Connect with us

පුවත්

“මෙරට වන ආවරණය ගැන මාධ්‍ය වාර්තා අසත්‍යයි”

Published

on

ලංකාවේ වන ආවරණය 16%ක් දක්වා අඩු වී ඇති බවට පළ වන මාධ්‍ය වාර්තා අසත්‍ය බව වන සංරක්ෂක ජනරාල් කේ.එම්.ඒ. බණ්ඩාර මහතා සඳහන් කරයි.

අදාළ මාධ්‍ය වාර්තා පිළිබඳ ජනාධිපති කාර්යාලයේ අවධානය යොමුව තිබෙන බවත්, ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ උපදෙස් පරිදි කළ විමසීමකදී වන සංරක්ෂක ජනරාල්වරයා මේ බව අවධාරණය කළ බවත් ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කර ඇති නිවේදනයේ මෙසේද දැක්වේ :

වන ආවරණය පිළිබඳ තක්සේරුව සිදු කරනු ලබන්නේ වසර පහකට වරක් වන අතර 2020 වර්ෂයේ සිදු කළ  සංගණනය මෙම වසරේ ජූනි මාසයේදී අවසන් කිරීමට නියමිත බවත් 2015 වර්ෂයේ දී සිදුකළ සංගණනයට අනුව ශ්‍රී ලංකාවේ ස්වභාවික වනාන්තර මුළු භූමි ප්‍රමාණයෙන් 29.15%ක් (හෙක්ටයාර් 1,912,970) වූ බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

රට තුල ක්‍රියාත්මක වන නොයෙකුත් සංවර්ධන කටයුතු සහ වෙනත් මානව ක්‍රියාකාරකම් නිසා වනාන්තර ප්‍රමාණයේ යම් අඩු වීමක් සිදුව ඇති නමුත් මාධ්‍ය වාර්තාවල සඳහන් පරිදි වනාන්තර ප්‍රමාණය 16% ක් දක්වා අඩුවීමක් කිසිසේත් සිදුවී නොමැති බව ද වන සංරක්ෂක ජනරාල්වරයා පැවසිය.

 මාධ්‍ය වාර්තා අනුව අද වන විට ශ්‍රී ලංකාවේ වනාන්තර ප්‍රමාණය මුළු භූමි ප්‍රමාණයෙන් 16% ක් නම් රටෙහි පවතින වනාන්තර ප්‍රමාණය හෙක්ටයාර 1,040,000 විය යුතු බවත්, එනම් 2015 සිට වසර හත තුල වනාන්තර හෙක්ටයාර 872,970 ක් විනාශ වී තිබිය යුතු බවත් පෙන්වා දෙන ඒ මහතා එය වසරකට හෙක්ටයාර 124,710 ක් වන අතර දිනකට හෙක්ටයාර 341ක වන විනාශයක් වියයුතු බව ද සඳහන් කළේය.

වනාන්තර පිළිබඳ දත්ත ඉදිරිපත් කිරිමේ දී වනාන්තර තක්සේරු කරන ලද ආකාරය විස්තර කළ යුතු අතර එහිදී වනාන්තර නිර්වචනය, වනාන්තර ප්‍රමාණය තක්සේරු කිරීමේ ක්‍රමවේදය, වනාන්තර ප්‍රමාණය තක්සේරුව යන මූලික කරුණු දැක්විය යුතු වුවත් වන ආවරණය අඩුවී ඇති බව සඳහන් කර තිබූ මාධ්‍ය වාර්තාවල අදාළ දත්ත ලබාගත් කිසිදු මූලාශ්‍රයක් දක්වා නොමැති බවත් වන සංරක්ෂක ජනරාල්වරයා පෙන්වා දුන්නේය.

තවද මාධ්‍ය වාර්තාවල දැක්වෙන අන්දමේ විශාල වන විනාශයක් සිදුවේ නම් එය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ශ්‍රී  ලංකා පොලීසිය මෙන්ම ගුවනින් වනාන්තර නිරීක්ෂණය කරන ශ්‍රී ලංකා ගුවන් හමුදාව ආදී ආයතන මගින් නිරීක්ෂණය කළ යුතුය. නමුත් මෙවැනි විශාල වන විනාශයන් මෙම කිසිඳු ආයතනයක් වෙත වාර්තා වී නොමැත. තවද වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වනාන්තර සිතියම් යාවත්කාලීන කරමින් සිටින බවත් එම කටයුතු වලදී ද මෙවැනි වන විනාශයක් නිරීක්ෂණය වී නොමැති බවත් වන සංරක්ෂක ජනරාල්වරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

පුවත්

119 ට කෝල් කරනවා නම්…

Published

on

By

119 හදිසි ඇමතුම් අංකය අවභාවිතා කිරීම වළක්වාගැනීම සඳහා පොලීසිය විසින් මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරන්නේ, 119 ක්ෂණික දුරකතන ඇමතුම් මධ්‍යස්ථානය වෙත ඇමතුම් ලබාදෙමින් මෙම සේවාව අවභාවිතා කරන අවස්ථාවන් නිරීක්ෂණය වී ඇති බවය.

පොලීසිය පැවසුවේ, වර්ථමානය වනවිට මෙම මධ්‍යස්ථානය වෙත වාර්තා වන ඇමතුම් සම්බන්ධයෙන් සලකා බැලීමේදී පොලීසිය ක්ෂණිකව ක්‍රියාත්මක වීමට අවශ්‍ය පැමිණිලිවලට අමතරව අසත්‍ය පැමිණිලි හා වෙනත් ක්ෂණික සේවාවන් වෙත යොමු කළ යුතු පැමිණිලිද ලැබෙන බවය.

එමෙන්ම වෙනත් සේවාවන් මඟින් එම අවශ්‍යතාවය ඉටු කර ගැනීමට හැකියාව පැවතියද (පාරිභෝගික සේවා සම්බන්ධ පැමිණිලි, අල්ලස් සම්බන්ධ පැමිණිලි, රාජ්‍ය ආයතන මඟින් සිදුවන අක්‍රමිකතා සම්බන්ධ පැමිණිලි ඉඩම් ආරවුල්, මුදල් ආරවුල් වැනි පොලිසියේ සහාය ක්ෂණිකව අවශ්‍ය නොවන අවස්ථා සම්බන්ධයෙන් වන පැමිණිලි) ඇතැම් පැමිණිලි මෙම හදිසි ඇමතුම් අංකය හරහා බොහෝ විට ඉදිරිපත් කිරීමට මහජනතාව විසින් කටයුතු කරනු ලබන බව පොලීසිය පවසයි.

ඒ අනුව, හදිසි අවස්ථාවකදී පොලිස් 119 ක්ෂණික ඇමතුම් මධ්‍යස්ථානය වෙත සම්බන්ධ වීමට ඇති හැකියාව අවම වන බව පොලීසිය පෙන්වා දෙයි.

මෙලෙස අනවශ්‍ය පැමිණිලි සඳහා කාලය ගත කිරීම තුළින් 119 හදිසි ඇමතුම් අංකය ඔස්සේ පොලිසියේ සහාය ක්ෂණිකව ලබා දිය යුතු අත්‍යවශය වන හදිසි පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සඳහා ඇමතුමේ වැඩි කාලයක් රැඳී සිටීමට සිදුවේ.

මෙසේ අසත්‍ය පැමිණිලි ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් අධිකරණය වෙත කරුණු වාර්තා කර අදාළ පුද්ගලයින්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කර ඇති අතර මෙම සේවාව අවභාවිතා කර ඇති අවස්ථාවන්හි ඊට අදාළ දුරකතන අංකය මඟින් 119 ක්ෂණික දුරකථන ඇමතුම් මධ්‍යස්ථානයට ලැබෙන දුරකතන ඇමතුම් තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කරනු ලබයි.

