Connect with us

පුවත්

මෙන්ඩිස් සමාගමේ මත්පැන් බලපත්‍ර අහෝසියි

Published

on

ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගම විසින් ගොනුකළ පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද (04) තීන්දු කලේය.  

ගෙවිය යුතු හිඟ සුරාබදු මුදල් ඉකුත් නොවැම්බර් මස 30 වනදාට පෙර ගෙවා අවසන් නොකරන්නේ නම් තම සමාගම වෙත නිකුත් කර තිබෙන මත්පැන් නිෂ්පාදන බලපත්‍ර අත්හිටුවීමට පියවර ගන්නා බව දැනුම් දෙමින් සුරාබදු දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙන ලිපිය බලරහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලමින් ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගම විසින් එම පෙත්සම ගොනුකර තිබුණි. 

දීර්ඝ කරුණු සලකා බැලීමකින් පසුව සෝභිත රාජකරුණා සහ මහේන් ගොපල්ලව යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කරන ලදී.

තීන්දුව ප්‍රකාශයට පත්කරමින් විනිසුරු මඩුල්ල සටහන් කළේ මෙම පෙත්සම තුළ දක්වා ඇති කරුණු අනුව බැලූ බැල්මටම නඩු නිමිත්තක් අනාවරණය නොවන හෙයින් එය විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන බවය.

පෙත්සම සලකාබැලීම සඳහා කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නවීන් මාරපන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉකුත් නොවැම්බර් මස 30 වනදාට පෙර හිඟබදු ගෙවා අවසන් නොකළහොත් දැනට නිකුත් කර තිබෙන මත්පැන් නිෂ්පාදන බලපත්‍ර අත්හිටුවීමට පියවර ගන්නා බවට සුරා බදු දෙපාර්තමේන්තුව විසින් තම සේවා දායකයා වෙත නිකුත් කර තිබෙන ලිපිය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බව සඳහන් කර තිබේ.

දෙසැම්බර් මස 31 වන දා දක්වා මත්පැන් නිෂ්පාදන කටයුතු සිදුකිරීමට තමන්ට බලපත්‍ර නිකුත් කර තිබියදී හදිසියේ මේ ආකාරයෙන් නොවැම්බර් මස 30 වනදා ඒවා අත්හිටුවන බව දැන්වීම අත්තනෝමතික ක්‍රියාවක් බවත් ඔහු පවසා ඇත.

තම සමාගම වෙත මත්පැන් නිෂ්පාදන බලපත්‍ර 10ක් නිකුත් කර තිබෙන බව සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා ඉන් බලපත්‍ර 08ක් අද දින සිට අත්හිටුවන බවට දැනුම් දී ඇති බවද ද ජනාධිපති නීතිඥවරයා පෙන්වා දී තිබුණි.

තම සේවාදායකයා විසින් ගෙවීමට තිබෙන රුපියල් බිලියන 5.3ක හිඟ සුරාබදු මුදල් සහෝදර සමාගමක් වන පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමට අයත් මේ වන විට මහ බැංකුව විසින් තහනමට ගෙන තිබෙන රුපියල් බිලියන 12කට අධික මුදල්වලින් ගෙවා දැමීමට හැකියාව තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා පැවසීය.

ඒ අනුව, ශ්‍රී ලංකා මහා බැංකුව විසින් රඳවාගෙන සිටින පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමට අයත් මුදල්වලින් මෙම බදු මුදල් ගෙවීම සඳහා ප්‍රතිපාදන මුදාහරිණ ලෙස අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් ජනාධිපති නීතිඥ නවීන් මාරපන මහතා අධිකරණයෙන් ඉල්ලා තිබේ.

එම ඉල්ලීමට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි  ආචාර්ය. අවන්ති පෙරේරා මහත්මිය දැඩි පෙර විරෝධය පළ කර ඇත.

හිඟ බදු ගෙවීම පැහැර හැර තිබෙන මත්පැන් නිෂ්පාදන සමාගම්වල බලපත්‍ර ඉකුත් නොවැම්බර් මස 30 වන සිට අත්හිටුවීමට ගෙන තිබෙන තීරණය රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් බව සඳහන් කලේය.

එම තීරණය පෙත්සම්කාර සමාගමට පමණක් අදාළ වන කරුණක් නොවන බව සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය එය බදු ගෙවීම් පැහැර හැරි සියලුම මත්පැන් නිෂ්පාදන සමාගම්වලට අදාළ වන බවත් පැවසීය. 

ඒ අනුව, මෙම පෙත්සම පවත්වාගෙන යාමට කිසිදු නීතිමය පදනමක් නොමැති බවත් එය විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙසත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකාබැලීමෙන් අනතුරුව මිනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කලේය.

පුවත්

ADB සහ NIRDC අතර පර්යේෂණ වාණිජකරණය පිළිබද සාකච්ඡාවක්

Published

on

By

ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) ශ්‍රී ලංකා නියෝජිත තකෆුමි කඩොනො (Takafumi Kadono) මහතා සහ පර්යේෂණ හා සංවර්ධන වාණිජකරණ ජාතික ප්‍රවේශයහි (NIRDC) නියෝජිතයන් අතර හමුවක් ඊයේ (20) ආසියානු සංවර්ධන බැංකු ශ්‍රී ලංකා නියෝජිතායතනයේදී පැවැත්විණි. 

පර්යේෂණ සහ සංවර්ධන ක්ෂේත්‍රය හා සම්බන්ධ ජාත්‍යන්තර අත්දැකීම්, ජාතික පර්යේෂණ සහ සංවර්ධන ප්‍රතිපත්ති සැකසීම සඳහා මෙන්ම පර්යේෂණ හා සංවර්ධන වාණිජකරණ ජාතික ප්‍රවේශය (NIRDC) මගින් ක්‍රියාත්මක කරන වාණිජකරණ ක්‍රියාවලිය සඳහා උපයෝගී කර ගැනීම පිළිබදව අදහස් හුවමාරු කර ගැනීම මෙම සාකච්ඡාවේ අරමුණ විය.

මෙම හමුවට පර්යේෂණ සහ සංවර්ධන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ජාත්‍යන්තර අත්දැකීම් බහුල සිංගප්පූරුවේ නන්‍-යැන්ග් තාක්ෂණ විශ්වවිද්‍යාලයෙහි (Nanyang Technological University) මහාචාර්ය ලර්වෙන් ලු (Professor Lerwen Liu) සහ IITM ප්‍රවර්තක් තාක්ෂණ පදනමෙහි (IITM Pravartak Technologies Foundation) නව ප්‍රවේශයන්හි (New Initiatives) ප්‍රධානියා වන රාජේන්ද්‍ර මෝතා (Rajendra Motta) යන මහත්වරුන්ද සහභාගී වූහ.

පර්යේෂණ හා සංවර්ධන වාණිජකරණ ජාතික ප්‍රවේශය (NIRDC)නියෝජනය කරමින් විද්‍යාව හා තාක්ෂණය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක මෙන්ම NIRDC නිර්මාතෘ මහාචාර්ය ගෝමික උඩුගමසූරිය , NIRDC අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය මුදිත ඩී. සෙනරත් යාපා, අධ්‍යක්ෂ (ආයෝජන) ඉඳුනිල් ගුණතිලක යන මහත්වරු ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියහ.

Continue Reading

පුවත්

ශ්‍රී ලාංකිකයන්ට ඉරානයෙන් ඉවත්වීමට ඉන්දියාවේ සහාය

Published

on

By

ඊශ්‍රායලය හා ඉරානය අතර ඇති වී තිබෙන යුදමය තත්ත්වය හේතුවෙන් ඉරානයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන්ට යළි මෙරටට පැමිණීමට අවශ්‍ය සහාය ලබාදීමට ඉන්දියාව ඉදිරිපත් වී ඇත.

ශ්‍රී ලංකා රජයෙන් ලැබුණු විධිමත් ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වමින් ටෙහෙරානයේ ඉන්දීය තානාපති කාර්යාලය මේ බව අද (21) ප්‍රකාශ කර ඇත.

මීට අමතරව ඉරානයේ සිටින නේපාල ජාතිකයන්ටද මෙලෙසම සිය සහාය ලබාදීමට ඉන්දියාව ඉදිරිපත්ව සිටියි.

ටෙහෙරානයේ ඉන්දීය තානාපති කාර්යාලය වැඩිදුරටත් පවසා සිටියේ, අසල්වැසි රටවල් දෙකෙහිම පුරවැසියන් ඉවත්කිරීම ‘සින්ධු මෙහෙයුම’ යටතේ සිදුකරන බවයි.

Continue Reading

පුවත්

මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් මෙරටට

Published

on

By

මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස්වරයා ලබන 23 වනදා සිට මෙරට නිල සංචාරයක නිරත වීමට නියමිතය.

මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් වොල්කර් ටර්ක් මහතා ලබන 23 වන දා සිට 26 වනදා දක්වා මෙරට නිල සංචාරයක නිරත වන බව විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය නිවේදනය කරයි.

2016 වසරේ පෙබරවාරි මාසයෙන් පසු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරයෙකු ශ්‍රී ලංකාවේ සිදුකරන පළමු සංචාරය මෙයයි.

මෙම සංචාරය අතරතුර දී මහ කොමසාරිස්වරයා , ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය හමුවීමට නියමිතය.

එමෙන්ම විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ඇතුලු තවත් කැබිනට් අමාත්‍යවරුන් කිහිපදෙනෙකු ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ,රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් , සිවිල් සමාජ නියෝජිතයන් ,රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාවේ සාමාජිකයන් සහ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසම සමග ද සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ.

මහකොමසාරිස්වරයා මහනුවර දළදා මාළිගාවට ද ගමන් කිරීමට නියමිතය.

එහිදී අස්ගිරි සහ මල්වතු පාර්ශවයන් හි මහානාහිමිවරුන් බැහැ දැකීමට සැලසුම් කර තිබේ.

එමෙන්ම යාපනය සහ ත්‍රිකුණාමලය වෙත ද සංචාරය කරමින් උතුරු සහ නැගෙනහිර පළාත්වල ආණ්ඩුකාරවරුන් හමුවීමට ද අපේක්ෂිතය.

මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය සමග ශ්‍රී ලංකා රජය අඛණ්ඩව සිදුකරන ඵලදායී සම්බන්ධතාවයට අනුව යමින් මානව හිමිකම් සහ සංහිදියාව ප්‍රවර්ධනය මෙන්ම ආරක්ෂා කිරීම කෙරෙහි මෙම සංචාරය අතරතුර දි වැඩි අවධානයක් යොමුවනු ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved