Connect with us

පුවත්

ලබන වසරේ ලංවිමට බෝනස් නෑ!

Published

on

2024 වසරේ විදුලි බල මණ්ඩලයේ සේවකයන්ට ප්‍රසාද දීමනා සහ ලබානොගත් නිවාඩු සඳහා වන දීමනා නොගෙවන බව විදුලි බල සහ බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පවසයි.

පසුගිය 14දා විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිති 35ක නියෝජිතයන් සමඟ පැවැත්වූ සාකච්ඡාවක් අතරතුර කංචන විජේසේකර අමාත්‍යවරයා මේ බව පවසා ඇත.

එහිදී විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ ගැනද ඇමැතිවරයා වෘත්තිය සමිති නියෝජිතයන් සමඟ සාකච්ඡා කර තිබේ.

කෙසේවෙතත් වෘත්තීය සමිති නියෝජිතයන් පෙන්වා දෙන්නේ මෙම සාකච්ඡාව අසාර්ථක වූ බවය.

විදුලි බල මණ්ඩලය සතුව මුදල් නොමැති බැවින් බෝනස් ලබාදීමට තබා දැන් සිදුව ඇත්තේ මණ්ඩලයේ සේවකයන්ගේ වැටුපෙන් මණ්ඩලයට ශත පනහක් හෝ අය කරගැනීමට බවද මෙහිදී ඇමැතිවරයා කියා තිබේ.

එවිට වෘත්තීය සමිති නියෝජිතයන් පවසා ඇත්තේ විදුලි බල මණ්ඩලයේ මුදල් නොමැති වී ඇත්තේ සේවකයන්ගේ වරදකින් නිසා නොව අදාළ වගකිව යුතු බලධාරීන්ගේ ක්‍රියාවන් නිසා බවය.

මෙහිදී ඇමැතිවරයා පවසා ඇත්තේ එළැඹෙන 24දා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලයට යොමු කර අනුමැතිය ලබාගන්නා බවය.

මේ අතර විදුලි බල අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ ඇමැති කංචන විජේසේකර මහතා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති නියෝජිතයන් සමඟ යෝජිත ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙලේ ප්‍රගතිය, නව විදුලිබල පනතේ ආකෘතිය, ප්‍රතිව්‍යුහගත ක්‍රියාවලියට අදාළ නියමයන් ක්‍රියාත්මක කරන කාල රාමුව, මානව සම්පත් විගණනය සහ සේවකයන් අනුයුක්ත කිරීමේ ක්‍රමවේදය, විශ්‍රාම වැටුප් සහ සේවක වරප්‍රසාද පිළිබඳව අනුගමනය කරන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බවය.

එමෙන්ම එම නිවේදනය මඟින් වැඩිදුරටත් දැක්වෙන්නේ සංවර්ධන නියෝජිත ආයතන මෙම ක්‍රියාවලියට ලබා දී ඇති සහය, විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ කාර්යාංශය පිහිටුවීම සහ යෝජිත නව සමාගමේ ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් ද ඇමැතිවරයා මෙහිදී ඔවුන් දැනුවත් කර තිබෙන බවය.

(මූලාශ්‍රය  : අරුණ)

පුවත්

පළාත් කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි

Published

on

By

අද (23) බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එමෙන්ම ඌව පළාතෙත් අම්පාර, මඩකළපුව සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර, දිවයිනේ සෙසු ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇති විය හැකිය.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු- මැද, වයඹ සහ දකුණු පළාත්වලත්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Continue Reading

ඡායාරූප සටහන

නල්ලූර් කෝවිල සමීපයේ ඉදිකළ Barista අවන්හලට ප්‍රදේශවාසීන්ගෙන් විරෝධය (ඡායා)

Published

on

By

යාපනය නල්ලුර් කන්දසාමි කෝවිලට සමීපව යාපනය, පේදුරුතුඩුව මාර්ගයේ අලුතින් ස්ථාපිත කරණ ලද බැරිස්ටා (Barista) අවන්හලේ නාම පුවරුව ගලවා යාපනය මහනගර සභාව විසින් ඉවත් කර තිබේ.

පෙරේදා (22) අලුයම් කාලයේදී මේ දැන්වීම් පුවරුව ඉවත් කර ඇති අතර ඒ එම අවන්හලට ප්‍රදේශවාසීන්ගෙන් එල්ල වු දැඩි විරෝධතාව නිසා බව පැවසේ.

නිසි ආකාරයෙන් බලපත්‍රයක් ලබා ගන්නා ලෙස දැනුම් දෙමින් යාපනය මහ නගර සභාව විසින් නාම පුවරුව ඉවත් කර ඇතැයි ද පැවසේ.

මෙම බැරිස්ටා නව ශාඛාව විවෘත කර ඇත්තේ යාපනය මහ නගර සභාව ඉදිරිපිටමබවද පැවසේ.

දිලුප පතිරණ ප්‍රධාන විධායක නිලධාරි සහ අධ්‍යක්ෂ ධුරය දරන බැරිස්ටා කොෆි ලංකා පුද්ගලික සමාගමේ ශ්‍රී ලංකාව තුළ  ශාඛා 60 ක් මේ වන විට පවතින අතර ජනතා විරෝධය එල්ල වු පේදුරුතුඩුව මාර්ගයේ නව ශාඛාවට අමතරව යාපනය රෝහල පාරේද ඔවුන්ගේ කෝපි හලක් තිබේ.

යාපනය නල්ලුර් ශිව ගුරු ආශ්‍රමයේ තවතිරු වේලන් ස්වාමි හා යාපනයේ නිර්මාංශික ශිව භක්තිකයන් මැයි 20 වැනිදා දැවැන්ත විරෝධයක් දියත් කරමින් බල කර තිබුනේ යාපනය නල්ලුර් කෝවිලට සමීපව යාපනය පේදුරුතුඩුව මාර්ගයේ ස්ථාපිත කර තිබෙන බැරිස්ටා කෝපිහල වහාම එම ස්ථානයෙන් ඉවත් කරන ලෙසයි.

නල්ලූර් කෝවිල ඉදිරිපිටින් මැයි 20 වැනිදා විරෝධතා පෙලපාලියක් ආරම්භ කළ නිර්මාංශික හින්දු භක්තිකයන් යාපනය මහ නගර සභාව දක්වා ගොස් මෙම අවන්හල වහාම ඉවත් කරන ලෙස ඉල්ලා තිබු අතර මැයි 21 වැනිදා අත්සන් සියගණනක් සහිත ලිපියක් මහ නගර සභාවේ කොමසාරිස්වරයාට බාර දෙමින් ඔවුන් යළිත් එම ඉල්ලීම සිදු කර තිබේ.

යාපනය නල්ලුර් ශිව ගුරු ආශ්‍රමයේ තවතිරු වේලන් ස්වාමි පවසන්නේ මෙම අවහන්හල වාර්ගික සහ ආගමික සහජීවනයට බාධාවක් බවයි.

“නල්ලූර් භුමියේ අවසරයකින් තොරව නීති විරෝධී ලෙස පිහිටුවා ඇති මෙම නිර්මාංශ නොවන අවන්හල වසා දමන ලෙස ඉල්ලා අපි මහ නගර සභාවේ කොමසාරිස්වරයාට ලිපියක් ඉදිරිපත් කරා. දකුනේ බහුජාතික මාංශ අවන්හලක ශාඛාවක් පිහිටුවීමෙන් වාර්ගික සහජීවනය සහ ආගමික සහජීවනයට බාධා කරන අසාධාරණ ක්‍රියාවක් සිදු කර ඇති බව නල්ලූර් ප්‍රජාව විදිහට අපි දකිනවා.”

විරෝධතාකරුවන්  මහ නගර සභාවේ කොමසාරිස්වරයාට බාර දුන් ලිපියේ පිටපත් උතුරු පළාත් ආණ්ඩුකාර, දිස්ත්‍රික් ලේකම්, නල්ලුර් ප්‍රාදේශිය සභාවේ ලේකම් හා හින්දු සංස්කෘතික දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වරයාටද යොමු කර ඇති බව පැවසේ.

ශ්‍රී ලංකාවේ විශාලතම කෝපි අවන්හල්  ජාලයකට හිමිකම් කියන බැරිස්ටා සමාගමේ දෙවැනි ශාඛාව යාපනයේ විවෘත කර ඇත්තේ  මැයි 9 වැනිදායි.

ඔවුන් එම අවන්හල එම ස්ථානයේ ආරම්භ කර ඇත්තේ යාපනය මහ නගර සභාවේ හෝ නිසි අවසරයක් නොමැති බවට ප්‍රදේශවාසී ජනතාව චෝදනා කරයි.

අවන්හල වහාම එම ස්ථානයෙන් ඉවත් කර ගන්නා ලෙස යාපනය මහ නගර සභාවේ බලධාරීන් එම අවන්හලේ කළමණාකාරීන්ට මැයි 13 වැනිදා වාචිකව දැනුම් දී ඇති බව පවසන යාපනය නල්ලුර් ශිව ගුරු ආශ්‍රමයේ තවතිරු වේලන් ස්වාමි සදහන් කරන්නේ තමන්ද එදිනම එම ඉල්ලීම එම ආයතනයේ බලධාරීන්ට විද්‍යුත් තැපැල මගින් යොමු කළ බවයි.

පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ යාපනය නල්ලුර් කෝවිලට මීටර 400 ක් පමණ ඇතින් මෙම අවන්හල ස්ථාපිත කර ඇති අතර එම භුමිය කෝවිලේ ශුද්ධ භුමියට ඇතුලත් බවයි.

Continue Reading

පුවත්

තැපැල් පෙට්ටිය මාලිමාවට හැරෙයි

Published

on

By

කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීමට ජාතික ජන බලවේගයට සහාය ලබාදීමට තැපැල් පෙට්ටිය ලකුණින් තරගකළ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය තීරණය කර තිබේ.

එම පක්ෂයේ ඊයේ (22) රැස්වූ විධායක සභාව මෙම තීරණය ගත් බව පක්ෂ නායක ප්‍රභා ගනේෂන් මහතා පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හෙතෙම පවසා සිටියේ, විපක්ෂනායකවරයා මෙන්ම ජනාධිපතිවරයාද තම පක්ෂයට ආරාධනා කර තිබූ බවයි.

කෙසේනමුත් කොළඹ මහ නගර සභාව තුළ සිටින ජනතාවට සේවය කිරීමට තම පක්ෂයට අවශ්‍ය බවත්, ඒ හේතුවෙන් වත්මන් ආණ්ඩුව සමග එක්ව එම කටයුතු ඉදිරියට සිදුකරගෙන යාමේ සිය සහයෝගය ලබාදීමට තීරණය කළ හෙතෙම පැවසීය

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved