Connect with us

පුවත්

වාරි ව්‍යාපෘති 24ක් ඇනහිටලා 

Published

on

වාරිමාර්ග දෙපාර්තමේන්තුව වාරි ව්‍යාපෘති රට පුරා වාරි ව්‍යාපෘති 24 ක්  අතර මග නතර කිරීමෙන් රුපියල් කෝටි  30 කට  ආසන්න මුදලක් නාස්ති වී ගොස් තිබූ බව  ජාතික විගණන කාර්යානය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව වෙල්ලස්ස නවෝදය ව්‍යාපෘතිය යටතේ මොනරාගල දිස්ත්‍රික්කයේ ආරම්භ කර තිබූ  වාරි ව්‍යාපෘති නවයක් නතරවීමෙන් කෝටි 19කට ආසන්න මුදලක්ද  වඩමාරච්චි කලපුවේ යාපනයේ ජනතාවට පානීය ජලය සැපයීම සඳහා රුපියල් කෝටි 200ක ඇස්තමේන්තුවක් යටතේ ආරම්භ කෙරුණු ව්‍යාපෘතිය අතරමග නතර වීමෙන් රුපියල් කෝටි තුනකට ආසන්න මුදලක්ද  දලුල්ගල්ල වැව  ඉදිකිරීමට අදාළ මූලික කටයුතු අතරමග නතර කිරීමෙන් ලක්ෂ තිස් එකකට වැඩි මුදලක්ද අනුරාධපුර දිස්ත්‍රික්කයේ පදවිය සහ වාහල්කඩ ගොවි ව්‍යාපාරවල ඇළ පද්ධතිය වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය අතරමග නතර වීමෙන් රුපියල් කෝටි තුනකට වැඩි මුදලක්ද  මෙසේ නාස්ති වී ගොස් තිබූ බව එම වාර්තාවේ දැක්වේ.

මේ අතර  වගාබීන් සඳහා ජල සැපයුම් ඉදිකිරීමට හියුම් පයිප්ප 1245ක්  ගොවිසංවිධාන වෙත නිකුත් කර තිබුණද එමගින් අපේක්ෂිත ජල සැපයුම් ඉදිකර නොතිබූ බව ජාතික විගණන කාර්යාල පවසයි.

එම පයිප්පවලින් හියුම් පයිප්ප 1166ක්  2023 වර්ෂයේ දෙසැම්බර් 31 දිනට  පදවිය වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලයේ නිකරුණේ දමා තිබූ බව විගණන වාර්තාව සඳහන් කරයි

පෙතියාගොඩ පොම්පාගාරය ඉදිකිරීම  මහයාව පිටවාන වැඩිදියුණු කිරීම, මල් අතු ඔය පිටවාන ඉදිකිරීම පාන් කුලම ජලාශයේ පිට වාන ඉදිකිරීම ඇල්ල වැව පිටවාන ඉදිකිරීම, කුඩා විලච්චිය පිටවාන ඉදිකිරීම ඇතුළු වාරි ව්‍යාපෘති 13 ක  ඉදිකිරීම් පසුගිය වසරේ මැයි මස 31 ආරම්භ කර නොතිබුණු බව පවසන විගණන වාර්තාව එම ව්‍යාපෘති වෙනුවෙන් දරනු ලැබූ වියදම පිළිබඳව ලිපිගොනු පවත්වාගෙන ගොස් නොතිබුණු බව වාර්තාව සඳහන් කළේය.

යාපනය අර්ධද්වීපයේ ජනතාවට පානීය ජලය සැපයීම සඳහා ව්‍යාපෘතිය අතරමග නතර වී තිබුණේ 2021 වසරේදීය.

මේ තොරතුරු සඳහන් වන්නේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති  විගණන වාර්තාවේ.

(ලංකාදීප)

පුවත්

කදුරුවෙල ත්‍රෛභාෂා පාසල අග්‍රාමාත්‍යවරියගේ නිරීක්ෂණයට

Published

on

By

ඉන්දීය රජයේ ආධාර යටතේ  පොළොන්නරුව, කදුරුවෙල ප්‍රදේශයේ ඉදිවෙමින් පවතින ත්‍රෛභාෂා ජාතික පාසලේ වර්තමාන තත්වය පිළිබඳ පිරික්සා බැලීමේ නිරීක්ෂණ චාරිකාවක් සහ එම පාසලේ ඉදිරි වැඩකටයුතු  පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පෙබරවාරි 14වන දින අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ මූලිකත්වයෙන් පැවැත්විණි.

කලාපයේ සියලු ජාතීන්, ආගම් නියෝජනය වන පරිදි සියලු දරුවන්ට අධ්‍යාපනය ලැබීමේ පහසුව අරමුණු කරගනිමින් ගොඩනැගෙමින් පැවති මෙම පාසලේ ඉදිකිරීම් කටයුතු  වසර කිහිපයක සිට මන්දගාමීව සිදුවීම සම්බන්ධව මෙහි දී අග්‍රාමාත්‍යවරියගේ අවධානයට යොමු විය.

ඉන්දියන් රජයේ අරමුදල් යටතේ ඉදිවෙන ඉදිරිපස ගොඩනැගිල්ල 75% වැඩ අවසන් අතර, එහි ඉතිරි වැඩ නිම කිරීමට රුපියල් මිලියන 150 ක් පමණ වැය වන බවත්, දෙවන ගොඩනැගිල්ල ශ්‍රී ලංකා රජයේ මුදලින් ඉදිකෙරෙන අතර එහි වැඩ 40% ක් අවසන් බවත්, ඉතිරි වැඩ නිම කිරීමට රුපියල් මිලියන 400 පමණ මුදලක් අවශ්‍ය බවත් ඉදිකිරීම් සමාගම විසින් පෙන්වා දෙන ලදි.

පාසල ආරම්භ වූ පසු එකවර සිසුන් 1600 ක් සඳහා අධ්‍යාපන කටයුතු වල නියැලීමේ පහසුකම් මෙහි ඇති අතර, විශේෂ අධ්‍යාපන ඒකක,  භාෂා පංති කාමර, e-learning පංති කාමර, නේවාසිකාගාර, පරිපාලන ගොඩනැගිල්ල, විද්‍යාගාර පහසුකම් සනීපාරක්ෂක පහසුකම් මෙන්ම ගුරු නිල නිවාස ඇතුළත්වන පරිදි පාසල නිර්මාණය කිරීමට සැළසුම් කර ඇති බව ඉදිකිරීම් සමාගමේ ඉන්ජිනේරුවන් විසින් අග්‍රාමාත්‍යවරිය දැනුවත් කළේය.

මෙම සම්පත් විනාශ වීමට ඉඩ නොහැර  දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ගොඩනැගීමට අවශ්‍ය  යෝජනා හා සැලසුම් කඩිනමින් ඉරිදිපත් කරන ලෙස අග්‍රාමාත්‍යවරිය විසින් බලධාරින් වෙත දැනුම් දෙන ලදී.

නිරීක්ෂණ කටයුතු සඳහා නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බී සරත්, පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පද්මසිරි බණ්ඩාර, පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රත්නසිරි, අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් නාලක කලුවැව, උතුරු මැද පළාත් ආණ්ඩුකාරවර වසන්ත ජිනදාස, පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් සුජන්ත ඒකනායක යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් සම්බන්ධ විය.

Continue Reading

පුවත්

රුවන්පුර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් නතර කරන්න හේතුව

Published

on

By

රුවන්පුර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු අත්හැර දමා ඇති බවට පළවන වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බව නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ එම ඉදිකිරීම් කටයුතු තාවකාලිකව අත්හිටුවා ඇති බවය.

ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා වැඩිදුරටත් සඳහන් කළේ මෙම අධිවේගී මාර්ගයේ ඉදිරිකිරීම් කටයුතු මෙම වසරේදී ආරම්භ නොකිරීමට තීරණය කර ඇති අතර මෙවර අයවැයෙන් ද ඊට මුදල් ප්‍රතිපාදන වෙන්කිරීමක් සිදුකර නොමැති බවය.

රුවන්පුර අධිවේගී මාර්ගය කහතුඩුවේ සිට හොරණ, ඉංගිරිය හරහා රත්නපුර දක්වා ඉදිකිරීමට යෝජිතව තිබුණි.

කෙසේවෙතත්, වත්මන් ආණ්ඩුව විසින් ප්‍රමුඛතා ලැයිස්තුවකට අනුව සංවර්ධන කටයුතු සහ නව ඉදිකිරීම් කටයුතු සිදුකරන බැවින් මෙම ව්‍යාපෘතිය තාවකාලික අත්හිටවූ බව නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කළේය.

ඒ, අනුව මධ්‍යම අධිවේගී මාර්ගයේ කුරුණෑගල – ගලගෙදර අතර කොටස සඳහා ප්‍රමුඛතාව ලබාදෙමින් ඉදිකිරීම් ඇරඹීමට රජය මේ වනවිට සැලසුම් කර තිබේ.

පොතුහැර – රඹුක්කන කොටසත්, රඹුක්කන – ගලගෙදර කොටසත් ලෙස කොටස් දෙකකට මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සිදුකෙරෙනු ලබයි.

එහිදී පොතුහැර – රඹුක්කන කොටසේ ඉදිකිරීම් කටයුතු ලබන වසරේදී අවසන් කිරීමට බලාපොරොත්තුවන බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා රඹුක්කන – ගලගෙදර කොටස වසර 3ක් ඇතුළත අවසන් කිරීමට බලාපොරොත්තුවන බවද පැවසුවේය.

මේ අතර, දැනට දීර්ඝ කාලයක සිට ඉදිකිරීම් කටයුතු අතරමග නවතා ඇති කඩවත – මීරිගම කොටසේ වැඩ කටයුතු චීන ආධාර යටතේ සිදුකිරීමට සැලසුම් කර තිබේ.

මෙහි ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා චීන එක්සිම් බැංකුවේ නියෝජිතයින් පිරිසක් දිවයිනට පැමිණීමට නියමිතව ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කලේය.

මේ අතර, මේ වනවිට කඩවත – මීරිගම කොටසේ සංවර්ධන කටයුතු අතරතුර කඩාවැටුණු කොටසක් රුපියල් බිලියන 7ක මුදලකින් සිදුකරන බවද නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවසුවේය.

Continue Reading

පුවත්

කොළඹ මහ නගර සභාව ප්‍රතිව්‍යුහගතකරණයට

Published

on

By

කොළඹ මහ නගර සභාව ප්‍රතිව්‍යුහගත කිරීමට කටයුතු කරන බව කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර මහතා පවසයි.

ඒ අනුව, ඉදිරි අය වැයෙන් පසු මෙම ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල ආරම්භ කරන බව ද ඊට අවශ්‍ය ප්‍රතිපාදන ඉදිරි අය වැයෙන් ප්‍රතිපූරණය කර ඇති බව ද නාගරික කොමසාරිස්වරයා කියා සිටියේය.

මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ නගර සභාවට අයත් ක්‍රීඩා පිටි වෙන් කරවා ගැනීම, ප්‍රදේශයේ වෛද්‍යවරුන් පිළිබඳ තොරතුරු ලබා ගැනීම, ජීවත්වන පවුල් සංඛ්‍යාවට පිළිබඳ තොරතුරු ලබා ගැනීම වැනි ක්‍රමවේදයක් මෙම වැඩපිළිවෙල හරහා හඳුන්වා දීමට කටයුතු කරන බව ද පාලිත නානායක්කාර මහතා තවදුරටත් පැවසුවේය.

කොළඹ මහ නගර සභාවේ මානව සංවර්ධන සැලසුමක් සකස් කිරීමට ද, නාගරික ඉදි කිරීම් අධිකාරියක් පිහිටුවීමට ද, කොළඹ තරුණ තරුණියන්ට නගර සභා බල ප්‍රදේශයේ ස්වයං රැකියා සිදුකිරීමට අවශ්‍ය පහසුකම් සැලසීමට ද මේ යටතේ පියවර ගනු ලැබේ.

ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහනක් ආරම්භ කිරීමට ද කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ ඉදිකිරීම් පිළිබඳ ප්‍රමුඛතා හඳුනා ගැනීමට වත්කම් කළමනාකරණ ඒකකයක් පිහිටුවීමට ද කටයුතු කරන බව ඔහු තවදුරටත් පවසා සිටියේය.

පසුගිය දා කොළඹ නගර සභාවේ පැවැති මාධ්‍ය හමුවකදී නානායක්කාර මෙම අදහස් පළ කලේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved