බෝගවලට හානි කරන වන සතුන් සම්බන්ධ සමීක්ෂණයේ දත්ත සම්බන්ධව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නැවත නැවත සමීක්ෂණය කරමින් අධ්‍යයනය කරමින් සිටින බව නියෝජ්‍ය පරිසර ඇමැති ඇන්ටන් ජයකොඩි මහතා පවසයි.
පරිසර අමාත්‍යාංශය විසින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (09) පවත්වන ලද මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.
බෝගවලට හානි කරන ලද රිළවා, වඳුරා ආදී සතුන් සම්බන්ධව කරන ලද සමීක්ෂණයේ ප්‍රතිඵල ප්‍රමාදවීම සම්බන්ධව මාධ්‍යවේදියකු කරන ලද විමසීමේදී නියෝජ්‍ය ඇමැතිවරයා මේ බව කියා සිටියේය.
සමීක්ෂණයකදී ලැබෙන දත්තවල නිවැරදිතාව සම්බන්ධව නැවත නැවත පරීක්ෂා කිරීමට සිදුවන බවද ඔහු පැවසීය.
මාධ්‍යවේදියා – ඒ කියන්නේ නැවත වරක් ප්‍රාදේශීය වශයෙන් නැවත සමීක්ෂණයක් සිදුවෙනවාද?
නියෝජ්‍ය ඇමැතිවරයා – කෘෂිකර්ම දෙපාර්තමේන්තුව බලාපොරොත්තු නොවූ දත්ත මෙහි තිබෙනවා. ඒ දත්තය පිළිබඳව පසු විපරමක් කරන්න සිදුවෙනවා.
මාධ්‍යවේදියා – නැවතත් ගෙවල්වලට ගිහින් ගස්වල ඉන්න වඳුරෝ ප්‍රායෝගිකව ගණන් කරනවාද?
නියෝජ්‍ය ඇමැතිවරයා – නැවත සමීක්ෂණයක් නොවෙයි සිදුවන්නේ. නැවත මෙවැනි සමීක්ෂණ කීපයක් කළොත් ඉතා හොඳයි කියලා මම පුද්ගලිකව හිතනවා. ස්ථානීය පරීක්ෂණයක් සිදුවෙන්නේ නෑ.
මාධ්‍යවේදියා – මුලින් සැලසුම් කළා මේ රිළවු වික්ටෝරියා ප්‍රදේශයේ දූපතකට ගිහින් දානවා කියලා. අද උදෑසන වාර්තාවක් පළවෙනවා මාතලේ ප්‍රදේශයේ හෙක්ටයාර් 150ක භූමි ප්‍රදේශයක් වෙන්කළා කියලා. මොකක්ද අලුත්ම තත්ත්වය. ඔබතුමා දැනුවත්ද?
මෙහිදී අදහස් දැක්වූ පරිසර ඇමැති වෛද්‍ය ධම්මික පටබැඳි මහතා,
“වනජීවීන්ගෙන් වගාවන්ට සිදුවන හානි වැළැක්විය යුතුයි. රජයක් ලෙස ඊට අදාළ ක්‍රියාමාර්ග තේරිය යුතුයි. තවමත් මේකයි නිශ්චිත ක්‍රියාමාර්ගය බවට තේරීමක් සිදුවෙලා නෑ. එවැනි ක්‍රියාමාර්ගයක අවශ්‍යතාව තියෙනවා. අපිට මෙහිදී කිසියම් අදහසක් තිබිය යුතුයි.
ඒ අදහස ලබාගන්න තමයි සමීක්ෂණයක් සිදුකළේ. මෙම සමීක්ෂණය පහසු දෙයක් නොවෙයි. මෙවැනි සමීක්ෂණයකදී අඩුපාඩු සිදුවන්න පුළුවන්. මෙහි ප්‍රතිඵල ඉදිරිපත් කිරීමේදී පරස්පරතා ගැන සොයා බැලිය යුතුයි. ඊට කාලය ගන්න වෙනවා.
කෑගල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී මට්ටමෙන් වගා ආරක්ෂණ කමිටු පිහිටුවා තිබෙනවා. ඒ අනුව, වන සතුන්ගෙන් සිදුවන හානි සම්බන්ධව ගන්නා පියවර එක් එක් ග්‍රාම නිලධාරී කොට්ඨාස මට්ටමින් තීරණය කරනවා. මේ වැඩපිළිවෙළ සියයට 40ක් පමණ සාර්ථකයි. සතුන් කූඩු කරලා දූපතකට දැමීම තවත් දිස්ත්‍රික්කයක ගත් තීරණයක්. යම් වැඩපිළිවෙළක් අසාර්ථක වුණොත් අපිට තියෙන්නේ ඒක සම්බන්ධව සොයා බලා වෙනත් ක්‍රියා මාර්ගයකට යාමයි. මීට පෙරදී මාතලේ දිස්ත්‍රික්කයේ රිළවුන් වඳ සැත්කම්වලට ලක් කරන්න තීරණය කළා. නමුත්, වෛද්‍යවරුන් සහ පහසුකම් ප්‍රමාණවත් නොවීම නිසා එය සාර්ථක වූයේ නෑ. මේ වන සතුන්ගෙන් සිදුවන හානිවලට අපි ක්‍රියාමාර්ග තෝරනවා. අපි කලින් නොදන්නා හේතු නිසා ඒවා අසාර්ථක වෙන්න පුළුවන්’
මූලාශ්‍රය – අරුණ