනෙක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර ඔවුන් එම ස්ථානයෙන් පළා ගොස් ඇති බව වාර්තා වෙයි.

වෙඩිතැබීමෙන් අදාළ පුද්ගලයා තුවාල ලබා ඇති අතර ඔහුව දකුණු කොළඹ ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇත.

මෙසේ වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 45ක් වන පුද්ගලයෙකි.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

Continue Reading

පුවත්

චන්ද්‍රසේන අගෝස්තු 01 දක්වා රිමාන්ඩ්

Published

on

By

2014 වසරේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිළිඳු ගොවීන් සඳහා සහනදායි මිල ගණන් යටතේ බෙදා දීමට රුපියල් මිලියන 25ක් මුදලක් වැයකර මිලදී ගනු ලැබූ බඩ ඉරිඟු බීජ නීත්‍යානුකූල ක්‍රමවේදයට පටහැනිව එම වසරේ පැවැති ජනාධිපතිවරණයේදී තමන්ට වාසියක් අත් කර ගැනීමේ අරමුණින් තම හිතවතුන්ට හා ආධාරකරුවන් අතර බෙදා හැරීම තුළින් දූෂණය නැමති වරද සිදු කළේ යැයි අල්ලස් කොමිසම විසින් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා තවදුරටත් අගෝස්තු මස 01 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

එදිනට පෙර ග්‍රාමීය මට්ටමෙන් සිටින සාක්ෂිකාර රජයේ නිලධාරීන්ගෙන් ප්‍රකාශ සටහන් කර අවසන් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරිය අල්ලස් කොමිසමට නියම කළාය.

අල්ලස් කොමිසමේ සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය මෙම නියෝගය නිකුත් කළාය.

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved