Connect with us

පුවත්

රජයේ නිලධාරීන් සමාජ මාධ්‍ය හරහා පක්ෂවලට කඩේ ගියොත් වසර 3ක් හිරේ!

Published

on

රාජකාරී වේලාව තුළ රජයේ නිලධාරීන්ට පෞද්ගලික සමාජ ජාල ගිණුමක් හෝ වෙනත් ගිණුමක් භාවිතා කරමින් යම් දේශපාලන පක්ෂයක් හෝ අපේක්ෂකයෙකු ප්‍රවර්ධනයට හෝ අගතියට හේතුවන යම් ප්‍රචාරණයක් හෝ ප්‍රකාශයක් සිදු කිරීම බරපතළ වරදක් බවත්, එවන් පුද්ගලයන් වසර 3ක සිරදඬුවමකට යටත් කිරීමට හෝ රුපියල් ලක්ෂයකට නොවැඩි දඩයක් නියම කිරීමට හෝ මේ දඬුවම් දෙකටම යටත් කිරීමට හෝ හැකි වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක විසින් විශේෂ චක්‍රලේඛයක් මඟින් දක්වා තිබේ.

එමෙන්ම දේශපාලන අයිතිවාසිකම් අහිමි රජයේ නිලධාරියෙකුට වුවද, මෙම නිර්ණායකය බලාත්මක වනු ඇතැයි පැවසේ.

ඒ අනුව තම පෞද්ගලික සමාජජාල ගිණුමක් හෝ වෙනත් ගිණුමක් භාවිතා කරමින් යම් දේශපාලන පක්ෂයක් හෝ අපේක්ෂකයෙකු ප්‍රවර්ධනයට හෝ අගතියට හේතුවන යම් ප්‍රචාරණයක් හෝ ප්‍රකාශයක් සිදු කිරීමද එම වරද යටතටම ගැනෙන බවත් මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා නිකුත් කළ එම චක්ලේඛයේ දක්වා ඇත.

රාජ්‍ය සේවකයන්ට අමතරව මෙම චක්‍රලේඛය සියලු රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල සේවක සේවිකාවන්ටද අදාළ වනු ඇත. 

මෙම චක්‍රලේඛය නිකුත් කර ඇත්තේ සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණය ඉලක්කගතව වන අතර එමඟින් රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවකයන් විසින් පක්ෂ හෝ පුද්ගලයන් ප්‍රවර්ධනය කිරීම හෝ අගතියට පත් කිරීමට කටයුතු කිරීම වළක්වාලීමට කටයුතු කර ඇත. 

මැතිවරණ කොමිෂන් සභාවේ ‘ඉතා වැදගත්‘ යන සිරස්තලයෙන් යුක්තව යොමු කර ඇති චක්‍රලේඛ අංක 5 යටතේ අංක 8 IV හා අංක 17 යටතේ මෙම කරුණු උකහා දක්වා ඇති බව පැවසේ.

එය සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්, සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්, රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රධානීන්, සියලු රාජ්‍ය සංස්ථා ව්‍යවස්ථාපිත මණ්ඩල සභාපති හා සාමාන්‍යාධිකාරිවරුන් ඇතුළු සියලු රාජ්‍ය ප්‍රධානීන් වෙත යොමු කර ඇති මේ චක්‍රලේඛයෙන් සවිස්තරාත්මකව දක්වා ඇත්තේ පෙර මැතිවරණයන්හිදී ලැබුණු පැමිණිලි සම්බන්ධව විධිමත් විමර්ශනයකින් පසුව නව ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි.

පුවත්

සක්විති රණසිංහට සහ බිරිඳට අත්හිටවූ සිරදඬුවම්

Published

on

By

නීතිවිරෝධී මූල්‍ය ආයතනයක් පවත්වාගෙන ගොස් රුපියල් 16ක කෝටි හතළිස් එක් ලක්ෂයකට අධික මුදලක් මහජනතාවගෙන් තැන්පතු ලෙස භාර ගැනීම ඇතුළු චෝදනාවලට වරද පිළිගත් චන්දන වීරකුමාර හෙවත් සක්විති රණසිංහ සහ ඔහුගේ බිරිඳ වූ කුමාරි අනුරාධිනී යන අයට කොළඹ මහාධිකරණය අත්හිටවූ සිරදඬුවම් සහ දඩ නියම කර තිබේ.

එම චෝදනාවලට විත්තිකරුවන් වරද පිළිගැනීමෙන් අනතුරුව එක් එක් විත්තිකරුට බරපතළ වැඩ සහිත වසරක සිරදඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා එම සිරදඬුවම වසර 10කට අත්හිටුවන බවත් නියෝග කළේය.

ඊට අමතරව විත්තිකරුවන්ට රුපියල් 25,000 බැගින් දඩ මුදල්ද නියම වුණි.

දඩ මුදල් ගෙවීමෙන් පසුව විත්තිකරුවන්ගෙන් ඇඟිලි සලකුණු ලබා ගන්නා ලෙසත් ඉන් පසුව ඔවුන් මුදාහරින ලෙසත් විනිසුරුවරයා නියෝග කළේය.

මීට පෙර පැමිණිල්ලේ සහ විත්තියේ මෙන්ම අගතියට පත් පාර්ශවය නීතිඥවරු අතර ඇතිවූ එකඟතාවය මත මෙම විත්තිකරු විසින් තැන්පත්කරුවන්ගෙන් භාරගත් සමස්ත මුදල්වලින් සියයට 60ක් වන නවකෝටි අසූපන් ලක්ෂයකට ආසන්න මුදලක් 2023 වසරේ ජූලි මාසයේ සිට රුපියල් ලක්ෂ පනහ බැගින් වූ මාසික වාරිකවලින් විත්තිකරු ගෙවා අවසන් කර තිබෙන බව ඔවුන්ගේ නීතිඥවරු අධිකරණයට දැනුම් දුන්නේය.

ඉන් අනතුරුව විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ජයන්ත වීරසිංහ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවේ පළමුවන විත්තිකරු වසර නවයක් පමණ රක්ෂිත බන්ධනාගාරගතව සිටි බවත් දෙවන විත්තිකාරිය වසර දෙකක් පමණ බන්ධනාගාරය භාරය පසුව බවත් සඳහන් කළේය.

බන්ධනාගාරයෙන් ඇප ලබා පැමිණීමෙන් පසුව අමතර උපකාරක පන්ති පවත්වා ලැබුණු මුදල්වලින් මෙම ගෙවීම් සිදුකළ බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.

මෙම විත්තිකරුවන්ගේ දරුවන් දෙදෙනා ඉදිරියේදී විවාහ වීමට නියමිතව සිටින බැවින් ඔවුන්ට ලිහිල් දඬුවම් නියම කරන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා අනතුරුව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

Continue Reading

පුවත්

ගම්පහට හෙට පැය 10ක වතුර කප්පාදුවක්

Published

on

By

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයට ජල සැපයුම හෙට (23) පැය 10 ක කාලයක් අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව හෙට පෙරවරු 8.30 සිට පස්වරු 6.30 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවත් පෑලියගොඩ, වත්තල, ජා – ඇල, කටුනායක සීදුව නගර සභා බලප්‍රදේශය, කැලණිය, බියගම, මහර, දොම්පේ, කටාන, මිනුවන්ගොඩ සහ ගම්පහ ප්‍රාදේශීය සභා බලප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බවයි  මණ්ඩලය‍ නිවේදනය කර ඇත.

එබැවින් එම ප්‍රදේශවල පාරිභෝගිකයින්ට අවශ්‍ය ජලය ගබඩා කර තබා ගැනීමට කටයුතු කරන ලෙස ඔවුන් වැඩිදුරටත්  දැනුම් දෙයි.

Continue Reading

පුවත්

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ (සජීවී විකාශය)

Published

on

By

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද (22) පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කර තිබේ.

මැයි මස දෙවැනි රැස්වීම් සතියේ තෙවැනි රැස්වීම් දිනය ලෙස අද (22) පෙ.ව. 9.30ට පාර්ලිමේන්තුව රැස්විය.

අද පෙ.ව 9.30 – පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත.

පෙ.ව 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහාද,

පෙ.ව. 11.00 -11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ.

පෙ.ව 11.30 සිට ‍ප.ව 5.00 දක්වා ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි හා 2023 අංක 34 දරන විසර්ජන පනතේ 8වන වගන්තිය යටතේ යෝජනා සම්මත 10ක් විවාදයට ගැනීමට නියමිතය.

ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා කාලය සභාව කල් තබන අවස්ථාවේ ඉදිරිපත් කරන ප්‍රශ්න වෙන්කර තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved