Connect with us

පුවත්

ලෝක රාජ්‍ය සමුළුව ඇමතූ ජනපති යළි දිවයිනට

Published

on

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙදින නිල සංචාරයක් සඳහා පිටත්ව ගොස් සිටි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (13) උදෑසන දිවයිනට පැමිණියේය.

ඩුබායි හි පැවැත්වූ 2025 ලෝක රාජ්‍ය සමුළුව ඇමතූ ජනපතිවරයා, මෙම සංචාරයේදී රටවල් කිහිපයක රාජ්‍ය නායකයින් සහ ආණ්ඩුවල ප්‍රධානීන් සමඟද ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ලැබීය.

ඊයේ (12) දින  2025 ලෝක රාජ්‍ය සමුළුව අමතමින් ජනපතිවරයා පවසා සිටියේ ගෝලීය දේශගුණික ගැටලු දුප්පත් හෝ පොහොසක් භේදයකින් තොරව සැමගේ දොරටුවලට තට්ටු කරමින් තිබෙන බවද දේශසීමා ඉක්මවා යන අභියෝගයන්ට මුහුණ දීමට ගෝලීය පුරවැසියන් ලෙස අප එක් විය යුතු බවයි.

ආර්ථික වර්ධනය, නවෝත්පාදනය සහ රාජ්‍ය පාලන ප්‍රතිසංස්කරණ පිළිබඳ ශ්‍රී ලංකාවේ දැක්ම යන මැයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී සිය දේශනය පවත්වනු ලැබීය. තිරසාර සංවර්ධනය සහ ජාත්‍යන්තර සහයෝගීතාව සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම මෙහිදී අවධාරණය කෙරිණ.

මානව වර්ගයා සම්බන්ධ වැදගත් අංශවල අනාගත උපාය මාර්ග සහ සැලසුම් සංවර්ධනයකෙරෙහි  මෙම සමුළුව මඟින්  ගාමක බලයක් ලබා දෙන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ගෝලීය අභියෝගවලට මුහුණ දීම සඳහා සාමූහික ගෝලීය ක්‍රියාමාර්ගයක් මෙන්ම ඒකාබද්ධ පෙරමුණක් අවශ්‍ය බවද කියා සිටියේය.

සමාජ සාධාරණත්වය සහ නීතියේ ආධිපත්‍යය ප්‍රමිතිගත රාජ්‍යයකට මෙන්ම කෘතහස්ත  ලෝකයකට  වැදගත් වන අතර, ගිවිසුම් සහ නීති විධිමත් ආකාරයට ක්‍රියාත්මක කිරීම,  අඩු ආදායම්ලාභීන්ට සහ අස්ථායී ප්‍රජාවන්ට ක්‍රමවත් සහයෝගය සැලසීම මෙන්ම නිලධාරීන්ගේ වගවීම තහවුරු කිරීම සඳහා නිදහස් මාධ්‍ය සහ සමාජ ක්‍රියාකාරීන්ට ඉඩසැලසීමේ වැදගත්කම ද ජනාධිපති අනුර කුමාර  දිසානායක මහතා  මෙහිදී සඳහන් කළේය.

ඩිජිටල් ප්‍රවේශ අයිතිවාසිකම්, පාරිසරික අයිතිවාසිකම් සහිතව 1948 මානව හිමිකම් න්‍යාය පත්‍රයේ යාවත්කාලීන විශ්ව ප්‍රකාශනයක අවශ්‍යතාව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

ගෝලීය ආර්ථික මූල්‍යකරණයේදී කොන්දේසි දැඩිවීම, අනාගතයේදී ගෙවීමට නියමිත විශාල ණය ගෙවීම් සහ පුළුල් ස්වෛරී ණය අර්බුදයකට මුහුණ දීමට වත්මන් ජාත්‍යන්තර මූල්‍ය ව්‍යුහය දුර්වල ලෙස සූදානම් වීමත් සමග ගෝලීය දැක්ම අතිශයින් ගැටළුකාරී තත්ත්වයකට පත්ව තිබෙන  බව පෙන්වා දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා  නූතන ලෝකයට සාධාරණ ලෙස ගළපා ගත හැකි මූල්‍ය සංශෝධනයන්ට පරිවර්තනය වීමේ වැදගත්කමද පෙන්වා දුන්නේය.

මානව කේන්ද්‍රීය අනාගත සංවර්ධනය පිළිබඳ අදහස් පළ කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශක්තිමත් සයිබර් ආරක්ෂණ ක්‍රියාවලියකට ලෝකය යොමුවීමේ වැදගත්කම පෙන්වා දුන්නේය. රොබෝවරයෙකුගේ භාවිතය හේතුවෙන් රැකියා අහිමි වන මානව සම්පත සවිබල ගැන්වීම වෙනුවෙන් අධ්‍යාපනය, කුසලතා සංවර්ධනය සහ නව රැකියා අවස්ථාවන් හඳුනා ගනිමින් විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවද ඒ වෙනුවෙන් ගෝලීය නායකයන් සාමූහිකව කටයුතු කළ යුතු බවද ජනාධිපතිවරයා සිහිපත් කළේය.

‘අප සියලු දෙනා මුහුණ දෙන ප්‍රශ්න මෙන්ම අපගේ හදවත්වල “ලබ් ඩබ්” නාදය ආයාචනා කරන්නේ එකට එක්වී ලෝකය ගොඩනඟමු’ යන ආයාචනය බව ජනාධිපති අනුර දිසානායක මහතා මෙහිදී ප්‍රකාශ කළේය.

“අපි සහෝදරයන් ලෙස එකට ජීවත් වීමට ඉගෙන ගත යුතුය”යන මාර්ටින් ලූතර් කිං ගේ ප්‍රකාශය උපුටා දැක්වූ ජනාධිපතිවරයා, “ලස්සන ජීවිතයක් සහ පොහොසත් රටක්” ගොඩනැඟීමට ශ්‍රී ලංකාවේ ජනතාවද 2024 වසරේ දී එක්  වූ බව පෙන්වා දුන්නේය. මෙම ඓතිහාසික සමුළුව හමුවේ අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, “අපි එකට එකතු වී ලස්සන ජීවිතයක් සහ ලස්සන ලෝකයක් නිර්මාණය කරමු” යැයි ලෝක රාජ්‍ය සමුළු නියෝජිතයින්ට ආරාධනා කර සිටියේය.

පුවත්

කහවත්ත ඝාතන සිද්ධියේ සැකකරුවන් දෙදෙනෙකු ජූලි 28 දක්වා රිමාන්ඩ්

Published

on

By

පසුගියදා කහවත්ත ප්‍රදේශයේදී තරුණයෙකු දණගස්වා වෙඩි තබා ඝාතනය කර තවත් අයෙකුට තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ අත්අඩංගුවට ගැනුනු සැකකරුවන් සිව් දෙනාගෙන් දෙදෙනෙකු ජූලි 28දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ, ඔවුන් දෙදෙනා අද (17) පැල්මඩුල්ල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ඊයේ අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් දෙදෙනා අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර පැල්මඩුල්ල අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස හෝමාගම වැඩබලන මහෙස්ත්‍රාත්වරිය ඊයේ (16) නියෝග කළාය.

අත්අඩංගුවට ගැණුනු අනෙක් සැකකරුවන් දෙදෙනා දින 7ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට ද හෝමාගම වැඩබලන මහෙස්ත්‍රාත් ප්‍රියංකා මද්දුම පටබැඳි මෙනවිය ඊයේ පොලීසියට අවසර ලබා දී තිබුණි.

සබැඳි පුවත් :

Continue Reading

පුවත්

අලුත උපන් බිළිදෙකු වෙල්‍‍යායකින් හමුවෙයි

Published

on

By

කුරුණෑගල මාවතගම පරගහදෙණිය සිංහපුරපාර ප්‍රදේශයේ වෙල්යායක දමා ගොස් සිටියදී අලුත උපන් බිළිදෙකු සොයා ගෙන තිබේ.

අද උදෑසන වෙල්යාය මැදින් ගමන් කළ ගැමියෙකු මෙම දරුවා දැකීමෙන් අනතුරුව මාවතගම පොලිසිය දැනුවත් කර ඇත.

ඒ අනුව, පොලිසිය එම ස්ථානයට පැමිණ ඇති අතර, බිළිඳා මාවතගම රෝහලට ඇතුළත් කර තිබේ.

බිළිදා පරීක්ෂා කළ වෛද්‍යවරයෙකු පවසා ඇත්තේ මෙම දරුවා ඉපදී දිනක් හෝ දින දෙකක් පමණ ගතවන්නට ඇති බවය. 

මූලික පරීක්ෂාවලින් අනතුරුව බිලිඳා කුරුණෑගල ශික්ෂණ රෝහලේ නොමේරු ළදරු ඒකකය වෙත මාරුකර යැවීමට මාවතගම රෝහල් බලධාරීන් පියවර ගෙන තිබේ.

Continue Reading

පුවත්

හෙද සේවයට ලබාදී තිබූ නියෝගයක් බල රහිත කරමින් නියෝගයක්

Published

on

By

රජයේ සේවයේ නියුතු හෙද ශ්‍රේණි හතරක හෙද නිලධාරීන් හා නිලධාරිනියන් වයස අවුරුදු හැටේදී (60) දී අනිවාර්ය විශ්‍රාම ගැන්වීමට ඉකුත් රජය සමයේ අමාත්‍ය මණ්ඩලය විසින් ගෙන තිබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළකාලමින් අභියාචනාධිකරණය විසින් මීට පෙර නිකුත් කර තිබූ අතුරු තහනම් නියෝගය බල රහිත කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝගයක් නිකුත් කර තිබේ.

ඊට අමතරව මෙම කරුණට අදාළව අභියාචනාධිකරණය හමුවේ ගොනුකර තිබෙන පෙත්සම යළි විභාගයට ගන්නා ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අභියාචනාධිකරණය වෙත තවත් නියෝගයක් නිකුත් කර ඇත.

අභියාචනාදීකරණය විසින් නිකුත් කළ අදාළ අතුරු තහනම් නියෝගය නීතියට පටහැනි බවත් එය බල රහිත කරන ලෙසත් ඉල්ලා නීතිපතිවරයා විසින් ගොනු කර තිබූ අභියාචනයක් විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කළේය.

යසන්ත කෝදාගොඩ, ජනක් ද සිල්වා සහ ඒ. එච්.එම්.ඩී. නවාස් යන මහත්වරුන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.

රජයේ සේවකයින් වයස අවුරුදු හැටේදී අනිවාර්යය විශ්‍රාම ගැන්වීමට ඉකුත් රජය සමයේ අමාත්‍ය මණ්ඩලය විසින් තීරණයක් ගෙන තිබුණි.

එම තීරණයට එරෙහිව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සහ එහි සභාපති පූජ්‍ය මූරුත්තේට්ටුවේ ආනන්ද හිමි ඇතුළු පිරිසක් විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම් විභාග කළ අභියාචනාධිකරණය අදාල තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වලමින් මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කර ඇත.

මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කර තිබෙන ආකාරය නීතියට පටහැනි බවත් එවැනි නියෝගයක් නිකුත් කිරීමට අභියාචනාධිකරණයට බලයක් නොමැති බවත් සඳහන් කරමින් නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම අභියාචනා පෙත්සම ඉදිරිපත් කළේය.

එම පෙත්සම විභාග කිරීමෙන් අනතුරුව ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.

 (අරුණ)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved