Connect with us

පුවත්

ලංකාවට ඇතුළු වෙන්න කටුනායක යකා නැටූ චීනා !

Published

on

කූඨ ලෙස සකස් කළ ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයකින් ශ්‍රී ලංකාවට ඇතුළු වීමට තැත් කළ චීන ජාතිකයෙකු අද (19) අලුයම අත් අඩංගුවට ගෙන ආපසු ඩුබායි වෙත යැවීමට ආගමන විගමන නිලධාරීන් කටයුතු කර තිබේ.

කෙසේවුවද, මෙම චීන ජාතිකයා නැවත යැවීමට ආගමන විගමන නිලධාරීන් ඇතුළු ගුවන් තොටුපල ආරක්ෂකයින්ට විශාල වෙහෙසක් දැරීමට සිදුව ඇත.

ඒ් අදාළ චීන ජාතිකයා සහ ඔහුගේ මිතුරන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තය තුළ කළහකාරී ලෙස හැසිරීම නිසාය.

ව්‍යාපාරිකයන් බව පවසමින් චීන ජාතිකයන් දෙදෙනෙකු සහ එක් ඊජිප්තු ජාතිකයෙකු ඊයේ (18) රාත්‍රී 09.50 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 648 දරන ගුවන් යානයේ ව්‍යාපාරික පංතියේ ආසන පහසුකම් යටතේ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

මොවුන් තිදෙනා මෙරටට ඇතුළු වීම සදහා සිය නිශ්කාශන කටයුතු කර ගැනීම සදහා ආගමන විගමන කවුළුව වෙත පැමිණ ඇත්තේ පැය දෙකකට පමණ පසුවය.

මේ අතර සිටි මෙම කණ්ඩායමේ නායක චීන ජාතිකයා කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ සේවය කළ ආගමන විගමන නිලධාරීවරයා වෙත අප්‍රිකාවේ ගිනි රාජ්‍යයේ ගුවන් ගමන් බලපත්‍රයක් ඉදිරිපත් කර තිබේ.

ඒ පිළිබඳව හට ගත් සැකය මත මෙම ගුවන් ගමන් බලපත්‍රය සහ ඔහුගේ අනෙකුත් ලියකියවිලි , කටුනායක ගුවන් තොටුපළ පරිශ්‍රයේ ඇති දේශසීමා ආවේක්ෂණ ඒකකය වෙත ඉදිරිපත් කිරීමට , එහි සේවය කළ ප්‍රධාන ආගමන විගමන නිලධාරීවරයා පියවර ගෙන තිබේ.

එහිදී මෙම ගුවන් ගමන් බලපත්‍රය අප්‍රිකාවේ ගිනි රාජ්‍යයේ පුද්ගලයෙකුගෙන් සොරා ගෙන, එහි ජීව දත්ත පිටුව වෙනස් කර , කූඨ ලෙස සකස් කළ ගුවන් ගමන් බලපත්‍රයක් බවට කරුණු අනාවරණය වී තිබේ.

පසුව ඔහුගෙන් දීර්ඝ ලෙස මේ පිළිබඳව කරුණු විමසා සිටියදී, ඔහුගේ සැබෑ චීන ජාතික ගුවන් ගමන් බලපත්‍රය සොයා ගෙන, ඔහු චීන ජාතිකයෙකු බව සනාථ කර ගෙන තිබේ.

එහෙත් මෙම චීන ජාතිකයා ශ්‍රී ලංකාවට පැමිණීම සදහා ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ඉදිරිපත් කර ඇත්තේ ද, මෙසේ කූඨ ලෙස සකස් කළ ගිනි රාජ්‍යයේ ගුවන් ගමන් බලපත්‍රයෙන් බව, එය නිරීක්ෂණය කිරීමෙන් තහවුරු වී තිබේ.

ඉන්පසුව මෙම චීන ජාතිකයා ආපසු ඩුබායි වෙත රැගෙන යාම සදහා එමිරේට්ස් ගුවන් සේවය වෙත භාර දීම සදහා කටයුතු කිරීමේදී, එසේ නොකරන ලෙස බල කරමින්, බලපෑම් සහගත දුරකථන ඇමතුම් රාශියක් කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන කාර්යාලය වෙත ලැබී තිබූ බවද වාර්තා වේ.

එහෙත් ඒවා නොසළකා මොහු ආපසු යැවීමට පියවර ගැනීමත් සමග, මොහු සිය මිතුරන් දෙදෙනා ද සමග, ගුවන් තොටුපළ ආගමන විගමන පරිශ්‍රයේ කළහකාරී ලෙස හැසිරීමට පටන් ගෙන ඇති අතර, ඒවා පාලනය කර ගැනීමට ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන්ගේ සහාය ද ලබා ගැනීමට ආගමන විගමන නිලධාරීන් කටයුතු කළ බවද පැවසේ.

මෙහිදී එක් චීන ජාතිකයෙකු ආරක්ෂක නිලධාරීන්ගෙන් මිදී ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ වැසිකිළියක් තුළ සැගවී සිටීමට ද ක්‍රියා කර තිබුණි.

එසේම මොවුන් තිදෙනා තමන්ට ශ්‍රී ලංකාව තුළට පිවිසීම සදහා අවස්ථාව ලබා දෙන ලෙස ඉල්ලමින් අල්ලස් ලබා දීමට ද කීප වරක්ම උත්සාහ කර තිබුණි.

මොවුන් පාලනය කර ගැනීමෙන් පසුව ආගමන විගමන නිලධාරීන් විසින්, එමිරේට්ස් ගුවන් සේවා නිලධාරීන් වෙත භාර දීමට පියවර ගත් අවස්ථාවේ ඔවුන් යළිත් දැඩි ලෙස කළහකාරී ලෙස හැසිරී ඇත.

ඉන්පසුව ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන්, ආගමන විගමන නිලධාරීන් සහ එමිරේට්ස් ගුවන් සේවා නිලධාරීන්  මහත් වෙහෙසක් දරා මොවුන් පාලනය කර ගනිමින් අද (19) උදෑසන යළිත් ඩුබායි වෙත කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව යාමට නියමිත එමිරේට්ස් ගුවන් යානය පැමිණෙන තෙක්, එම ගුවන් සේවා රැදවුම් කුටියේ මොවුන් තිදෙනා රදවා තැබීමට පියවර ගෙන තිබේ.

මොවුන් තිදෙනා අත් අඩංගුවට ගැනීම සහ ආපසු ඩුබායි වෙත හරවා යැවීම ආගමන විගමන පාළක ජනරාල් හර්ෂ ඉලුප්පිටිය සහ ආගමන විගමන නියෝජ්‍ය පාළක ( තොටුපළ ) ජයන්ත රත්නායක යන මහත්වරුන්ගේ උපදෙස් මත කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ සේවයේ නිරත ප්‍රධාන ආගමන විගමන නිලධාරීන් වන ඒ.එස්.ජී.සුසිල් සහ කේ.ඩී.ශ්‍රියාරත්න යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ ආගමන විගමන නිලධාරී සී.ඒ.බී. කුළතුංග මහතා පියවර ගෙන තිබුණි.

මූලාශ්‍රය – අද

පුවත්

‘හරක් කටා’ කට අරී (වීඩියෝ)

Published

on

By

තමාව තංගල්ල ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරයේ රඳවා තබාගෙන සිටින්නේ, හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සහ අනිවාර්‍යය රාජකාරි නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන අයවලුන් හට රුපියල් කෝටි 30ක් නොදුන් නිසාවෙන් බව හරක්කටා හෙවත් නදුන් චින්තක පවසයි.

අපරාධ කල්ලි සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස හඳුන්වන හරක්කටා හෙවත් නදුන් චින්තක විසින් අද (14) මාධ්‍ය හමුවේ මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශය සිදු කර තිබේ,

අද (14)  දින පැවති නඩු විභාගයකින් පසු කොළඹ අධිකරණ සංකීර්ණයෙන් පොලිසිය විසින් රැගෙන යන අතරතුර  “කියන්න ගොඩක් දේවල් තියෙනවා. මම ඒවා එහෙනම් හෙළි කරන්නම්,” ලෙස ඔහු නැවත බන්ධනාගාරයට ගෙනයෑමට පෙර වාර්තාකරුවන්ට පැවසීය.

ඔහු තවදුරටත් කියා සිටියේ තංගල්ලේ රඳවා තබාගැනීම සඳහා මසකට රුපියල් මිලියන 10ක් වැය වන බවය.
2023 මාර්තු මාසයේදී හරක් කටා සහ සලිඳු මල්ෂිකා හෙවත් කුඩු සලිඳු මැඩගස්කරයේ සිට ශ්‍රී ලංකාවට රැගෙන එන ලද්දේ CID කණ්ඩායමක් විසිනි.

එතැන් සිට ඔහු ත්‍රස්ත විමර්ශන අංශයේ (TID) භාරයේ තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා ඇත.

වීඩියෝ – News Center 

Continue Reading

පුවත්

කැනඩාවේ ජනසංහාර ස්මාරකයට රජයේ විරෝධය

Published

on

By

ශ්‍රී ලංකා රජය, පදනම් විරහිත ජන සංහාර චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන අතර කැනඩාවේ දෙමළ ජනසංහාර ස්මාරකය ඉදිකිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කර සිටී.

විශේෂ නිවේදනයක් මගින් මෙරට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය විසින් අද  (14) දින මේ බව කියා සිටින අතර එමගින් මෙසේද සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාවේ පැවැති යුධ ගැටුම්වල අවසාන අදියරේදී ජන සංහාරයක් සිදු කළ බවට එල්ල වන චෝදනාව ජාතික හෝ ජාත්‍යන්තර වශයෙන් කිසිදු විශ්වසනීය අධිකාරියක් විසින් සනාථ නො‍කරන ලද බවත් එය නොමඟ යවන තොරතුරු මත පදනම් වූවක් බවත් ශ්‍රී ලංකා රජය පවසයි. ශ්‍රී ලංකාව මෙම අසත්‍ය ආඛ්‍යානය තරයේ ප්‍රතික්ෂේප කරන අතර එය ප්‍රධාන වශයෙන් කැනඩාව තුළ මැතිවරණ වාසි ලබා ගැනීම සඳහා ප්‍රචාරය කර ඇති බවට විශ්වාස කරයි.

ශ්‍රී ලංකාවේ ජන සංහාරයක් සිදු කළ බවට කිසිදු අනාවරණය කර ගැනීමක් කැනඩා රජය විසින් සිදු කර නොමැති බව 2021 වසරේ අප්‍රේල් මාසයේදී කැනඩාවේ විදේශ කටයුතු, වෙළෙඳ හා සංවර්ධන දෙපාර්තමේන්තුව නිල වශයෙන් තහවුරු කළේය.  ඊට අමතරව, කැනඩාව විසින් 2006 වසරේදී දෙමළ ඊළාම් විමුක්ති කොටි, ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කරනු ලැබූ අතර 2024 වසරේ ජුනි මාසයේදී මෙම නාමය නැවත තහවුරු කරන ලදී.

කැනඩාවේ බ්‍රැම්ප්ටන් නුවර චින්ගුඅකවුසි උද්‍යානයේ ඊනියා දෙමළ ජන සංහාර ස්මාරකයක් ඉදිකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය පුන පුනා දැඩි විරෝධතා පළ කර ඇත. බ්‍රැම්ප්ටන් නගර සභාවේ මෙම කණගාටුදායක මුලපිරීම වැළැක්වීමට මැදිහත් වන ලෙස කැනඩා ෆෙඩරල් රජයෙන් නිරන්තරයෙන් ඉල්ලීම් සිදු කරනු ලැබිණි.

මෙම ඉදිකිරීම, පුළුල් ශ්‍රී ලාංකික සහ කැනේඩියානු ප්‍රජාවන්ට අහිතකර බලපෑමක් ඇතිකරන්නක් බවට ශ්‍රී ලංකාව සලකයි. එවැනි පදනම් විරහිත චෝදනා ප්‍රචාරය කිරීම සහ අසත්‍ය මත පදනම් වූ ස්මාරක ඉදිකිරීම මහජනතාව නොමඟ යැවීම පමණක් නොව, සියලු ප්‍රජාවන් අතර සංහිඳියාව, ජාතික සමගිය සහ චිරස්ථායී සාමය සඳහා ගනු ලබන ශ්‍රී ලංකාවේ සැබෑ ප්‍රයත්නයන්ට බාධාවක් වන බව ශ්‍රී ලංකාව තරයේ විශ්වාස කරයි.

මේ සම්බන්ධයෙන්, විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා අද කැනේඩියානු මහ කොමසාරිස්වරයා හමුවී, පදනම් විරහිත ජන සංහාර චෝදනා සහ එවැනි ස්මාරකයක් ඉදිකිරීමට අනුමැතිය දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ දැඩි විරෝධතාවය නැවත අවධාරණය කළේය. මෙවන් ක්‍රියා හේතුවෙන් සංහිඳියාව සහ ජාතික සමගිය සඳහා වූ රජයේ ප්‍රයත්න සංකීර්ණභාවයට පත්වන අතර, හෑල්ලුවට ද ලක්වේ.

 විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය

Continue Reading

පුවත්

ලිට්‍රෝ සමාගමෙන් නිවේදනයක් (UPDATE)

Published

on

By

ලිට්‍රෝ ගෑස් කෙරවළපිටිය පිරවුම් සංකීර්ණයේ මෑන්පවර් සේවක  කණ්ඩායමක් අතර අද (14) ඇතිවූ සේවක ඉල්ලීම් සම්බන්ධ නොසන්සුන්තාව මේ වනවිට සමථයකට පත්ව තිබේ.

ඒ අනුව ලිට්‍රෝ ගෑස් පිරවීමට හෝ බෙදාහැරීමට කිසිදු ආකාරයේ බලපෑමක් සිදුනොවන බවත්, සේවාවන් සාමාන්‍ය ලෙස සිදුවන බවත් නිවේදනයක් නිකුත්කරමින් ලිට්‍රෝ ගෑස් සමාගම දන්වා සිටියි.

වසර ගණනාවක් පුරා තම වැටුප් ඉහළ නොදැමූ බවත්, රජය විසින් නියමකළ අවම වැටුප හෝ ලබානොදුන් බවටත් චෝදනා කරමින් 250කට ආසන්න මෑන්පවර් කම්කරුවන් පිරිසක් විසින් මෙම වැඩවර්ජනය ආරම්භ කර තිබුණි.

එහිදී ඔවුන් විසින් වැඩිදුරටත් පවසා සිටියේ, රජය විසින් නියමකළ වැටුප ලබාදෙන බවට ලිඛිත පොරොන්දුවක් ලබාදෙන තෙක් තමන් වැඩවර්ජනය අවසන් නොකරන බවය.


(පෙර පුවත 2025 මැයි 14 ප.ව.12.46 )

ලිට්‍රෝ සේවක වර්ජනක්

මුතුරාජවෙල ලිට්‍රෝ ගෑස් පර්යන්තයේ 250කට ආසන්න මෑන්පවර් කම්කරුවන් පිරිසක් වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.

ඒ වසර ගණනාවක් පුරා තම වැටුප් ඉහළ නොදැමූ බවටත්, රජය විසින් නියම කළ අවම වැටුප හෝ ලබා නොදුන් බවටත් චෝදනා කරමිනි.

රජය විසින් නියම කළ වැටුප ලබාදෙන බවට ලිඛිත පොරොන්දුවක් දෙනතෙක් තමන් වැඩවර්ජනය අවසන් නොකරන බව එම සේවකයින් පවසයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved