මෙරට විශාලතම කඩොලාන තෙත් බිම ලෙස සැලකෙන මන්නාරම, වෙඩිතලතිව් ස්වභාවික රක්ෂිතයේ විශාල භූමි ප්‍රදේශයක් ජාතික ජලජීවි සංවර්ධන අධිකාරිය විසින් බහුජාතික සමාගමකට ලබාදීමට සැලසුම් සකස් කරමින් පවතින බවට පරිසරවේදීහු චෝදනා කරති.
ඉකුත් 2016 වසරේදී ස්වභාව රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලද මෙම වෙඩිතලතිව් තෙත්බිම හෙක්ටයාර් 29,180ක භූමි ප්‍රදේශයක් පුරා විහිදී ඇත.
වෙඩිතලතිව් ස්වභාවික රක්ෂිතයක් ලෙස 2016 වසරේදී නිකුත් කරන ලද 1956/13 ගැසට් නිවේදනය අවලංගු කර එය ජලජීවි වගාව සඳහා යොදා ගැනීමේ සුදානමක් පවතින බව රේගු ජෛව විවිධත්ව ඒකකයේ හිටපු ප්‍රධානි, හිටපු රේගු අධ්‍යක්ෂ සමන්ත ගුණසේකර මහතා කියයි.
ඒ මහතා වනජීවි හා සොබාරක්ෂක සංගමයේ (Wild life and nature protection society) විසින් කොළඹ, බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පෙරේදා (06) පැවැති මාධ්‍ය හමුවේදී මේ බව කීය.
මෙම ගැසට් නිවේදනය අවලංගු කිරීම සඳහා ජලජීවි සංවර්ධන අධිකාරිය 2017 වසරේදී ද යෝජනාවක් ගෙනා බවත්, ඒ පිළිබඳව සොයා බැලීම සඳහා පත්කරන ලද තාක්ෂණ උපදේශන කමිටුව 2019 වසරේදී යෝජනා කර සිටියේ මෙම පරිසර පද්ධතිය ආරක්ෂිත තත්ත්වයෙන් ඉවත් නොකරන ලෙස යැයිද සමන්ත ගුණසේකර මහතා පැවැසුවේය.
උරග විශේෂඥ මෙන්ඩිස් වික්‍රමසිංහ මහතා එහිදී කියා සිටියේ නව සර්ප විශේෂ හයක් සහ දුර්ලභ සර්ප විශේෂ දෙකක් මෙම පරිසර පද්ධතියේ ජීවත් වන බවයි.
සත්ත්ව විද්‍යාඥයෙකු වන පී. ඊ. පී. දැරණියල විසින් 1941 වසරේදී සොයා ගන්නා ලද උරග විශේෂයක්, එම වර්ෂයෙන් පසුව යළි වාර්තා වූයේ මෙම ස්වභාවික පරිසර පද්ධතියෙන් බවත්, හඳුනා නොගත් සත්ත්ව විශේෂ කීපයක්ම මෙම පරිසරයේ සිටින බවත් මෙන්ඩිස් වික්‍රමසිංහ මහතා පැවසීය.
දිවයිනේ වෙනත් ප්‍රදේශවලින් වාර්තා නොවූ කුඩා පිඹුරු විශේෂයක්ද වෙඩිතලතිව්වලින් වාර්තා වන බව ඔහු සඳහන් කළේය.
මුහුදු තෘණ පරිසර පද්ධතියක් වෙඩිතලතිව් ස්වභාවික රක්ෂිතයේ විහිදී තිබෙන බවත්, ලෝකයේ මුහුදු තෘණ විශේෂ 73 අතුරින් 15ක් ලංකාවෙන් වාර්තා වන බවත්, ඉන් 10ක් මෙම පරිසරයේ තිබෙන බවත් පරිසරවේදී සුසන්ත උඩගෙදර මහතා හෙළි කළේය.
මෙරට බරපතළ ලෙස තර්ජනයට ලක්ව සිටින මුහුදු ඌරා මෙම පරිසරයේ ජීවත්වන බවත්, එම සත්ත්වයා ආහාරයට ගන්නේ මුහුදු තෘණ බවත් ඔහු කීවේය.
ලෝකයේ තෙවැනියට වැදගත් පරිසර පද්ධතිය වන්නේ මුහුදු තෘණ බවත්, මුහුදු තෘණ මගින් වායුගෝලයේ තිබෙන කාබන් ඩයොක්සයිඩ් උරා ගන්නා බවත්, මුහුදු තෘණ හෙක්ටයාර් එකක පරිසර පද්ධතියක් වසරකට ඩොලර් 34,000ක සේවයක් සපයන බවත් ඔහු පැවසීය.