එබැවින් කාර්යක්ෂමව හා ඵලදායී ලෙස සේවය ලබාගැනීමට මෙම සේවාව භාවිතා කිරීමේදී නිසි අවබෝධයෙන් යුතුව, පොලිසියේ සහය ක්ෂණිකව ලබාගත යුතු අවස්ථා හඳුනාගනිමින් කටයුතු කරන ලෙසටත් පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

මහජනතාවට මුහුණ දීමට සිදුවන යම් ආපදාවක් හෝ පොලිස් නිලධාරීන්ගේ සහාය ක්ෂණිකව ලබා ගැනීමට අවශ්‍ය අවස්ථාවකදී ඒ සඳහා පොලිස් නිලධාරීන් ක්ෂණිකව ක්‍රියාත්මක කිරීමේ අරමුණින් 119 ක්ෂණික දුරකතන ඇමතුම් සේවාව 2004 වර්ෂයේදී ආරම්භ කරන ලදී.

Continue Reading

පුවත්

මාලදිවයින් ජනාධිපති කාර්යාලයේ නිලධාරීන් මෙරට ජනාධිපති ලේකම් කාර්යාලයේ අධ්‍යයන චාරිකාවක

Published

on

By

මාලදිවයින් ජනාධිපති කාර්යාලයේ නිලධාරීහු අද දින අධ්‍යයන චාරිකාවක් සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණියහ. 

ඔවුහු ජුනි 27 වනදා දක්වා ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට අපේක්ෂා කරති. 
ඔවුන්ගේ මෙම අධ්‍යයන චාරිකාවේදි මූලික අවධානය යොමු වන ක්ෂේත්‍ර අතරට ලේඛනාගාර සහ වාර්තා නඩත්තු කිරීම හා සංරක්ෂණය, ගබඩා කළමනාකරණය, ඉන්වෙන්ටරි පාලනය සහ තොග සංරක්ෂණය ඇතුළත් වේ.

මෙම චාරිකාව අතරතුර ඔවුන් ජාතික ලේඛනාගාර දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව, තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නැරඹීමට නියමිතය.

මෙම අධ්‍යයන චාරිකාව සඳහා මාලදිවයින් ජනාධිපති කාර්යාලයේ නිලධාරින් අට දෙනෙක් එක්ව සිටින අතර  ඔවුහු ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ මහතා හමු වී අදහස් හුවමාරුවක නිරත වූහ.

ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීහු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

(ජනාධිපති මාධ්‍ය අංශය)

Continue Reading

පුවත්

එ.ජා. මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් දිවයිනට (Update)

Published

on

By

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මහතා අද (23) පස්වරුවේ දිවයිනට පැමිණ තිබේ.

———————

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් අද මෙරටට

(පෙර පුවත : 2025/06/23 at 7:30 am)

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මහතා අද (23) මෙරටට පැමිණීමට නියමිත ව තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පැවසුවේ ඔහු අද සිට ලබන 26 වනදා දක්වා මෙරට සංචාරය කිරීමට නියමිත බවය.

2016 වසරෙන් පසු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයෙකු ශ්‍රී ලංකාවේ සිදු කරන පළමු සංචාරය මෙය බව සඳහන් වේ.

සංචාරය අතරතුර මහ කොමසාරිස්වරයා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ද හමුවීමට නියමිතව තිබේ.

විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා මෙන්ම තවත් කැබිනට් අමාත්‍යවරු කිහිපදෙනෙකු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ජ්‍යෙෂ්ඨ රජයේ නිලධාරීන්, ආගමික නායකයින්, සිවිල් සමාජ නියෝජිතයින්, රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාවේ සාමාජිකයින් කිහිපදෙනෙකු ද හමුවීමට නියමිතය.

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved