Connect with us

පුවත්

විදුලි බිල ගැන ජාතික සභාවෙන් නිවේදනයක්

Published

on

විදුලි බිල ඉහළ දැමීම සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් ලබන 15 වැනිදා දැනුම් දීමට නියමිත අවසන් තීරණය ගැනීමට පෙර විදුලි බල මණ්ඩලය සහ එම කොමිෂන් සභාව හමුවී සාකච්ඡා කරන ලෙස ජාතික සභාව අද (13) පාර්ලිමේන්තුවේදී අදාළ නිලධාරීන්ට දැනුම් දුන්නේය.

ඒ අනුව අද (13) පස්වරුවේ හමුවී මේ පිළිබද සාකච්ඡා කිරීමට දෙපාර්ශවයේ නිලධාරීහු එකඟත්වය පළ කළහ.

කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ජාතික සභාව අද (13) රැස්වූ අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදුවිය.

විදුලි බල මණ්ඩලය 60%ක විදුලි ගාස්තු වැඩිවීමක් ඉල්ලා සිටින පසුබිමක අවශ්‍ය ප්‍රතිශතය වැඩිකිරීමට අවසර නොලැබුණහොත් බරපතල අර්බුදයකට මුහුණදීමට සිදුවන බව විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා මෙහිදී පැවසීය. ඒ අනුව ඉදිරියේදී ගල්අගුරු ආනයන කිරීමට පවා මුදල් නොමැතිවීම නිසා දීර්ඝ විදුලි කප්පාදුවකට යාමේ අවධානමක්ද පවතින බව ඔහු පෙන්වා දුන්නේය.

මෙහිදී මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ නිලධාරීන් ‍පවසා සිටියේ විදුලි බල ගාස්තු වැඩිවීම පිළිබද අවසන් තීරණය ලබන 15 වැනිදා දැනුම් දීම සදහා මේවන විට කටයුතු සම්පාදනය කරමින් පවතින බවයි. විදුලිබල මණ්බලයේ දත්ත සහ මහජනතාව ඇතුළු අදාළ පාර්ශ්වකරුවන්ගේ අදහස් මේ වන ලබා ගෙන ඇති බවත් ඔවුහු පෙන්වා දුන්හ.

මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපතිවරයා සහ අධ්‍යක්ෂ ජනරාල්වරයා මේවන විට විදේශ ගතව සිටීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමුවිය. මීට මාස ගණනාවකට පෙර සැලසුම්කර තිබූ පරිදි නිසි අවසරයකින් පසු ඔවුන් විදේශ ගතවී ඇති බවත් මෙම සියලු කටයුතු සදහා උපරිම මැදිහත්වීම සභාපතිවරයා සහ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සිදුකළ බවත් මෙහිදී මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ ලේකම්වරිය පවසා සිටියාය.

මෙම අවස්ථාවේදී විදුලි බල මණ්ඩලය සහ මහජන උපයෝගීතා කොමිෂන් සභාව යන දෙපාර්ශවයේම අදහස් සාකච්ඡා කොට එක් මතයකට පැමිණ තීරණයක් ගැනීම වඩා වැදගත් බවත්, නොඑසේනම් ජනතාව පීඩාවට පත්වීම වැළැක්විය නොහැකි බවත් පෙන්වා දුන් ජාතික සභාව කඩිනමින් ඒ පිළිබදව සාකච්ඡා කොට තීරණ ගැනීමේ අවශ්‍යතාව අවධාරණය කරන ලදී.

එසේම කෙටි, මධ්‍යම හා දිගු කාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී ප්‍රමුඛතා හඳුනා ගැනීම පිළිබඳ ජාතික සභා අනු කමිටුව මගින් යෝජනා කර ඇති ‘ජාතික ප්‍රතිපත්ති කොමිෂන් සභාව’ පිළිබදව එම අනුකමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු නාමල් රාජපක්ෂ මහතා විසින් ජාතික සභාව දැනුවත් ක‍රන ලදී. මේ පිළිබද සංකල්ප පත්‍රිකාව පිළියෙල කිරීම අවසන් කොට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අදහස් හා යෝජනා ලබා ගැනීමට ද පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍යවරයා මෙහිදී උපදෙස් ලබා දුන්නේය. ඒ අනුව ජාතික සභාව හරහා අවශ්‍ය ඉදිරි පියවර ගැනීමට කටයුතු කරන බවත් අග්‍රාමාත්‍යවරයා මෙහිදී පැවසීය.

අමාත්‍යවරුන් වන ප්‍රසන්න රණතුංග, කංචන විජේසේකර, ටිරාන් අලස්, රාජ්‍ය අමාත්‍යවරුන් වන, සිවනේසතුරේ චන්ද්‍රකාන්තන්, ඩී.වී. චානක, සිසිර ජයකොඩි සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, ඒ.එම් අතාවුල්ලා, නාමල් රාජපක්ෂ සහ සාගර කාරියවසම් යන මහත්වරු මෙම සාකච්ඡාවට සහභාගී වූහ. පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් ටිකිරි කේ ජයතිලක මහතා ද මෙම අවස්ථාවට එක්විය.

එසේම මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සාමාජිකයන්, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ සහ ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීහුද ජාතික සභාව හමුවට කැඳවා තිබිණි.

පුවත්

මේ සතියේ කැබිනට් තීරණ මෙන්න

Published

on

By

ඊයේ (2024-05-27) දින පැවැත්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ ඇත.

එම තීරණ මෙසේය.

Continue Reading

පුවත්

ආර්ථික පරිවර්තන පනතේ සහයට තවත් පනත් දෙකක්

Published

on

By

2018 අංක 2 දරණ ප්‍රපාතන විරෝධී සහ ප්‍රතිතෝලන බදු පනත සහ  2018 අංක 3 දරණ ආරක්ෂණ පියවර පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත සකස් කිරීමේදී අදාල පනත් දෙක සඳහා අනුෂාංගික සංශෝධන හඳුන්වාදීමේ අවශ්‍යතාවය හඳුනාගනු ලැබ ඇතැයි රජය කියයි.

ඒ සඳහා වන පනත් කෙටුම්පත් නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති අතර එකී පනත් කෙටුම්පත් සඳහා නීතිපති අවසරය ලබාදී තිබේ.

ඒ අනුව අදාල සංශෝධිත පනත් කෙටුම්පත් දෙක රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් අනතුරු අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

සබැඳි පුවත් :

Continue Reading

පුවත්

සමෘද්ධි බැංකු රජයේ විගණනයට

Published

on

By

සමෘද්ධි ප්‍රජා මූල බැංකු හා සමෘද්ධි ප්‍රජා මූල බැංකු සමිති රජයේ විගණනයට යටත් කිරීම සඳහා පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

ශුද්‍ර මූල්‍ය කටයුතු ප්‍රවර්ධනය කිරීම සඳහා සමෘද්ධි ප්‍රජා මූල බැංකු 1082ක් සහ සමෘද්ධි ප්‍රජා මූල බැංකු සමිති 335ක් රට පුරා ක්‍රියාත්මක වන බව රජය පවසයි.

සමෘද්ධි පනතේ විධිවිධාන පරිදි එම ප්‍රජා මූල බැංකු සහ බැංකු සමිති වාර්ෂිකව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර විගණන අංශය මගින් විගණනය කරනු ලබන අතර ජාතික විගණන කාර්යාලයේ විගණනයට ලක්විය යුතු බවට වන විධිවිධාන සමෘද්ධි පනතේ ඇතුලත්ව නැතැයි ද රජය කියයි.

මෙම ආයතන රජයේ විගණන කාර්යාලය විසින්ද විගණනය කිරීම මගින් ඒවායේ කාර්යයන් විනිවිද භාවයෙන්  පවත්වා ගැනීමට සහ ජනතාවගේ විශ්වාසය හා පිළිගැනීම වර්ධනය කිරීමට හැකිවනු ඇති බව හඳුනාගෙන ඇත.

ඒ සඳහා විධිවිධාන පනවමින් සමෘද්ධි පනත සංශෝධනය කිරීමටත් ඒ සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමටත්  කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved