රෙදි ආනයනය කරන බවට රේගුවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර මැලේසියාවේ සිට ආනයනය කරන ලද රුපියල් කෝටි 15ක් වටිනා නිමි ඇඳුම් සහිත බහාලුම් හතරක් රේගු ආදායම් අධීක්ෂණ අංශය සිය භාරයට ගෙන ඇත.
මැලේසියාවේ සිට ආනයනය කරන ලද අඩි 40ක් දිගැති බහාලුම් හතරක මෙම නිමි ඇඳුම් තොගය බහා තිබියදී රේගු භාරයට ගෙන ඇත.
රෙදි ආනයනය කරන බවට රේගුවට ලේඛන ඉදිරිපත්කර මෙම බහාලුම් මෙරටට ආනයනය කරනු ලැබූවද,එම බහාලුම් සම්බන්ධව රේගු නිලධාරීන්ට ඇතිවූ සැකය මත ඒවා රඳවාගෙන පරීක්ෂා කිරීමට කටයුතු කෙරිනි. මෙම බහාලුම් ආනයනකරුවන් තිදෙනෙකු විසින් ආනයනය කර තිබූ අතර, ඊට රේගු සටහන්කර හතරක් ඉදිරිපත් කර තිබුණි.
මෙම ආනයනකරුවන් පානදුර, වත්තල සහ කොළඹ 10 යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය. රේගු ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරීන් මෙම බහාලුම් සම්බන්ධයෙන් සොයා බැලීමේදී එක් බහාලුමක නිමි ඇදුම් 33,000 සිට 44,000 දක්වා වූ ප්‍රමාණයක් ගොඩගසා තිබූ අතර, බහාලුම් හතරේම නිමි ඇදුම් 160,000ක තොගයක් රේගු නිලධාරීන් සොයා ගන්නා ලදී.
මෙම බහාලුම්වල තිබූ භාණ්ඩවල සම්පූර්ණ වටිනාකම රුපියල් කෝටි 15ක් බව රේගු නිලධාරීන් අනාවරණය කරගෙන තිබේ.
මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදුකෙරෙන බව රේගු ආදායම් අධික්ෂණ අංශයේ ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්ෂ ඩී.බී.එන්. සමරතුංග පැවසීය.
රේගු භාරයට ගත් මෙම නිමි ඇඳුම් තොගය මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය සහ රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා නිරීක්ෂණය කළේය.