Connect with us

පුවත්

මෙරට දූත පිරිසක්, ඉන්දීය විදේශ අමාත්‍ය හා ලෝක් සභා කථානායකව හමු වෙයි

Published

on

ඉන්දියාවේ නිල සංචාරයක නිරත කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා  ප්‍රමුඛ මෙරට  දූත පිරිසක් ඉන්දීය ලෝක සභාවේ කථානායක ගරු ඕම් බිර්ලා මහතා පසුගියදා හමුවිය. දෙරට අතර සංස්කෘතිකමය වශයෙන් ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ පවතින සමීප සබඳතා පිළිබඳව  මෙහිදී සාකච්ඡා විය. 

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර වසර දහස් ගණනක් මුල්ලේ පවතින සමීප සබඳතාව ඉදිරියටත් ශක්තිමත්ව පවත්වා ගත යුතු බව ඉන්දීය කතානායකවරයා මෙහිදී පෙන්වා දුන්නේය. එසේම මෙම ආර්ථික අර්බුදකාරී තත්ත්වයේදී ශ්‍රී ලංකාවට නිරතුරුවම ශක්තියක් වන බවට ඉන්දීය ලෝක් සභා කතානායකවරයා මෙහිදී සහතික විය.

මෙරට කථානායකවරයා සහ ඉන්දීය විදේශ අමාත්‍ය ගරු ආචාර්ය එස් ජයශංකර් මහතා අතර හමුවක්ද පැවැත්විණි. ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුව ඇති ආර්ථික අභියෝගය ජයගැනීම සඳහා සියලු සහයෝගය ලබා දෙන බවට මෙහිදී  ඉන්දීය විදේශ ඇමතිවරයා ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාවේ සංචාරය කරන ඉන්දීය සංචාරක පිරිස වැඩි කිරීම සඳහා පියවර ගන්නා බවද ඒ මහතා සඳහන් කළේය. එසේම ඉන්දියාවේ සංචාරයේ නිරත ශ්‍රී ලාංකිකයන්ගේ වීසා පහසුකම්  කඩිනම් කිරීම මෙන්ම ශ්‍රී ලංකාවේ සංචාරය කරන ඉන්දීය සංචාරකයන්ට නොමිලේ වීසා පහසුකම් ලබා දීම  පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය. මෙරට ලොකු ලූණු මිල ගණන් විශාල ලෙස ඉහළ යෑම සඳහා විසඳුමක් ලබාදීමේ අවශ්‍යතාවය පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.

එසේම ශ්‍රී ලංකාවේ ආයෝජනය සදහා ඉන්දියානු ආයෝජකයන්ට මෙහිදී කතානායකවරයා ආරාධනා කළේය. ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම සඳහා ඉන්දීය ආයෝජකයන් රැසක් කැමැත්තෙන් සිටින බවත් ඒ සඳහා ඔවුන් දිරිමත් කරන බවත් ඉන්දීය විදේශ අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

එසේම පසුගිය සමයේ ඇතිවූ අර්බුදකාරී තත්ත්වය තුළ මෙරට ප්‍රජාතන්ත්‍රවාදය තර්ජනයට ලක්වන අවස්ථාවකදී ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්  පෙනී සිටීම පිළිබඳව  කථානායකවරයා ඉන්දීය විදේශ අමාත්‍යවරයාට සිය කෘතවේදීත්වය පළ කළේය. වසර තුනකින් ගෙවීම සඳහා ලබා දුන් ඉන්දියානු රුපියල් මිලියන 550ක ණය මුදල ගෙවීම සඳහා තවත් වසර දෙකක කාලයක් ලබාදීම සම්බන්ධයෙන් ද කථානායකවරයා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයාට ස්තූතිය පළ කළේය. අන් කවර රටකටත් වඩා ශ්‍රී ලංකාවේ සැබෑම ඥාතියෙක් ලෙස මෙරටට ලබා දෙන්නා වූ සහයෝගය පිළිබඳව කතානායකවරයා සිය විශේෂ ගෞරවය මෙහිදී පළ කර සිටියේය.

කථානායකවරයා ප්‍රමුඛ දූත පිරිස ඉන්දියානු රාජ්‍ය සභා සභාපති සහ ඉන්දීය උප ජනාධිපති ජග්දීප් දන්කර් මහතා ද (Jagdeep Dhankhar) හමුවිය. මෙම හමුව පිළිබඳව සිය සතුට පළ කරමින් රාජ්‍ය සභා සභාපතිවරයා ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකාවෙන් මෙවැනි දූත පිරිසක් සම්බන්ධ වූයේ වසර පහකට පසු  බවයි. දෙරට මහජනතාව අතර පවතින ගැඹුරු සම්බන්ධතාවය තවදුරටත් ආරක්ෂා කර ගත යුතු බව මෙහිදී සාකච්ඡා විය. දෙරටේ  ධීවර කර්මාන්තයේ දී මුහුදු සීමාව ඉක්මවා යාම ඇතැම් විට චේතනාන්විතව සිදු නොවිය හැකි බැවින් ධීවරයන් අත්අඩංගුවට ගැනීමේදී ඒ සඳහා දෙරටම යම් ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමේ අවශ්‍යතාවය ද ඉන්දියානු රාජ්‍ය සභා සභාපතිවරයා විසින් මෙහිදී පෙන්වා දෙන ලදී.

නියෝජ්‍ය කථානායක – අජිත් රාජපක්ෂ, නියෝජ්‍ය කාරක සභා සභාපති – අංගජන් රාමනාදන්, අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිරෝෂන් පෙරේරා, මොහොමඩ් මුසම්මිල්, නිරෝෂන් පෙරේරා, වරුණ ලියනගේ, වීරසුමන වීරසිංහ, එම්. උදයකුමාර්, එම්. රාමේශ්වරන්, ජගත් සමරවික්‍රම යන මහත්වරු ද පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර, නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී චමින්ද කුලරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීහු පිරිසක්ද ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මෙම දූත පිරිසට එක්ව සිටියහ.

