Connect with us

පුවත්

රා ඇතුළු කිතුල්, තල් සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන බාධා ඉවතට

Published

on

රා ඇතුළු කිතුල්, තල් සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන දේශීයව නිෂ්පාදනය කිරීම හා අපනයනය සම්බන්ධයෙන් පැවති බාධා ඉවත් කිරීම සඳහා කඩිනමින් පියවර ගන්නා ලෙස අදාළ නිලධාරීන්ට ජාතික ආර්ථික හා භෞතික සැළසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් උපදෙස් දෙන ලදි.

දීර්ඝ කාලයක සිට රා ඇතුළු කිතුල්, තල් සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන දේශීයව නිෂ්පාදනය කිරීමට, බෙදාහැරීමට හා අපනයනය කිරීමට ගැටලු පැවති බවත් මෙය නිරාකරණය කිරීම මගින් විශාල ආදායමක් රජයට ලබාගත හැකි බවත් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය විසින් මින් පෙර පැවති කමිටු රැස්වීමේදීද පෙන්වා දෙන ලදි.

මේ අනුව මේ සම්බන්ධයෙන් පැවති ගැටළු සාකච්ඡා කර ඒවා විසදීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව, රේගු දෙපාර්තමේන්තුව ඇතුළු අදාළ රාජ්‍ය ආයතන කැඳවා තිබුණි. එහිදී මෙම දෙපාර්තමේන්තු සමග සාකච්ඡා කොට මේ සම්බන්ධයෙන් පැවති බාධා ඉවත් කිරීමට එකඟ වන ලදි.

මේ පිළිබඳව සාකච්ඡා කෙරුණේ ජාතික ආර්ථික හා භෞතික සැළසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (04) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.

එසේම මෙහිදී උතුරු පළාතේ නිෂ්පාදනය කරන තල් රා තොග වශයෙන් දේශීයව සහ විදේශීව බෙදාහැරීමට පැවති බාධා ඉවත් කිරීමට ද එකඟ විය. තවද අපනයනකරුවන්ට පහසුවෙන් සහ ක්‍රමවත්ව කිතුල්, තල් සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනය කිරීමට අවශ්‍ය ක්‍රමවේදයක් සකස් කිරීමට කමිටුව විසින් මෙහිදී උපදෙස් ලබා දෙන ලදි.

කාරක සභාව පෙන්වා දුන්නේ කිතුල්, තල් සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන සඳහා විදේශීයව විශාල වෙළඳපොළක් පවතින බවයි. මේ නිසා මෙම බාධා ඉවත් කිරීම හරහා විශාල ආදායමක් රජයට ඉදිරියේදි ලැබෙණු ඇති බව කමිටුව පෙන්වා දුන්නේය.

තවද තල්, පොල් සහ කිතුල් ආශ්‍රිත නිෂ්පාදන සම්බන්ධයෙන් සියලු යෝජනා ඇතුළත් යෝජනාවලියක් කාරක සභාවට ලබාදෙන ලෙස ද අදාළ නිලධාරීන්ට උපදෙස් දීම මෙහිදී සිදු විය.

මෙම කාරක සභා රැස්වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අශෝක් අබේසිංහ,  හර්ෂණ රාජකරුණා යන මහත්වරු එක්වූහ. එසේම කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය, ශ්‍රී ලංකා රේගුව, සුරාබදු දෙපාර්තමේන්තුව, තල් සංවර්ධන මණ්ඩලය, කිතුල් සංවර්ධන මණ්ඩලය, පොල් සංවර්ධන මණ්ඩලය, පොල් වගාකිරීමේ මණ්ඩලය සහ පොල් පර්යේෂණ ආයතනය නියෝජනය කරමින් නිලධාරීහු පිරිසක් ද සහභාගී වූහ.

පුවත්

රනිල්ගේ ප්‍රකාශය පරීක්ෂණ නොමඟ යැවීමක්

Published

on

By

අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල අද (16) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනු ලැබීය.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී මහත්මිය ඉදිරියේ මෙම පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී, රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාද අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නිලධාරිනිය  අධිකරණය හමුවේ කරුණු දක්වමින් සැකකරු ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී එම පළාත් සභාවට අයත් ස්ථාවර තැන්පතු ගිණුමක මුදල් කල්පිරීමට පෙර ඉවත් කර ගැනීම තුළින් රජයට රුපියල් ලක්ෂ 176කට අධික පාඩුවක් සිදුකර ඇතැයි සඳහන් කරමින් මෙම නඩුකරය ඉදිරිපත් කර තිබෙන බව සඳහන් කළාය.

ඉන් පසුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් මේ ආකාරයෙන් පළාත් සභාවල පවතින ස්ථාවර තැන්පතු කල් පිරීමට පෙර ඉවත් කර ගැනීම සඳහා 2015 වසරේ  තමා අග්‍රාමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ භාණ්ඩාගාරය මගින් චක්‍රලේඛයක් නිකුත් කර තිබූ බවත්, එම චක්‍රලේඛයට අනුව චාමර සම්පත් දසනායක මහතා විසින් කළ ක්‍රියාවක් නීති විරෝධී එකක් නොවන බවත් සඳහන් කර තිබිණි.

නමුත් අදාල චක්‍රලේඛය නිකුත් කර තිබුණේ 2016 වසරේ නොවැම්බර් මස 22 වනදා වුවද, චාමර සම්පත් දසනායක විසින් අදාළ මුදල් ඉවත් කර ගැනීම සිදුකර තිබුණේ 2016 වසරේ පෙබරවාරි මස 29වනදා බවත් එම නිලධාරිනිය  පෙන්වා දුන්නාය.

ඒ අනුව සැකකාර චාමර සම්පත් මහතා විසින් අදාළ මුදල් ඉවත් කරගන්නා අවස්ථාව වන විට රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරන ආකාරයේ චක්‍රලේඛයක් නොතිබූ බවත් එම නිලධාරිනිය පැවසීය.

මෙම කරුණට අදාළව අල්ලස් කොමිසම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැඳවා ප්‍රකාශයක් සටහන් කරගත් බවත් එහිදී වික්‍රමසිංහ මහතා අදාල චක්‍රලේඛය නිකුත් කළ දින වකවානු පිළිබඳව දැනුවත්වීමකින් තොරව මාධ්‍ය වෙත මෙම ප්‍රකාශය සිදුකර ඇති බවට කරුණු අනාවරණය වූ බවත් එම නිලධාරිනිය සඳහන් කළාය.

මෙම සිද්ධියට අදාළ විමර්ශන සිදුකරන නිලධාරියා අධිකරණයට සඳහන් කළේ, හිටපු ජනාධිපතිවරයා විසින් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා සිදුකළ මෙම ක්‍රියාව තුළින් අල්ලස් කොමිසමේ විමර්ශන කටයුතුවලට බලපෑම් සිදුවී ඇති බවය.

සැකකාර චාමර සම්පත් මහතාගේ බිරිඳගේ ඉල්ලීම මත මෙම මාධ්‍ය සාකච්ඡාව තමා පැවැත්වූ බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇති බවත් ඒ අනුව සැකකාර චාමර සම්පත් දසනායක මහතා විමර්ශනවලට බාධා කිරීමක් සිදුකරන බැවින් ඔහුගේ ඇප අවලංගු කොට රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටියේය.

ඒ අනුව මෙම ඉල්ලීම අද දහවල් සලකා බැලීමටද ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය තීන්දු කළේය.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

අනතුරට පත් ඉන්ධන බවුසරයේ ඉන්ධන ලීටර් ගාණක් අතුරුදහන්

Published

on

By

කොළොන්නාවේ සිට වැලිමඩ දක්වා ඩීසල් සහ පෙට්‍රල් ලීටර් 33,000ක් ප්‍රවාහනය කළ පෞද්ගලික අංශයේ බවුසර් රථයක් පෙරළීමෙන් පසුගිය 14 වැනිදා සිදු වූ අනතුරෙන් ඩීසල් සහ පෙට්‍රල් ලීටර් 13,000ක් පමණ අඩු වී ඇති බව වාර්තා වේ.

එම බවුසරයේ පෙට්‍රල් ලීටර් 13,800ක් සහ ඩීසල් ලීටර් 13,200ක් ලෙස ප්‍රවාහනය කරමින් තිබියදී නුවරඑලිය, කිරිමැටිය මාර්ගයේ ක්ලාන්ට්‍රන් වත්ත ප්‍රදේශයේදී මාර්ගය හරහා පෙරළී අනතුරකට ලක්විය.

කෙසේ නමුත්, බවුසරයේ පෙට්‍රල් සහ ඩීසල් කාන්දු වීමත් සමග ප්‍රදේශවාසීන් කාන්දු වෙමින් තිබූ ඉන්ධන, බූලිවලට රැගෙන යන අයුරුද දැකගත හැකිවිය.

බවුසරය අනතුරට පත්වන අවස්ථාවේ පැවති දැඩි අයහපත් කාලගුණ තත්වයක් සමග ඉන්ධන විශාල ප්‍රමාණයක් ඉහළ කොත්මලේ ජලාශයට කාන්දු වී තිබුණි.

අනතුරට පත් බවුසරයේ තිබූ ඉතිරි ඉන්ධන, කොටගල ඛණිජ තෙල් නීතිගත සංස්ථා ගබඩා සංකීර්ණයේ නිලධාරින් වෙනත් බවුසර් රථ යොදාගෙන ඉන්ධන ඉවත් කරගෙන තිබේ.

කෙසේ නමුත්, බවුසරය අනතුරට පත් වූ ස්ථානයට පහළින් වූ තේ වතු ගණනාවක වතු කම්කරුවන් පානීය ජලය ලබා ගන්නා ජල මූලාශ්‍රවලටද ඉන්ධන එක් වී ඇත.

මේ පිළිබඳව නුවරඑලිය දිස්ත්‍රික් ලේකම්වරියගේ නියමයෙන් විමර්ශනයක්ද ආරම්භකර තිබේ.

ඉන්ධන ප්‍රධාන මාර්ගයේ සහ ජල මූලාශ්‍රවලට මුසු වීම හේතුවෙන් විශාල පාරිසරික හානියක් සිදුව ඇති බව සඳහන්ය.

Continue Reading

පුවත්

කෝටි 21ක රත්‍රං සමග දෙදෙනෙකු අත්අඩංගුවට

Published

on

By

රුපියල් කෝටි 21ක් වටිනා රත්‍රං තොගයක්, වාහන අමතර කොටස් තුළ සඟවාගෙන පැමිණි දෙදෙනෙකු කටුනායක ගුවන්තොටුපොළේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ගුවන්තොටුපොළේ ව්‍යාපාරිකයන් සඳහා වූ ‘රක්ත මාවත’ ඔස්සේ මෙම ගමන්කරමින් සිටියදී මෙම ගුවන් මගීන් දෙදෙනා අත්අඩංගුවට පත්ව ඇත.

මොවුන් අතරින් එක් අයෙකු කොළඹ, ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයෙක්ය.

අනෙක් පුද්ගලයා මහනුවර, රඹුක්වැල්ල ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි අයෙක්ය.

ඔවුන් ව්‍යාපාරිකයන්ගේ අවශ්‍යතා මත ගුවන්ගමන් වල නිරත වෙමින් විදේශ රටවලින් විවිධ භාණ්ඩ මෙරටට ගෙනැවිත් දීමේ ක්‍රියාවලියක නිරත වී සිටින්නන් බව අනාවරණය වී ඇත.

මොවුන් දෙදෙනා ඊයේ උදෑසන ඩුබායි සිට පැමිණි ගුවන් යානයකින් ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි.

එහිදී ඔවුන් ගෙන ආ ගමන් මලු තුළ තිබූ කිලෝ 6යි ග්‍රෑම් 700ක් බර මෙම රත්‍රං තොගය, වාහන බෙයාරිං පද්ධති දෙකක් තුළ රන් බිස්කට් 21ක් සහ වාහන සිසිලන පද්ධතියකට අදාල ජල පොම්ප කැබැලි තුළ, ඒ හැඩයට උණු කර සකස් කර තිබූ රන් කුට්ටි කීපයක් ද සඟවාගෙන තිබී ඇත.

ඒ අනුව මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මෙම සැකකරුවන් අද (16) අලුයම ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් වෙත ඔවුන් නීතිවිරෝධී ලෙස රැගෙන ආ රත්‍රං තොගය සමග භාර දී තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved