Connect with us

පුවත්

මිහින්තලේ දැවැන්ත වන සංහාරයක්

Published

on

මිහින්තලේ මරදන්කුලම ප්‍රදේශයේ මිහින්තලේ රක්ෂිත වනය නමින් හඳුන්වන ප්‍රදේශයේ අක්කර 18ක් එළිපෙහෙළි කර ඉන් අක්කර 6ක් ගිනි තබා විනාශ කර නීති විරෝධීව අත්පත් කර ගැනීමට උත්සාහ දරන විත්තිකාර ව්‍යාපාරිකයාට එරෙහිව අධිකරණය හමුවේ නඩු පවරන ලෙස අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් කංචනා නර්තනා අභිමානි සෙනවිරත්න මෙනෙවිය අනුරාධපුර අඩවි වන නිලධාරි සුමිත් සුවාරිස් මහතාට නියෝග කළාය.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසන පරිදි අදාළ ප්‍රශ්නගත ඉඩම සඳහා සකස් කර ඇති බලපත්‍ර හතරම ව්‍යාජ ඒවා නම් ඒ සම්බන්ධයෙන් අනුරාධපුර විශේෂ අපරාධ විමර්ශන අංශයට පැමිණිලි කර ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසට ද අතිරේක මහේස්ත්‍රාත්වරිය අඩවි වන නිලධාරි සුමිත් සුවාරිස් මහතාට තවදුරටත් නියෝග කරන ලදී.

අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත්වරිය මෙසේ නියෝග කළේ මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අංක 586 ග්‍රාම නිලධාරි තුලානේ පිහිටි මරදන්කුලම ප්‍රදේශයේ මිහින්තලේ රක්ෂිත වනය නමින් හඳුන්වන ප්‍රදේශයේ අක්කර 18ක් නීති විරෝධීව එළිපෙහෙළි කර ඉන් අක්කර 6ක් ගිනි තබා විනාශ කර අදාළ රක්ෂිත භූමිය නීති විරෝධීව අත්පත් කර ගැනීමට උත්සාහ දරන බවට විත්තිකාර ව්‍යාපාරිකයකුට එරෙහිව අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින බී/123/2024 අංක දරන නඩුව අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වමින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අනුරාධපුර අඩවි වන නිලධාරි සුමිත් සුවාරිස් මහතා කියා සිටියේ මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මිහින්තලේ මරදන්කුලම පිහිටි මිහින්තලේ රක්ෂිත වනය නමින් හඳුන්වන ප්‍රදේශයේ අක්කර 18ක භූමියක් විත්තිකාර ව්‍යාපාරිකයා විසින් නීති විරෝධීව අල්ලාගෙන ඉන් අක්කර 6ක් ගිනි තබා විනාශ කර ඇති බවයි.

එකී භූමිය සඳහා තමන්ට බලපත්‍ර 4ක් ඇති බව පවසමින් විත්තිකරු බලපත්‍ර 4ක් ඉදිරිපත් කර ඇති බව ද අධිකරණයට කියා සිටි අඩවි වන නිලධාරිවරයා එකී බලපත්‍රවල නීත්‍යනුකූලභාවය සම්බන්ධයෙන් වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයා මිහින්තලේ ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් ලිඛිතව විමසීමක් කළ බව ද කියා සිටියේය. 

විත්තිකරු විසින් ඉදිරිපත් කර ඇති බලපත්‍රවලට අදාළ කිසිදු සටහනක් හෝ ලේඛනයක් මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සතුව නැති බව මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් එන්.බී.ජේ.ඒ. නායක බණ්ඩාර මහතා වෙනුවෙන් සහකාර ප්‍රාදේශීය ලේකම් එම්.එම්.කේ. චන්ද්‍රගුප්ත මහතා වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලිඛිතව දන්වා ඇති බව ද අඩවි වන නිලධාරිවරයා ප්‍රකාශ කළේය.

විත්තිකරු විසින් ඉදිරිපත් කර ඇති බලපත්‍ර 4 අතුරින් එක් බලපත්‍රයකට තබා ඇති අත්සන අනුරාධපුර හිටපු මහ දිසාපති ටී.කේ. දසනායක මහතාගේ බව කියන අත්සනක් බව ද අධිකරණයට ප්‍රකාශ කළ අඩවි වන නිලධාරිවරයා එකී අත්සන ද අනුරාධපුර හිටපු මහ දිසාපති ටී.කේ. දසනායක මහතාගේ නොවන බවට මිහින්තලේ හිටපු ප්‍රාදේශීය ලේකම් සිරිමෙවන් ධර්මසේන මහතා වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලිඛිතව දන්වා ඇති බව ද අවධාරණය කළේය. 

ඒ අනුව විත්තිකරු විසින් ඉදිරිපත් කර ඇති ඉඩම් බලපත්‍ර හතරම ව්‍යාජව සකසන ලද කූට ඒවා බවට සැක කරන්නේ යැයිද? අඩවි වන නිලධාරිවරයා කීවේය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින ව්‍යාපාරිකයා දැනට අධිකරණය මඟින් ඇප මත මුදාහැර සිටී. මෙසේ ඇප මත මුදාහැර සිටිනුයේ අනුරාධපුර තම්මැන්නාකුලම ඉසුරුපුර අංක 246/20 ලිපිනයේ ඔලුපොතගේ සුමින්ද සේනාධීර නමැත්තෙකි. 

පැමිණිල්ල වෙනුවෙන් වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල් මහතාගේ උපදෙස් මත අනුරාධපුර අඩවි වන නිලධාරි සුමිත් සුවාරිස් මහතා පෙනී සිටි අතර, විත්තිකරු වෙනුවෙන් නීතිඥ සුසිල් සිරිවර්ධන මහතා පෙනී සිටියේය. 

අනුරාධපුර අඩවි වන නිලධාරි සුමිත් සුවාරිස් මහතාගේ මෙහෙයවීම මත අනුරාධපුර අතිරේක අඩවි වන නිලධාරි චින්තානි ගුණසේකර මහත්මිය මිහින්තලේ බීට්ටු වන නිලධාරි චමින්ද ඒකනායක, බීට්ටු වන නිලධාරින් වන කේ.එම්. තුෂාර නලින්ද, වන ක්ෂේත්‍ර සහකාර එච්.බී. සුගත් යන මහත්වරුන් සහ විශේෂ කාර්ය බළකා කඳවුරේ අණ දෙන නිලධාරි ප්‍රධාන පොලිස් පරීක්ෂක බී.ඒ.එස්. බුලත්සිංහල මහතා ඇතුළු විශේෂ බළකා නිලධාරීන් කණ්ඩායමක් මෙම වැටලීම සිදු කර තිබිණි. 

මෙම නඩුව ලබන ජුනි මස 26 වැනිදා යළි කැඳවීමට නියමිතය.

(dinamina.lk)

පුවත්

විදුලි ගාස්තු 18.3%කින් ඉහළට?

Published

on

By

විදුලි ගාස්තු ඉහළ නැංවීමේ යෝජනාවේ දී ස්ථාවර ගාස්තු සහ ඒකක ගාස්තු යන දෙකම ඉහල දැමීමට යෝජනා කර තිබේ.

කෙසේවෙතත් මේ සඳහා මහජන උපයෝගීතා කොමිසම තවම සිය අනුමැතිය ලබා දී නොමැත.

ජූනි 01 සිට විදුලි ගාස්තු ඉහළ නැංවීමට නියමිතව තිබේ.

කෙසේවෙතත් පිරිවැය පියවාගැනීම සදහා විදුලි ගාස්තු 18.3%කින් ඉහළ නැංවීමට අවශ්‍ය බව විදුලිබල මණ්ඩලය පැවසීය.

සබැඳි පුවත් :

ලාභ ලැබූ විදුලිබල මණ්ඩලේ යළි පාඩු ලැබීම අරඹලා

Continue Reading

පුවත්

ගල්කිස්සේ තරුණයෙකු ඝාතනයට පැමිණි පැදිකරු අත්අඩංගුවට

Published

on

By

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් ගල්කිස්ස, සිල්වෙස්ටර් මාර්ගයට හැරෙන හන්දිය අසලදී 19 හැවිරිදි තරුණයෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියේ පැදිකරු ඊයේ (16) අත්අඩංගුවට ගෙන ඇත.

මෙම ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන ගල්කිස්ස පොලිස් ස්ථානය හා ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයට ලද තොරතුරක් මත අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිව තිබේ.

අදාළ පුද්ගලයා හෝමාගම, මාකුඹුර ප්‍රදේශයේදී අත්අඩංගුවට පත්ව ඇති අතර, ඔහු වයස අවුරුදු 45ක් වන මාකුඹුර, පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලීසිය පවසයි. 

මේ අතර සැකකරුවන් අපරාධය සඳහා පැමිණි බවට සැකකෙරෙන යතුරුපැදියේ කොටස් හා ව්‍යාජ අංක තහඩු දෙකක්, සැකකරුගේ නිවස පිටුපස වල දමා තිබියදී පොලීසිය විසින් සොයාගෙන ඇත.

මෙම අපරාධයට ආධාර අනුබල දුන් බවට සැකකරන පුද්ගලයින් දෙදෙනෙකු ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් මීට පෙර අත්අඩංගුවට ගෙන තිබුණි.

එම සැකකරුවන් අවුරුදු 21 හා 32 වයස්වල පසුවන්නන් බව සඳහන් විය.

Continue Reading

පුවත්

බණ්ඩාරවෙල ලංගම බස් වර්ජනයක්

Published

on

By

බණ්ඩාරවෙල ලංගම ඩිපෝවේ බස්රථ රියදුරෙකුට බීමත් මගියෙකු විසින් සිදුකළ පහරදීමක් මුල්කරගනිමින් එම ඩිපෝවේ බස්රථ ඩිපෝ භූමියට ගෙන්වා අද (17) වර්ජනයක් ආරම්භ කරඇත.

බණ්ඩාරවෙල සිට පල්ලෙවෙල දක්වා ගමන්ගන්නා රාත්‍රී අවසන් බස් රථයේ ඉකුත් 15වනදා බීමතින් අශෝබන ලෙස හැසිරී මගීන්ට හිරිහැර වන ලෙස කටයුතු කළ පුද්ගයෙකුට බස් රථයේ රියදුරු අවවාද කර තිබේ.

එහිදී රියදුරුට තර්ජනය කර බසයෙන් බැස ඇති අදාළ පුද්ගලයා, රියදුරා සේවය නිමකර නිවෙස බලා යමින් සිටියදී මග රැක යකඩ පොල්ලකින් පහරදී ඇත.

මේ වනවිට එම තුවාල ලැබූ රියදුරු බණ්ඩාරවෙල දිසා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

එම පහරදීමෙන් පසු බණ්ඩාරවෙල පොලීසිය විසින් පල්ලේවෙල ප්‍රදේශයේ සැකකරුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප ලබාදී තිබේ.

පහරකෑමට ලක්වූ රියදුරා පවසන්නේ තමාට පොලීසියෙන් සහ බණ්ඩාරවෙල ඩිපෝව මගින් ද නිසි සාධාරණයක් ඉටු නොවූ බවය.

ඒ හේතුවෙන් අදාළ බලධාරීන්ට මේ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නා ලෙස බලකරමින් මෙම වර්ජනය ආරම්භ කර ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved