Connect with us

පුවත්

විශාල හිඟ බදු ප්‍රමාණයක් ඇති බවට ගෙන යන ප්‍රචාරය මිත්‍යාවක්

Published

on

රාජ්‍ය ආදායමෙහි ප්‍රධාන මූලාශ්‍ර තුනක් වන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව ආශ්‍රිතව විශාල හිඟ බදු ප්‍රමාණයක් ඇති බවට ගෙන යන ප්‍රචාර මිත්‍යා සහගත බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ.ගුණසිරි මහතා පැවසීය.

මෙම ආයතන තුනෙහිම හිඟ බදු ප්‍රමාණය රුපියල් බිලියන 90ක් පමණක් බව පෙන්වා දුන් ඒ මහතා ලෝකයේ ඕනෑම රටක සමස්ත බදු ආදායමෙන් 3%-5% ක් අතර  හිඟ බදු ප්‍රමාණයක් පවතින බවද සඳහන් කළේය.

සුරා බදු කොමසාරිස් ජනරාල්  එම්.ජේ.ගුණසිරි මහතා මෙම අදහස් පළ කළේ , “ස්ථාවර රටකට සැවොම එක මඟකට” මැයින් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී අද (26) පැවති මාධ්‍ය සාකච්ඡාවකට  එක්වෙමිනි.

එසේම මෙම ආයතන තුන 2023 වසරේදී ඉතිහාසයේ වැඩිම ආදායම ලෙස රුපියල් ට්‍රිලියන 3 ඉක්මවූ ආදායමක් ලබා ගත් අතර වසර 25කට පසු ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් ඇති කිරීමට සමත් වූ බවද ඒ මහතා සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ.ගුණසිරි මහතා මෙසේද පැවසීය

“මුදල් අමාත්‍යාංශය යටතේ තිබෙන රාජ්‍ය ආදායම් ලබා දෙන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව සහ සුරා බදු දෙපාර්තමේන්තුව යන ආයතන තුන නීතිමය රාමුවක් තුළ අදාළ බදු එකතු කිරීම් සිදු කරනවා. නමුත් මෙරට විශාල හිඟ බදු ප්‍රමාණයක් ඇති බවට
මිත්‍යා මත ප්‍රචාරය කිරීමට සමහර කණ්ඩායම් කටයුතු කරනවා. නමුත් සමස්තයක් ලෙස ගත් කල ආයතන තුනෙහිම හිඟ බදු ප්‍රමාණය  රුපියල් බිලියන 90කටත් අඩු බවද කිව යුතුයි. එම බදු ආදායම් ගෙවීමට තිබෙන  බහුතරයක් ආයතන  රාජ්‍ය ආයතන බවද සඳහන් කළ යුතුයි.  අනෙක් ආයතන වෙතින්  බදු මුදල් අය කර ගැනීම සඳහා අධිකරණ‍ය වෙත යොමු වී තිබෙනවා. එම නිසා එම මුදල් සැලකිය යුත්තේ අත්හිටවූ බදු ලෙසයි. එම අධිකරණ ක්‍රියාවලිය නිමවූ පසු නැවත බදු අය කර ගැනීමේ හැකියාව තිබෙනවා. එසේම ඕනෑම රටක සමස්ත බදු ආදායමෙන් 3%ක් -5%ක් අතර ප්‍රමාණයක බදු හිඟයක් පවතිනවා. නමුත් සමස්තයක් ලෙස ගත් කල පසුගිය වසර දෙකක කාලය තුළ රාජ්‍ය බදු ආදායම විශාල ප්‍රමාණයකින් වැඩි වුණා.

ඒ අනුව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව යන ආයතන ත්‍රිත්වය 2023 වසරේදී ඉතිහාසයේ වැඩිම ආදායම ලෙස රුපියල් ට්‍රිලියන 3 ඉක්මවූ ආදායමක් ලබා ගෙන තිබෙනවා. ඒ සමඟ වසර 25කට පසු ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් ඇති කිරීමට සමත් වූ බවත් පැවසිය යුතුයි.

මෙහිදී සුරාබදු දෙපාර්තමේන්තුව වෙත අවධානය යොමු කළහොත් එය 2023 වසරේ රුපියල් බිලියන 179ක ආදායමක් ලබාගෙන තිබෙනවා. 2024 වසරට ලබා දී තිබෙන ඉලක්කය රුපියල් බිලියන 232යි. 2023 අගෝස්තු 22 වන දා වනවිට අප රුපියල් බිලියන 106.5ක ආදායමක් ලබා තිබූ අතර, 2024 අගෝස්තු මාසයේ දී රුපියල් මිලියන 132.7ක ආදායමක් හිමි කර ගෙන තිබෙනවා. එම කාල සීමාව අනුව මේ වසරේ දී  24.6%ක වර්ධනයක් පෙන්නුම් කරනවා .  

ඒ වගේම සුරාබදු දෙපාර්තමේන්තුවට බලපත්‍ර නිකුත් කිරීම මඟින් ආදායම් ලැබෙනවා.   නව බලපත්‍ර ලබා දීමේදී මහ නගර සභා සීමාවක් තුළ රුපියල් මිලියන 15ක්, නගර සභා සීමාවක් තුළ රුපියල් මිලියන 12.5ක් හා ප්‍රාදේශීය සභා සීමාවක් තුළ රුපියල් මිලියන 10ක් ලබා ගැනීම සිදුකරනවා.  

නිෂ්පාදනාගාරයක් සඳහා බලපත්‍ර නිකුත් කිරීම සිදුකරන්නේ රුපියල් මිලියන 25ක මුදලකටයි. මේ වසරේ අගෝස්තු 20 වැනිද වන විට රුපියල් බිලියන 132.4 ප්‍රමාණයක් උපයා ගැනීමට අප දෙපාර්තමේන්තුව සමත් වී තිබෙනවා. 2023 වසරේ අප ආයතනයේ  හිඟ බදු මුදල රුපියල් මිලියන 1040ක් වුවත් එයින් රුපියල් මිලියන 609 ක්  මෙම වසරේ පෙබරවාරි මාසය වන විට අය කර ගැනීමට හැකියාව ලැබුණා. අනෙක් සියලු හිඟ බදු මුදල් අධිකරණ ක්‍රියාවලියකට නතුවී තිබෙන බව කිව යුතුයි.”

මෙම මාධ්‍ය සාකච්ඡාවට  දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් (බදු ප්‍රතිපත්ති, ජාත්‍යන්තර කටයුතු සහ නීති)  සමන් ශාන්ත මහතා හා ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ මූල්‍ය නිලධාරී අනුර මුතුකුඩේ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

පුවත්

රණක්ෂිතයට පත් සෙබළුන්ගේ ප්‍රයෝජනයට ජනාධිපති කාර්යාලයෙන් වාහන

Published

on

By

රණවිරු සේවා අධිකාරියේ ඉල්ලීමකට අනුව රණක්ෂිතයට පත් සෙබළුන්ගේ ප්‍රතිකාර සහ පුනරුත්ථාපන කටයුතු වෙනුවෙන් පවත්වාගෙන යන සුවසහන නිකේතන සඳහා අඩුපාඩුවක්ව පැවැති වාහන 05ක් පිරිනැමීම ජනාධිපති කාර්යාලයට අයත් ශ්‍රාවස්ති පරිශ්‍රයේදී අද (20) පස්වරුවේ සිදුවිණි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් මත පිරිනමන ලද මෙම වාහනවලට අදාළ ලිපි ලේඛන ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් රණවිරු සේවා අධිකාරියට භාර දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදය කළේය. 

එහිදී  ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානයේ රණවිරු සේවා අධිකාරිය වෙනුවෙන් මේජර් එරංග රත්නායක මහතා විසින් එම ලේඛන භාර ගනු ලැබීය.

මෙම වාහන අනුරාධපුරය, කඹුරුපිටිය සහ පාන්ගොල්ල පිහිටි අභිමංසල නිකේතනයන්හි සහ අත්තිඩිය මිහිදු සෙත් මැදුර, රාගම රණවිරු සෙවණ යන සුවසහන නිකේතනයන්හි නේවාසිකව ප්‍රතිකාර ලබන රණක්ෂිත සෙබළුන්ගේ කටයුතු වෙනුවෙන් යෙදවීමට නියමිතය. 

මෙසේ සුවසහන නිකේතනයන් වෙත බාර දෙනු ලැබුවේ මිට්සුබිෂි මොන්ටෙරෝ ජීප් රථ දෙකක්, නිසාන් පෙට්‍රල් ජීප් රථයක්, ටොයොටා කරීනා මෝටර් රථයක් සහ ටොයොටා හයිලක්ස් රථයකි.

Continue Reading

පුවත්

අගමැතිනියට මරණ තර්ජන

Published

on

By

අගමැතිනි හරිනි අමරසූරිය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු දේශපාලනඥයන්ට එල්ල විය හැකි ජීවිත තර්ජන සම්බන්ධයෙන් සිදු කරන ලද පරීක්ෂණ පිළිබඳව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (20) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

පාර්ලිමේන්තුව අමතමින් ඔහු සඳහන් කළේ, අගමැතිනි හරිනි අමරසූරියට මරණ තර්ජන ඇතුළත් විද්‍යුත් තැපෑලක් අගමැති කාර්යාලයට ලැබී ඇති බවය.

ඒ අනුව ඒ සම්බන්ධයෙන් අගමැති කාර්යාලයේ අතිරේක ලේකම්වරයෙකු පැමිණිල්ලක් ගොනු කර ඇති අතර විද්‍යුත් තැපෑල සම්බන්ධයෙන්, ගූගල් වෙතින් වාර්තාවක් ඉල්ලා සිටි බවත්, එම වාර්තාව ලැබී ඇති බවත් මහජන ආරක්ෂක අමාත්‍යවරයා පවසයි.

එම විද්‍යුත් තැපෑලෙහි IP ලිපිනය නෙදර්ලන්තය සහ ජර්මනිය සමඟ සම්බන්ධ වී ඇතැයි සොයාගෙන ඇති බවට අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට පැවසූ අතර ඒ සම්බන්ධයෙන් වන වාර්තාව ලැබුණු පසු අධිකරණයට කරුණු ඉදිරිපත් කරන බවද සඳහන් කරන ලදී.

තවද සජිත් ප්‍රේමදාස මහතගේ ජීවිතයට එල්ල වී ඇති තර්ජන සම්බන්ධයෙන්, මහජන ආරක්ෂක අමාත්‍යවරයා හෙළි කළේ 2024 අගෝස්තු මාසයේදී අමාත්‍යාංශයේ හදිසි දුරකථන අංකය හරහා පැමිණිල්ලක් ලැබී ඇති බවය.

පාතාල නායකයෙකු වන ‘ලොකු පැටී’ ගේ සහචරයෙකු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉලක්ක කර ගනිමින් ස්නයිපර් ප්‍රහාරයක් සඳහා සූදානම් වෙමින් සිටින බවට පැමිණිල්ලේ සඳහන් වූ බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවට හෙළි කලේය.

ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ ආනන්ද විජේපාල මහතා :

“අපි පැමිණිල්ල සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. තොරතුරු සපයන්නා විසින් ඉදිරිපත් කරන ලද කරුණු අසත්‍ය බව සොයාගෙන තිබෙනවා. පැමිණිල්ල කළ ජංගම දුරකථන අංකය පිළිබඳව ද පරීක්ෂණයක් පවත්වා තිබෙනවා. පැමිණිල්ලට අදාළ කරුණු අසත්‍ය බව ඔප්පු වී තිබෙනවා,”

Continue Reading

පුවත්

රොෂාන්ට වාරණයක්

Published

on

By

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා, ලේකම්වරයා ඇතුළු එම ආයතනයට අපහාසාත්මක වන ආකාරයේ ප්‍රකාශ සිදුකිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් අද (20) හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා වෙත වාරණ නියෝගයක් නිකුත් කරන ලදී.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා සහ එහි ලේකම්වරයා ඉදිරිපත් කළ පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුව කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන විසින් මෙම වාරණ නියෝගය නිකුත් කර තිබේ.

එම වාරණ නියෝගය දිනා 14 ක කාලයක් බල පැවැත්වෙන බවත් එහි සඳහන් විය.

පැමිණිලිකරුවන් කියා සිටියේ, ඉකුත් 05 වනදා කඩුවෙල දිසා අධිකරණය අසල මාධ්‍යවලට ප්‍රකාශයක් සිදු කළ හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මුදල් අවභාවිතා වන බවට අසත්‍ය ප්‍රකාශයක් සිදුකර තිබූ බවය.

මේ තුළින් තමන්ටත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයටත් දැඩි අපහසයක් සිදුවී ඇති අතර, ඒ තුළින් මහජනතාව නොමග යැවීමක් සිදුවන ඇති බවත් පැමිණිලිකරුවන් චෝදනා කර තිබේ.

මේ තුළින් තමන්ට සිදුවූ අපහාසය වෙනුවෙන් රුපියල් මිලියන 500ක වන්දියක් වග උත්තරකරුගෙන් අයකර ගැනීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පැමිණිලිකරුවන් අධිකරණයෙන් ඉල්ලා ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved