මෙරට කිරි කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා මිල්කෝ ආයතනය සහ ජාතික පශු සම්පත් මණ්ඩලය සතු ගොවිපොළවල් ඉන්දියාවේ අමූල් සමාගමට දීර්ඝ කාලීන බදු පදනම මත ලබාදීම සඳහා මුදල් ඇමැතිවරයා ලෙස ජනාධිපතිවරයා සහ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර විසින් ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ඉන්දියාවේ සංචාරයක නිරතවූ අවස්ථාවේ එරට අගමැතිවරයා පවසා ඇත්තේ මෙරට කිරි කර්මාන්තය නගා සිටුවීම සඳහා ඉන්දියානු රජයේ සහයෝගය ලබාදෙන බවය.
ඒ අනුව, ඉන්දියාවේ පශු සම්පත් දෙපාර්තමේන්තුවේ නියෝජිතයා ලෙද අමූල් සමාගම සහ මෙරට සමාගමක් සමග එක්ව මිල්කෝ සමාගම සහ ජාතික පශු සම්පත් මණ්ඩලයේ ගොවිපොළවල් 99 වසරක බද්දට ගෙන ඒවා දියුණු තත්ත්වයට පත් කිරීමට කටයුතු යොදා ඇත.
ඒ අනුව, අමූල් සමාගම විසින් මිල්කෝ සමාගම සහ ජාතික පශු සම්පත් මණ්ඩලය සතු කර්මාන්තශාලා, ගොඩනැගිලි සඳහා රජය විසින් රුපියල් බිලියන 90 ක තක්සේරුවක් සිදුකර ඇති අතර, හයිලන්ඩ් නාමය සඳහා ලබාදී තිබෙන තක්සේරුව රුපියල් බිලියන දෙකකි. මීට අමරතරව, ජාතික පශු සම්පත් මණ්ඩලයේ තිබෙන උපකරණ ආදිය සඳහා වෙනම තක්සේරු කිරීමක් සිදු කෙරේ.
ඉන්දියාවේ අමූල් සමාගමට කොටස් සියයට 52 ක්ද, මෙරට සමාගමට කොටස් සියයට 48ක්ද පැවරෙන අතර දේශීය කිරි කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම අවුරුදු 99 ක බදු ගිවිසුමකට යටත්ය.
මෙම ආයතනවල සේවයේ නියුතු සේවකයන්ගේ රැකියා සුරක්ෂිත කරන බවද එම පුද්ගලික සමාගම් විසින් රජයට දැනුම්දී ඇත. මිල්කෝ ආයතනයේ සේවයේ නියුතු අයවලුන් ස්ව කැමැත්තෙන් විශ්‍රාම ගනු ලබන්නේ නම් ඉහළ පාරිතෝෂික මුදලක් ලබාදීමටද රජය සැලසුම් කර ඇත.
ඉන්දියාවේ අමූල් සමාගමට එරටින් කිරි හෝ කිරි ආශ්‍රිත නිෂ්පාදන මෙරටට ආනයනය කර අලෙවි කිරීමට නොහැකි බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර කීවේය.
ඉන්දියාව විසින් වෙනත් රටවලට කිරි ගවයන් අපනයනය නතර කර ඇතත්, දේශීය කිරි ප්‍රවර්ධන සඳහා එරටින් කිරි ගවයන් මෙරටට ලබාදීමට නියමිතය.
මිල්කෝ සමාගම සතු නාරාහේන්පිට කර්මාන්තශාලාව සහිත භූමිය නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරා ගැනීමට නියමිත අතර, බඩල්ගමට මිල්කෝ ප්‍රධාන කර්මාන්තශාලාව රැගෙන යාමට නියමිතය.
මූලාශ්‍රය – අරුණ