පුවත්

වාහන අංක තහඩු නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

Published

on

By

නව මෝටර් රථයක් ලියාපදිංචි කිරීමේ දී අංක තහඩු නිකුත්කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති බව මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව පවසන්නේ අංක තහඩු වල හිඟතාවයක් හේතුවෙන් පසුගිය අප්‍රේල් මස 28වනදා සිට මෙය තාවකාලිකව අත්හිටුවා ඇති බවය.

ඒ අනුව ලියාපදිංචි චැසි අංක දරණ මෝටර් වාහන සඳහා අංක තහඩු සහ ස්ටිකර් නිකුත් නොකරන බව සඳහන්ය.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කමල් අමරසිංහ මහතා පවසා සිටියේ, නව මෝටර් රථයක් ලියාපදිංචි කිරීමේ දී අංක තහඩු නිකුත් කිරීම සිදු නොකළද, ඔවුන්ට අදාළ වාහන අංකය ලබාදීමට පියවර ගන්නා බවය.

ඒ අනුව මෝටර් රථ හිමිකරුවන්ට එම අංකය පිටපත් කර, වාහනයේ ප්‍රදර්ශනය කිරීමේ හැකියාව පවතින බව කමල් අමරසිංහ මහතා පැවසීය.

එමෙන්ම මේ පිළිබඳ පොලීසියද දැනුම්වත් කිරිමට පියවර ගෙන ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.

Continue Reading

පුවත්

ඉදිරි දින කිහිපයේ කාලගුණයේ ලොකු වෙනසක්

Published

on

By

ඉදිරි දින කිහිපයේදී බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එමෙන්ම දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුලින් බරව පවතිනු ඇත.

අද (17) දිනයේද බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

ඉන් බස්නාහිර, සබරගමුව, වයඹ, උතුරු සහ උතුරු – මැද පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.

මේ අතර වයඹ, උතුරු – මැද සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇති වියහැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

Continue Reading

පුවත්

දකුණේ අයට ගුරුත්වාකර්ශනය අඩුයි, ආයුෂ වැඩියි

Published

on

By

ලොව අවම ගුරුත්වාකර්ෂණයට හිමිකම් කියන ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ ජීවත් වන්නන්ට ඉහළ ආයු අපේක්ෂාවක් ලැබීමේ වැඩි ප්‍රවණතාවක් ඇති බව කොළඹ විශ්වවිද්‍යාලයේ ප්‍රජා විද්‍යාව පිළිබඳ මහාචාර්ය ඉන්ද්‍රලාල් ද සිල්වා මහතා කියයි.

එම තත්ත්වය මත එම පළාතට සංචාරකයන් සහ විදෙස් ආයෝජකයන් වැඩි වශයෙන් ගෙන්වා ගැනීමෙන් සංචාරක කර්මාන්තය තවත් දියුණු කරගත හැකි බව ද ඔහු පෙන්වාදෙයි.

ශ්‍රී ලංකාවේ පළාත් 9 අතුරින් ඉහළම ආයු අපේක්ෂා මට්ටමට හිමිකම් කියන්නේ දකුණු පළාතේ හම්බන්තොට සහ මාතර ආශ්‍රිතව ජීවත් වන පුද්ගලයන් බවත්, ඒ සඳහා ඉවහල් වී ඇති විවිධ සාධක අතුරින් නාසා ආයතනය ඉතා මෑතකදී හෙළි කළ චන්ද්‍රිකා තොරතුරුවලට අනුව ලොව අවම ගුරුත්වාකර්ෂණයට හිමිකම් කියන්නේ ශ්‍රී ලංකාවේ දකුණු ප්‍රදේශ හා මාලදිවයිනට නැඟෙනහිරින් පිහිටි ඉන්දීය සාගරය බව හෙළි වී ඇති බවත් මහාචාර්යවරයා කියා සිටී.

ඒ අනුව ලොව ධනකුවේරයන් දකුණු පළාතේ සංචාරය කිරීමට උනන්දු කරවීම, ඔවුන්ට ඒ ප්‍රදේශයේ දිගුකාලීනව ජීවත් වීමට ඉඩ ප්‍රස්තා ප්‍රවර්ධනය කිරීම මෙන්ම අවම ගුරුත්වාකර්ෂණ තත්ත්වය වඩාත් උචිත ලෙස යොදාගත හැකි කර්මාන්ත එම ප්‍රදේශයේ ස්ථාපිත කිරීමට විදෙස් ආයෝජකයන් දිරිගැන්වීම කාලෝචිත බවද මහාචාර්ය ඉන්ද්‍රලාල් ද සිල්වා මහතා කියා සිටී.

විශේෂයෙන් යුරෝපීය සංචාරකයන් අතර ආයුර්වේදීය, බටහිර සහ දේශීය වෛද්‍ය ක්‍රම ඇතුළත් සෞඛ්‍ය සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට පියවර ගැනීම කාලෝචිත බවද මහාචාර්යවරයාගේ අදහසයි. 

මහාචාර්යවරයා මේ තොරතුරු අනාවරණය කළේ 2000-02 සහ 2011-13 වර්ෂවලදී මෙරට ජීවන වගුවලින් හෙළි වූ ස්ත්‍රී-පුරුෂ ආයු අපේක්ෂා පිළිබඳ දත්ත පදනම් කර ගනිමිනි.

මූලාශ්‍රය – සිළුමිණ 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved