නාගරික සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට රාජ්‍ය ඉඩම් අත්පත් කරගැනීම ඇතුළු අයථා කරුණු සම්බන්ධව තලංගම, මිරිහාන, සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොනු කළ පැමිණිලි 26ක් පිළිබඳව කිසිම විමර්ශනයක් සිදුකර නැතැයි “මගෙන් රටට” සංවිධානයේ සභාපති සංජය මහවත්ත මහතා කියයි.
ඔහු වැඩිදුරටත් මෙසේ කීය.
“රජයට අයිති ඉඩමක් බලහත්කාරයෙන් ඇමති ප්‍රසන්න රණතුංග භුක්තිි විඳිනවා. තවත් චෝදනා රාශියක් ඔහුට තියනවා. මේ චෝදනා ගොනු කළ පසු පොලිසිය ක්‍රියා කළ ආකාරය ගැනයි දැන් අපට ගැටලුව තියෙන්නේ.”
“මේ පැමිණිලි විභාග නොවීම සම්බන්ධව මානව හිමිකම් කොමිසම හමුවේ පැමිණිල්ල ගොනු කළේ ඒ නිසා”
“ඒ පැමිණිල්ල ට අදාලව කොමිසම තලංගම පොලිස් ස්ථානාධිපති, මිරිහාන පොලිස් ස්ථානාධිපති සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක චූදිතයන් කර ඔවුන්ට එරෙහිව නඩුවක් ගොනු කර තිබුණා.”
“අද එහි විභාගයට කැඳෙව්වා. තලංගම පොලිසියෙ ඕඅයිසී විතරයි ආවේ. මිරිහාන පොලිස් ස්ථානාධිපති සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා මානව හිමිකම් කොමිසමට ආවෙ නෑ. ඔවුන්ගේ නොපැමිණිම ගැන කරුණු විමසන්න කොමිසම සූදානම් බව අපට දැනුම් දුන්නා.”
මේ අතර, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් රජයේ ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කරගෙන සිදුකරන දූෂණය සම්බන්ධව වීඩියෝ සාක්ෂි සහිතව රටට හෙළි කළ රන්ජීවි ද සිල්වාට එරෙහිව තලංගම පොලිසිය විසින් ගොනු කළ නඩුවෙන් ඇයව නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය ඊයේ (19) තීන්දු කළේය.
2021 නොවැම්බර් මස තලංගම පොලිසිය විසින් ගොනු කළ එම නඩුව අවුරුද්දයි මාස 10ක් පුරා විභාග වෙමින් තිබිණි.
නිදොස් කොට නිදහස් කළ රන්ජිවි ද සිල්වා ඊයේ මාධ්‍ය ඉදිරියට පැමිණ ප්‍රකාශ කළේ තමන් කිසිම වරදක් නොකළ බවයි.
අදාල නඩුව නාගරික සංවර්ධන ඇමති ප්‍රසන්න රණතුංගගේ අවශ්‍යතාවය මත තලංගම පොලිසිය විසින් ගොනු කර තිබුණේ යැයි ද අධිකරණය තේරුම් ගත් බවය.
ඇය මෙසේද කීවාය.
“ සිද්ධියට සම්බන්ධව තලංගම පොලිිසය මම දාපු කිසිම පැමිණිල්ලකට හෝ ඔවුන් ක්‍රියා කළේ නෑ. ඒත් ඔවුන් මට විරුද්ධව නඩුවක් දැම්මා. මේ වනවිට ප්‍රසන්න රණතුංග රජයේ දේපල අවභාවිතා කරන හොරෙක් කියලා නීත්‍යානුකූළව ඔප්පු වෙලා ඉවරයි. ඒත් තලංගම පොලිසිය කරන්නේ මං වගේ අහිංසක ඇත්ත කතා කරන, නීතියට සාමයට ගරු කරන මිනිස්සුන්ට නඩු දාලා හොරු රකින එක.”
“ මට මේ අගතිය කළ පොලිසියෙ හැමෝටම එරෙහිව නඩු දානවා. නාගරික සංවර්ධන අධිකාරියටත් එරෙහිව නීතිය ඉදිරියට යනවා. අපි එක්ක රැඳී ඉන්න. ප්‍රසන්න රණතුංගට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනතුරු මේ සටන අත්හරින්නෙ නෑ. මොකද ඔහු මේ වනවිට ඉන්න ඕන ඇමති ධූරයක නොවෙයි, හිරේ නිසා.” රන්ජීවි ද සිල්වා කීවාය.