Connect with us

පුවත්

රජයේ රෝහල්වල දියවැඩියා රෝගීන්ට දෙන ඖෂධවල හිඟයක්!

Published

on

රජයේ රෝහල්වල දියවැඩියා සායනවල වැඩි වශයෙන් භාවිත කරන ඉන්සියුලින් වර්ග තුනක දැඩි හිඟයක් ඇතැයි වාර්තා වේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ස්වස්ථා දත්ත පද්ධතියේ ඊයේ (29), පස්වරු 3 වන විටදී Insulin injection soluble Aspart 30% with Protamine 70% 100U/ml, 3ml pre-filled syring සහ Insulin injection (soluble Insulin) 300 IU in mL Cartridge යන ඉන්සියුලින් වර්ගවල තොග අවසන්ව පැවති බවද පැවසේ.

එම දත්ත පද්ධතියේ එය බිංදුව ලෙස වාර්තා කර තිබිණි.

දිවයිනේ රජයේ රෝහල්වල දියවැඩියා රෝගීන්ට වැඩි වශයෙන් ලබාදෙනු ලබන්නේ මෙම ඉන්සියුලින් වර්ග දෙකයි.

රජයේ රෝහල්වල මෙම ඉන්සියුලින් දෙවර්ගය නොමැතිවීම නිසා ‌පෞද්ගලික ඔසුසල්වලින් ඒවා මිලදී ගැනීමට රෝගීන්ට සිදුවී තිබේ.

මීට අමතරව, isophane insulin Injection (NPH Insulin) derived from human 1000IU in 10mL යන ඉන්සියුලින් වර්ගයේ වෛද්‍ය සැපයුම් අංශයේ තොග ද පවතින්නේ 12,477 ක් බව වාර්තා වේ.

මෙම ඉන්සියුලින් වර්ගය පෞද්ගලික ඔසුසල්වල නොමැති බවත්, Insulin injection soluble Aspart 30% with Protamine 70% 100U/ml,3ml pre-filled syring සහ Insulin injection (soluble Insulin) 300 IU in mL Cartridge යන ඉන්සියුලින් වර්ග දෙක ‌පෞද්ගලික ඔසුසල්වල තිබෙන බවත් පෞද්ගලික ඔසුසල් හිමියන්ගේ සංගමයේ සභාපති චන්දික ගන්කන්ද මහතා කියා සිටී.

මෙරට ජනගහනයෙන් සියයට 14.6 ක් දියවැඩියා රෝගීන් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ දත්ත සඳහන් කරයි.

මෙම තත්ත්වය නිසා මෙරටට වාර්ෂිකව ඉන්සියුලින් මිලියන තුනක පමණ අවශ්‍යතාවක් පවතින අතර, පෞද්ගලික සමාගම් හයක් විසින් එම සැපයුම් සිදු කරන බව වාර්තා වේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (29) පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදී රජයේ රෝහල්වල පවතින ඉන්සියුලින් හිඟය පිළිබඳව මාධ්‍යවේදියකු සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැතිවරයාගෙන් විමසා සිටියේය.

වෛද්‍ය සැපයුම් අංශය විසින් නිතිපතා පවත්වනු ලබන සමාලෝචනයේදී එක්වරකදී ඉන්සියුලින් සම්බන්ධව ගැටලුවක් මතුවූ බවත්, ඊට හේතුව වූයේ සැපයුම්කරු අවශ්‍ය ප්‍රමාණය ලබා නොදීම බවත්, මේ නිසා සමහර රෝගීන්ට ලබාදෙන ඉන්සියුලින් ප්‍රමාණය අඩු කිරීමට සිදුවූ බවත් ඇමැතිවරයා එහිදී කීය.

කෙසේ නමුත්, මෙම මස 12 වැනිදා මාස තුනහමාරකට අවශ්‍ය ඉන්සියුලින් මෙරටට ගෙන්වීමට කටයුතු කළ බවත්, තවත් මාස දෙකකට අවශ්‍ය ඉන්සියුලින් ප්‍රමාණය තවත් සති දෙකක් ඇතුළතදී මෙරටට ගෙන්වීමට කටයුතු කරන බවත් ඔහු කීවේය.

“ඖෂධ සම්බන්ධව ගැටලුවක් තිබෙනවා. අපිට මේකට මුහුණදීමට සිදුවී තිබෙන්නේ මීට පෙරදී කරන ලද ඇණවුම්වල ප්‍රශ්නවලටයි. ඖෂධ ඇණවුම් කළ පමණින්ම ඒවා ලැබෙන්නේ නෑ. සාමාන්‍යයෙන් ටෙන්ඩර් ක්‍රියාවලියට මාස තුනේ සිට හය දක්වා කාලයක් ගතවෙනවා. එම ඖෂධ නිෂ්පාදනයටත් මාස තුනක් හෝ හතරක් ගතවෙනවා. මේ අනුව දළ වශයෙන් මාස 09 ක පමණ කාලයක් ගතවෙනවා’’ යැයිද ඇමැතිවරයා පැවසීය.

මේ අවස්ථාවේදීත් ඖෂධ ලබාගැනීමේ කටයුතු ඉක්මන් කර ගැනීමට රටවල් හතක් සමග සාකච්ඡා කරමින් සිටින බවත්, මෙරට සැපයුම්කරුවන් ඖෂධ ලබා ගන්නේද එම රටවල්වලින් බවත්, සැපයුම්කරුවන් එම කටයුත්ත නිසියාකාරව සිදු නොකරන්නේ නම් රජය රාජ්‍යතාන්ත්‍රික මට්ටමෙන් මැදිහත්ව අදාළ සැපයුම් ලබා ගැනීමට උත්සාහ කරන බවද ඇමැතිවරයා කීවේය.

මාස තුනක් හයත් අතර කාලයකට අවශ්‍ය ඖෂධ ස්වාරක්ෂිත තොගයක් පවත්වාගෙන යාමට සැලසුම් කර තිබෙන බවත්, එවිට ඖෂධ සැපයුම්කරුවන්ට තමන්ට ඇවැසි පරිදි ඖෂධ වෙළෙඳපොළ පාලනය කිරීමට නොහැකිවන බවද ඔහු කීවේය.

ජාතික අවශ්‍යතාව ගැන සිතා පැරණි ලෙස කටයුතු නොකරන ලෙසත්, උපරිම වේගයෙන් ලෙස සැපයුම සිදුකරන ලෙසත්, එසේ නොකළහොත් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් ඖෂධ සැපයීමට කටයුතු කරන බවට ඖෂධ සැපයුම්කරුවන්ට දැනුම් දෙන බවද ඇමැතිවරයා පැවසීය.

පුද්ගලික වෙළෙඳපොළේ තිබෙන ඖෂධ මිලදී ගැනීමට රජයේ රෝහල්වලට අවස්ථාව ලබාදී තිබෙන බවද ඇමැතිවරයා කීවේය.

රජය නම්කර තිබෙන ඖෂධ 862 න් ඕනෑම මොහොතක යම් යම් ඖෂධවල හිඟයක් පැවැතීමට හැකි බවද, වෛද්‍ය සැපයුම් අංශයේ අදාළ ඖෂධ නොමැති වූවත් ප්‍රාදේශීය රෝහල්වල පවතින බවද ඇමැතිවරයා කියා සිටියේය.

කෙසේ නමුත්, රජයේ රෝහල්වල සායනවලට පැමිණෙන දියවැඩියා රෝගීන්ට ඉන්සියුලින් ලබානොදීම හේතුවෙන් ඔවුන්ට පුද්ගලික ඔසුසල්වලින් මිලදී ගැනීමට විශාල මුදලක් වැය කිරීමට සිදුවී තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පැවසීය.

ශ්‍රී ලංකාවේ දියවැඩියා රෝගීන්, ප්‍රවණතා, අධි රුධිර පීඩනය ඇතුළු බෝ නොවන රෝග සම්බන්ධව නවතම ජාතික සමීක්ෂණය මේ වසරේදී පැවැත්වීම සම්බන්ධව සාකච්ඡාවක් ඊයේ (29 වැනිදා) පැවැත්විණි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමිද්ධි සමරකෝන් කියා සිටියේ මේ වසරේ පැවැත්වෙන මෙම සමීක්ෂණය මගින් සොයා ගන්නා තොරතුරු ශ්‍රී ලංකාවේ නව සංවර්ධන ඉලක්ක සකස් කිරීමට හා ඉදිරි සෞඛ්‍ය සේවා ක්‍රියාත්මක කිරීමට බෙහෙවින් උදව් වනු ඇති බවය.

මූලාශ්‍රය – අරුණ

පුවත්

හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක අත්අඩංගුවට

Published

on

By

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, වැල්ලවත්ත – හැව්ලොක් සිටි මහල් නිවාස සංකීර්ණයේ පදිංචි කාන්තාවක ළඟ තිබී රන් ආලේපිත ටී 56 වර්ගයේ ගිනි අවියක් හමුවීමේ සිද්ධිය සම්බන්ධයෙනි.

තිඹිරිගස්යාය ප්‍රදේශයේ පිහිටි නිවාස සංකීර්ණයක සිටියදී පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් හිටපු අමාත්‍යවරයාව අත්අඩංගුවට ගෙන ඇත.

පසුගිය අඟහරුවාදා මෙම ගිනිඅවිය හමුවූ අතර ඒ සම්බන්ධයෙන් මේ වනවිට කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ සම්බන්ධයෙන් සිදුකළ ප්‍රශ්නකිරීම්වලට අදාළව අනාවරණය කරුණු අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

Continue Reading

පුවත්

කොළඹ ප්‍රදේශ රැසකට පැය 12ක ජල කප්පාදුවක්

Published

on

By

අඹතලේ ජල පවිත්‍රාගාරයේ අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් එළැඹෙන 25 වැනිදා (ඉරිදා) පෙ.ව. 8.00 සිට ප.ව. 8.00 දක්වා පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙයි.

මේ හේතුවෙන් කොළඹ නගරය ඇතුළව තදාසන්න ප්‍රදේශ රැසක ජනතාවට සිදුවන අපහසුතාව මගහරවා ගැනීමට අවශ්‍ය ජලය කල්තබා රැස්කර ගන්නා මෙන් ඉල්ලා සිටියි.  

ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ,

  • කොළඹ 1 සිට15 දක්වා,
  • කෝට්ටේ,
  • කඩුවෙල,
  • බත්තරමුල්ල,
  • කොලොන්නාව,
  • කොටිකාවත්ත,
  • මුල්ලේරියාව,
  • IDH,
  • මහරගම,
  • දෙහිවල,
  • ගල්කිස්ස,
  • රත්මලාන සහ මොරටුව

Continue Reading

පුවත්

දයාසිරිගේ හැසිරීම විමර්ශනයට ත්‍රිපුද්ගල කමිටුවක්

Published

on

By

දයාසිරි ජයසේකර මහතාගේ මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් විමර්ශනය කර වාර්තා කිරීම සඳහා කථානායක වික්‍රමරත්න මහතා විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර තිබේ.

අද (23) දිනයට අදාළ පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කරමින් කථානායකවරයා විසින් මේ බව පාර්ලිමේන්තුවට දැනුම් දෙන ලදී.

කථානායකවරයා නිවේදනය කර සිටියේ, ඉකුත් මැයි 20වනදා පාර්ලිමේන්තු සභා ගර්භය තුළදී නීතිඥ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධව ලද පැමිණිලිලක් සැලකිල්ලට ගනිමින් මෙම ත්‍රිපුද්ගල කමිටුව පත්කළ බවය.

ඒ අනුව අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත්කළ මෙම කමිටුවේ සභාපති ලෙස නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර මහත්මිය නම්කර ඇත.

එහි සෙසු සාමාජිකයන් වන්නේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතාය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved