Connect with us

පුවත්

ශ්‍රී ලංකා – චීන ඒකාබද්ධ ප්‍රකාශය මෙන්න

Published

on

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ චීන රාජ්‍ය සංචාරයට අදාළව නිකුත් කර ඇති ඒකාබද්ධ ප්‍රකාශය මෙසේය :

මහජන චීන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය අතර ඒකාබද්ධ ප්‍රකාශයබීජිං, 2025 ජනවාරි 16 වැනි දින

1.      මහජන චීන සමූහාණ්ඩුවේ ජනාධිපති අතිගරු ෂී ජින් පිං මැතිතුමාගේ ආරාධනයෙන්, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති අතිගරු අනුර කුමාර දිසානායක මැතිතුමා 2025 ජනවාරි 14 වැනි දින සිට 17 වැනි  දා දක්වා මහජන චීන සමූහාණ්ඩුවේ රාජ්‍ය සංචාරයක නිරත විය.

2.      සංචාරය අතරතුරදී, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ෂී ජින් පිං මහතා සමඟ සාකච්ඡා පැවැත්වූ අතර, රාජ්‍ය මන්ත්‍රණ සභාවේ අග්‍රාමාත්‍ය ලී චියන්ග් සහ ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති ජාඕ ලෙජි යන මහත්වරුන් හමු විය. සුහද හා මිත්‍රශීලී වාතාවරණයක් තුළ, විස්තරාත්මක ලෙස අදහස් හුවමාරු කර ගත් දෙපාර්ශ්වය, චීනය සහ ශ්‍රී ලංකාව අතර සාම්ප්‍රදායික මිත්‍රත්වය වර්ධනය කිරීම, උසස් තත්ත්වයේ එක් තීරයක්- එක් මාවතක් සංකල්පය අරමුණු කරගත් සහයෝගිතාව, බහු-ආංශික ප්‍රායෝගික සහයෝගිතාව ඉදිරියට ගෙන යාම සහ අන්‍යෙන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන කලාපීය සහ ජාත්‍යන්තර කරුණු පිළිබඳ විස්තීර්ණ පොදු අවබෝධයතාවනට එළැඹුණි.

3.      චීනය සහ ශ්‍රී ලංකාව වසර 68ක රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තුළ නිරන්තරයෙන් එකිනෙකාට ගරු කරමින්, සමාන ලෙස සලකමින් සහ එකිනෙකා වෙනුවෙන් පෙනී සිටිමින්, භුමි ප්‍රමාණයෙන් වෙනස් වූ රටවල් අතර මිත්‍රශීලී අන්තර්ක්‍රියාවලට සහ අන්‍යෙන්‍ය වශයෙන් ප්‍රතිලාභ ලැබෙන සහයෝගිතාවට කදිම ආදර්ශයක් සපයා ඇති බව දෙපාර්ශ්වයේම අදහස විය. රබර්-සහල් ගිවිසුමේ අන්තර්ගත ස්වාධීනත්වය, ස්වයං විශ්වාසය, සහයෝගිතාව සහ අන්‍යෙන්‍ය සහයෝගය ඉදිරියටත් පවත්වාගෙන යෑමට, අන්‍යෙන්‍ය ගෞරවය, විශ්වාසය, සහයෝගය, දෙපාර්ශ්වයටම වාසිදායක සහයෝගිතාව සහ පොදු සංවර්ධනය යන මූලධර්ම අනුගමනය කිරීම, අවංක අන්‍යෙන්‍ය සහයෝගය සහ දිගුකාලීන මිත්‍රත්වය මත පදනම්ව චීන-ශ්‍රී ලංකා උපායමාර්ගික සහයෝගිතා හවුල්කාරිත්වය පුළුල් කිරීම පිණිස කැපවී සිටීමට සහ දෙරටට සහ දෙරටේ ජනතාවට වැඩි ප්‍රතිලාභ ගෙන ඒම සඳහා බෙදා හදා ගත් අනාගතයක් සහිත චීන-ශ්‍රී ලංකා ප්‍රජාවක් ඒකාබද්ධව ගොඩනැගීමට දෙපාර්ශ්වය එකඟ විය.

4.      ද්විපාර්ශ්වික සබඳතා සම්බන්ධයෙන් දෙරටේ නායකයින්ගේ ශක්තිමත් උපායමාර්ගික මඟපෙන්වීම පවත්වා ගැනීම සඳහා සමීප ඉහළ මට්ටමේ සබඳතාවල ගම්‍යතාව පවත්වා ගැනීමටත්, දෙරටේ රජයන් අතර ද්විපාර්ශ්වික හුවමාරු තවදුරටත් ශක්තිමත් කිරීමටත්, ව්‍යවස්ථාදායක ආයතන සහ දේශපාලන පක්ෂ අතර ද්විපාර්ශ්වික හුවමාරු තවදුරටත් ශක්තිමත් කිරීමට සහ එකිනෙකාගේ පාලන හා සංවර්ධන අත්දැකීම් බෙදා ගැනීමට සහ ඒවායින් ඉගෙන ගැනීමටත්, චීන-ශ්‍රී ලංකා සබඳතා වැඩි දියුණු කිරීම සඳහා කැපවීමෙන් යුත්  ප්‍රයත්න දැරීමටත් දෙපාර්ශ්වය එකඟ විය.  

5.      එකිනෙකාගේ ප්‍රධාන අභිලාෂ සහ විශාල වශයෙන් සැලකිල්ල දක්වන ගැටලුවලට අදාළ කරුණු සම්බන්ධයෙන් අන්‍යෙන්‍ය වශයෙන් සහයෝගය දක්වන බව දෙපාර්ශ්වයම යළි තහවුරු කළේය. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල යෝජනා අංක 2758 හි අධිකාරි බලය දෙපාර්ශ්වයම නැවත තහවුරු කළ අතර, මහජන චීන සමූහාණ්ඩුවේ රජය සමස්ත චීනයම නියෝජනය කරන එකම නීත්‍යානුකූල රජය බවත්, තායිවානය චීනයේ භූමියෙන් වෙන් කළ නොහැකි කොටසක් බවත් පිළිගනිමින් එක් චීනයක් යන මූලධර්මය කෙරෙහි තමන් සතු දැඩි කැපවීම ශ්‍රී ලංකාව යළි තහවුරු කළේය. ජාතියක් වශයෙන් නැවත එක්සත් වීම සාක්ෂාත් කර ගැනීම සඳහා චීන රජය ගන්නා සියලු උත්සාහයන්ට ශ්‍රී ලංකාව දැඩි ලෙස සහය දක්වන අතර, කවර වු හෝ සවරූපයක “තායිවානය ස්වාධීනත්වයට” විරුද්ධ වේ. චීන විරෝධී, බෙදුම්වාදී ක්‍රියාකාරකම් සඳහා තම භූමිය භාවිතා කිරීමට කිසි විටෙකත් ඉඩ නොදෙන බවත්, ෂිසන්ග් සහ ෂින්ජියැන්ග් පිළිබඳ ගැටලු සම්බන්ධයෙන් චීනයට ස්ථිර ලෙස සහය ලබා දෙන බවත්            ශ්‍රී ලංකාව නැවත අවධාරණය කළේය. ජාතික නිදහස, ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකාවට ස්ථිර ලෙස සහය දෙන බවත්, එහි ජාතික තත්වයන්ට ගැලපෙන සංවර්ධන මාවතක් ස්වාධීනව තෝරා ගැනීමේදී ශ්‍රී ලංකාව  ගනු ලබන තීරණවලට ගරු කරන බවත්, සහය දෙන බවත් චීනය නැවත අවධාරණය කළේය. ස්වාධීන සාම විදේශ ප්‍රතිපත්තියක් උදෙසා තමන් තුළ ඇති කැපවීම චීන පාර්ශ්වය යළි අවධාරණය කළේය. ස්වාධීන නොබැඳි විදේශ ප්‍රතිපත්තියක් උදෙසා තමන් තුළ ඇති කැපවීම ශ්‍රී ලංකා පාර්ශ්වය යළි අවධාරණය කළේය.

6.      2024දී ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය සාර්ථකව පැවැත්වීම පිළිබඳව ශ්‍රී ලංකාවට සුබ පැතූ චීනය ආර්ථික හා සමාජීය සංවර්ධනය, එකමුතුකම, ස්ථාවරත්වය සහ සමෘද්ධිය ඔස්සේ ශ්‍රී ලාංකාවේ ජනතාව ඉදිරියට ගෙන යෑම පිණිස ශ්‍රී ලංකාවේ නව රජයට සිය සුබ පැතුම් එක් කළ අතර, ශ්‍රී ලංකා රජය රටේ තිරසර සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා කටයුතු කරන විට ඒ සඳහා ක්‍රියාකාරී සහයෝගය ලබා දීමට තමන් සතු සූදානමද ප්‍රකාශ කළේය. නව යුගයේ චීනය ලබා ඇති විශිෂ්ට ජයග්‍රහණ ශ්‍රී ලංකාවේ ප්‍රශංසාවට ලක් වූ අතර, සෑම අතින්ම ශ්‍රේෂ්ඨ නවීන සමාජවාදී රටක් ගොඩනැගීමට සහ චීන නවීකරණයේ මාවත හරහා චීන ජාතියේ මහා පුනර්ජීවනය ඉදිරියට ගෙන යෑමට චීනයට සහය දක්වන බවද ශ්‍රී ලංකාව ප්‍රකාශ කළේය. ප්‍රතිසංස්කරණ පුළුල් කිරීමට සහ ඉහළ ප්‍රමිතියකින් යුත් විවෘතභාවය ප්‍රවර්ධනය කිරීමට චීනය ගන්නා උත්සාහය ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගතිය සඳහා නව අවස්ථා උදා කරනු ඇතැයි ශ්‍රී ලංකාව විශ්වාස කරයි.    

7.      දෙරටේ නායකයින්ගේ මඟ පෙන්වීම සහ දිරිගැන්වීම යටතේ, චීනය සහ ශ්‍රී ලංකාව එක් තීරයක් -එක් මාවතක් සහයෝගිතාවෙහි ඵලදායී ප්‍රතිඵල අත්කර ගෙන ඇත. සිය ආර්ථික හා සමාජීය සංවර්ධනය සහ ජනතාවගේ ජීවනෝපාය විෂයෙහි එක් තීරයක් -එක් මාවතක් සහයෝගිතාව ඉටුකරන වැදගත් කාර්යභාරය ශ්‍රී ලංකාව අගය කරයි. කොළඹ වරාය නගරය සහ හම්බන්තොට වරාය ඒකාබද්ධ සංවර්ධනය ඇතුළු සියලුම ප්‍රධාන ව්‍යාපෘති ඉදිරියට ගෙන යාමට, සේද මාවත වැඩමුළුව වැනි වැඩසටහන් සම්පූර්ණයෙන්ම භාවිතා කිරීමට සහ එක්ව සැලසුම් කිරීමේ, ගොඩනැඟීමේ සහ ප්‍රතිලාභ ලැබීමේ මූලධර්මවලට අනුකූලව ශ්‍රී ලංකාව තුළ තවත් ජීවනෝපාය වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට, විවෘත, හරිත හා පිරිසිදු සහයෝගිතාව සහ උසස් ප්‍රමිතියකින් යුත්, ජනතාව කේන්ද්‍ර කරගත් සහ තිරසර සංවර්ධන මූලධර්මවලට අනුකූලව, උසස් තත්ත්වයේ එක් තීරයක් -එක් මාවතක් සහයෝගිතාවයට සහය වීම සඳහා ජනාධිපති ෂී ජින් පිං මහතා විසින් ප්‍රකාශයට පත් කරන ලද ප්‍රධාන පියවර අට අනුගමනය කිරීමට දෙපාර්ශ්වයම එකඟ විය. උසස් තත්ත්වයේ චීන-ශ්‍රී ලංකා එක් තීරයක් -එක් මාවතක් සහයෝගිතාව වැඩිදියුණු කිරීම සහ ඉහළ ප්‍රමිතියකින් යුත්, ශක්තිමත්, ඔරොත්තු දීමේ හැකියාවෙන් සහ වැඩි තිරසරභාවයකින් යුත් ජයග්‍රාහී සංවර්ධනය සඳහා ඒකාබද්ධව නව අවකාශයක් විවෘත කිරීම සඳහා එක් තීරයක් -එක් මාවතක් සහයෝගිතා සැලැස්මකට දෙපාර්ශ්වට අත්සන් තැබීය.

8.      ණය ගැටලුව සමඟ ඵලදායී ලෙස කටයුතු කිරීමේදී ශ්‍රී ලංකාවට ශක්තිමත් සහයෝගයක්වූ, චීනය ආශ්‍රිත ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී ලබාදුන් අත්‍යවශ්‍ය සහයද ඇතුළුව, මූල්‍ය දුෂ්කරතා ඇති වූ කාලවලදී චීනයෙන් ලැබුණු වටිනා සහයෝගයට ශ්‍රී ලංකාව සිය කෘතඥතාව පළ කළේය. එකඟ වූ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්ම චීන මුල්‍ය ආයතන සමඟ එක්ව ඉක්මනින් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාව කැමැත්ත පළ කළේය. ශ්‍රී ලංකාවේ මූල්‍ය දුෂ්කරතා ලිහිල් කිරීමට සහ ණය තිරසරභාවය ළඟා කර ගැනීමට උපකාර කිරීම සඳහා චීනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තුළ අඛණ්ඩවම ධනාත්මක කාර්යභාරයක් ඉටු කරනු ඇති අතර අනෙකුත් ණයහිමියන් සමඟ මිත්‍රශීලී සන්නිවේදනයක් පවත්වා ගනු ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව සහ චීන මහජන බැංකුව ඔවුන්ගේ මුදල් හුවමාරු ගිවිසුම අලුත් කර ඇති අතර මූල්‍ය සහයෝගිතාව අඛණ්ඩව පවත්වාගෙන යනු ඇත.
9.      ආර්ථිකයේ සහ වෙ‍ළෙඳාමේ ද්විපාර්ශ්වික සහයෝගිතාවෙහි ප්‍රගතිය පිළිබඳව දෙපාර්ශ්වයම සෑහීමකට පත්ව සිටියි. ශ්‍රී ලංකාවේ සිට කෙරෙන ආනයන ප්‍රවර්ධනය කිරීමට විවිධ මං ඔස්සේ චීනය දරන ප්‍රයත්නය පිළිබඳව ශ්‍රී ලංකාව සිය කෘතඥතාව පළ කළේය. චීන ආනයනකරුවන්ගේ සහ අපනයනකරුවන්ගේ අදාළ සංගම් සමඟ සබඳතා ඇති කර ගැනීමේදී තේ, මැණික් සහ අනෙකුත් කර්මාන්තවල ශ්‍රී ලාංකික ව්‍යවසායන්ට අඛණ්ඩව සහය වීමට, චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය, චීන ආනයන හා අපනයන ප්‍රදර්ශනය, චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනය සහ ඊ-වාණිජ්‍ය වේදිකා වැනි ප්‍රදර්ශන සඳහා ශ්‍රී ලංකාවේ සහභාගීත්වයට පහසුකම් සැලසීමට සහ අන්‍යෙන්‍ය ප්‍රතිලාභ සහ දෙපාර්ශ්වයටම ඵලදායී ප්‍රතිඵල මත පදනම්ව දෙරටේ ව්‍යවසායන් අතර සහයෝගිතාව තවදුරටත් වැඩිදියුණු කිරීමට තමන් සූදානමින් සිටින බව චීනය ප්‍රකාශ කළේය. සමානාත්මතාව, අන්‍යෙන්‍ය ප්‍රතිලාභ සහ දෙපාර්ශ්වයටම ඵලදායී ප්‍රතිඵල යන මූලධර්මවලට අනුකූලව එක් සැලැස්මක් තුළ විස්තීර්ණ නිදහස් වෙ‍ළෙඳ ගිවිසුමක් ඉක්මනින් අවසන් කිරීම සඳහා කටයුතු කිරීමට දෙපාර්ශ්වය විය.

ශ්‍රී ලංකාව චීනයෙන් කෙරෙන තවත් ව්‍යාපාරික ආයෝජන සාදරයෙන් පිළිගන්නා අතර ඒ සඳහා හිතකර ආයෝජන සහ ව්‍යාපාරික පරිසරයක් සපයනු ඇත. ශ්‍රී ලංකාවේ ආර්ථික පරිවර්තනය සහ තිරසර සංවර්ධනයට පහසුකම් සැලසීම සඳහා ශ්‍රී ලංකාව තුළ ආයෝජනය කිරීමට චීන ව්‍යවසායන් දිරිමත් කිරීම චීනය අඛණ්ඩව කරගෙන යනු ඇත. ස්වකීය උසස් තත්ත්වයේ සහ අන්‍යෙන්‍ය වශයෙන් ප්‍රයෝජනවත් ප්‍රායෝගික සහයෝගිතාව ඉදිරියට ගෙන යාම සඳහා සැපයුම්, හරිත සංවර්ධන සහ ඩිජිටල් ආර්ථික වැනි ක්ෂේත්‍රවල සහයෝගිතාව පුළුල් කිරීමට දෙපාර්ශ්වය එකඟ විය.

10.  කෘෂිකර්මාන්තය පිළිබඳව ඔවුන්ගේ පුළුල් පරාසයක පැතිරුණු සහයෝගීතාව සහ විස්තීර්ණ හුවමාරු පිළිබඳව දෙපාර්ශ්වය ධනාත්මක ඇගැයීම් හුවමාරු කර ගත්තේය. ශ්‍රී ලංකාවේ තිරසර කෘෂිකාර්මික සංවර්ධනය සඳහා ශක්‍යතා වැඩි දියුණු කිරීමට උපකාරී වන පරිදි නිවර්තන භෝග සඳහා ජෛව තාක්ෂණ ක්‍රම, ශාක අභිජනනය සහ වගාව, ජලජීවී වගාව ඇතුළු ක්ෂේත්‍රවල පුහුණු සහ නිරූපණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට තමන් සතු සූදානම චීනය ප්‍රකාශ කළේය. එමෙන්ම, තේ, පලතුරු, කුරුඳු සහ ජලජ නිෂ්පාදන ඇතුළු සුවිශේෂී නිෂ්පාදන චීනයට අපනයනය කිරීම තවදුරටත් පුළුල් කරන ලෙස චීනය ශ්‍රී ලංකාවට යෝජනා කළේය. දරිද්‍රතාව අවම කිරීම සහ ග්‍රාමීය පුනර්ජීවනය කෙරෙහි තියුණු අවධානයක් යොමු කරමින් හුවමාරු සහ සහයෝගීතාව පුළුල් කිරීමට ඇති තමන් තුළ ඇති සූදානම දෙපාර්ශ්වයම ඉදිරිපත් කළේය. කෘෂිකර්මාන්තයට අදාළ ක්ෂේත්‍රවල සේවකයින්ගේ ශක්‍යතා වර්ධනය කිරීමෙහිලා ශ්‍රී ලංකාවට සහය දැක්වීමට තමන් තුළ ඇති සූදානම චීනය ප්‍රකාශ කළේය.

11.   දේශගුණික විපර්යාස මානව සමාජයේ විශාලතම අභියෝගයක් වන බවත් චීනය සහ ශ්‍රී ලංකාව ඇතුළු සංවර්ධනය වෙමින් පවතින රටවල තිරසර සංවර්ධනයට එය තර්ජනයක් වන බවත් දෙපාර්ශ්වයම පිළිගනියි. දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් ක්‍රියාකාරීව එක්ව කටයුතු කිරීමට ඔවුහු එකඟ වූහ. දරුණු ගංවතුර තත්ත්වය හමුවේ චීනය ලබා දුන් මානුෂීය සහන සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව චීනයට කෘතඥතාව පළ කළේය. ආපදා වැළැක්වීම සහ අවම කිරීම මෙන්ම හදිසි ගලවා ගැනීම වැනි ක්ෂේත්‍රවල ශ්‍රී ලංකාව සමඟ සහයෝගීතාව වැඩි දියුණු කිරීමට, එහි තාක්ෂණයන් බෙදා ගැනීමට සහ ශ්‍රී ලංකාවේ හදිසි කළමනාකරණ හැකියාවන් වැඩිදියුණු කිරීම සඳහා පුහුණුව ලබා දීමට තමන් තුළ ඇති සුදානම චීනය ප්‍රකාශ කළේය. එක්සත් ජාතීන්ගේ 2030 තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීමේ ඒකාබද්ධ ප්‍රයත්නයේ කොටසක් ලෙස එක්  තීරයක් එක් මාවතක් ජාත්‍යන්තර හරිත සංවර්ධන සන්ධානයේ සහ අනෙකුත් සංසදවල අදාළ ක්‍රියාකාරකම් සඳහා ශ්‍රී ලංකාවේ සහභාගීත්වය චීනය සාදරයෙන් පිළි ගනියි.

12.  සමානාත්මතාව, අන්‍යෙන්‍ය විශ්වාසය, විවෘතභාවය සහ අන්‍යෙන්‍ය ප්‍රතිලාභ මත පදනම්ව සමුද්‍රීය සහයෝගීතාව අඛණ්ඩව පවත්වාගෙන යෑමට සහ සමුද්‍රීය කටයුතු සම්බන්ධයෙන් ක්‍රමික ද්විපාර්ශ්වික උපදේශන පැවැත්වීමට දෙපාර්ශ්වයම කැමැත්තක් දක්වයි. සමුද්‍රීය පරිසරය සහ පරිසර පද්ධති සංරක්ෂණය සහ ප්‍රතිසංස්කරණය, සමුද්‍රීය කලාප පිළිබඳ දැනුවත් භාවය, සමුද්‍රීය ගලවා ගැනීම හා ආපදා සහන, සහ සමුද්‍රීය ක්ෂේත්‍රය හා සම්බන්ධ පිරිස් වෙත පුහුණුව ලබා දීම හා ශක්‍යතා වර්ධනය වැනි ක්ෂේත්‍රවල සහයෝගීතාව වර්ධනය කිරීමට සහ පොදු අනාගතයක් සහිත සමුද්‍රීය ප්‍රජාවක් ගොඩනැගීම සඳහා සිය ශක්තිය ඒකරාශී කර ගැනීමට දෙපාර්ශ්වය සූදානම්ය. නීල හවුල්කාරිත්වය උදෙසා සාගර සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට දෙපාර්ශ්වය එකඟ විය.

13.  අධ්‍යාපනය පිළිබඳ සහයෝගීතාව වර්ධනය කිරීමට දෙපාර්ශ්වයම සූදානමින් සිටියි. අවබෝධය සහ මිත්‍රත්වය වැඩි කිරීම සඳහා අධ්‍යාපන ක්ෂේත්‍රයේ හුවමාරුවල වැදගත්කම සම්පූර්ණයෙන්ම හඳුනාගත් අතර, දෙපාර්ශ්වය, ගුරුවරුන්, සිසුන් සහ පර්යේෂකයින් හුවමාරු කර ගැනීම තවදුරටත් වැඩිදියුණු කිරීමට තමන් තුළ ඇති සූදානම ප්‍රකාශ කළේය. චීනය තුළ වැඩිදුර අධ්‍යාපනය හැදෑරීමට කැමැත්තක් දක්වන ශ්‍රී ලාංකික සිසුන්, චීනය විසින් තවදුරටත් දිරිමත් කරනු ලබන අතර ඔවුහු එරටට සතුටින් පිළිගනු ලැබෙති. එමෙන්ම චීන රජයේ ශිෂ්‍යත්ව ලබා දීමෙන් ඔවුන්ට අඛණ්ඩව සහය වීමට චීනය සූදානමින් සිටියි. ලුබාන් වැඩමුළුව ක්‍රියාත්මක කිරීම සඳහා චීනය ශ්‍රී ලංකාව සමඟ කටයුතු කරනු ඇති අතර වෘත්තීය හා තාක්ෂණික පුහුණුව ඔස්සේ ශ්‍රී ලංකාවේ තවත් වෘත්තිකයන් පෝෂණය කරනු ඇත. අධ්‍යාපනය සඳහා  ලබා දෙන චීන සහය අගය කරන ශ්‍රී ලංකාව, චීනය සමඟ එක්ව ඩිජිටල් පන්ති කාමර ව්‍යාපෘතියේ සාර්ථකත්වය සඳහා කටයුතු කරනු ඇත. ශ්‍රී ලංකාවේ චීන භාෂා අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීමට සහ ශ්‍රී ලංකාවේ චීන සංස්කෘතික මධ්‍යස්ථානය හරහා දෙරට අතර සංස්කෘතික හුවමාරු සහ සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමට දෙපාර්ශ්වයම සූදානම්ව සිටියි. චීන විද්‍යා ඇකඩමිය යටතේ ඇති චීන-ශ්‍රී ලංකා අධ්‍යාපන හා පර්යේෂණ ඒකාබද්ධ මධ්‍යස්ථානය සංවර්ධනය කිරීම සහ දෙරටේ විශ්වවිද්‍යාල සහ පර්යේෂණ ආයතනවල විද්‍යාත්මක හා තාක්ෂණික හුවමාරු හා සහයෝගීතාව සහ අධ්‍යාපනය ශක්තිමත් කිරීම සඳහා දෙපාර්ශ්වය අඛණ්ඩව කටයුතු කරනු ඇත.

14.  දෙපාර්ශ්වයම ඔවුන්ගේ දිගුකාලීන මිත්‍රත්වය ඉදිරියට ගෙන යාමට සහ ඔවුන්ගේ ජනතාව සමීප කරවීමට සූදානමින් පසුවෙයි. දෙරට අතර සංචාර සහ ගුවන් සම්බන්ධතා දිරිගැන්වීම සඳහා දෙපාර්ශ්වය බහුවිධ පියවර ගනු ඇත. සේද මාවතේ නගර පිළිබඳ ජාත්‍යන්තර සංචාරක සන්ධානයට තවත් ශ්‍රී ලාංකික නගර එක් කරනු දකින්නට චීනය කැමැත්ත දක්වයි. චීනයේ සහ ශ්‍රී ලංකාවේ සංචාරක ප්‍රවර්ධන කටයුතු කිරීමේදී දෙපාර්ශ්වය එකිනෙකාට සහයෝගය දක්වනු ඇත.

15.  බෞද්ධ ආගම හා බැඳුණු හුවමාරු මත ගොඩනැගී ඇති තාරුණ්‍යය, බුද්ධි මණ්ඩල, ක්‍රීඩා සහ ජනමාධ්‍ය ආදී ක්ෂේත්‍රවල හුවමාරු සහ සහයෝගීතාව ශක්තිමත් කිරීමට සහ පුද්ගල- පුද්ගල සබඳතා සහ සහෝදර නගර අතර පවතින සබඳතා ශක්තිමත් කිරීමට දෙපාර්ශ්වය සූදානමින් පසුවෙයි.

16.  ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශයේ සංවර්ධනය සඳහා චීනය දිගින් දිගමට සහයෝගය ලබා දෙනු ඇත. බ්‍රයිට්නස් ඇක්ෂන් වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා වෛද්‍ය කණ්ඩායම් ශ්‍රී ලංකාවට යැවීම චීනයේ යුනාන් පළාත අඛණ්ඩව කරගෙන යනු ඇත.

17.  සංස්කෘතික උරුමයන් සංරක්ෂණය සඳහා වූ ආසියානු මුලපිරීම පිළිබඳ ජනාධිපති ෂී ජින්පිං මහතාගේ යෝජනාවට ශ්‍රී ලංකාව ලබා දුන් ධනාත්මක ප්‍රතිචාරයත් සහ ආසියාවේ සංස්කෘතික උරුමයන් සඳහා වූ සන්ධානයේ ශ්‍රී ලංකාවේ සහභාගීත්වයත්  චීන පාර්ශ්වයේ පැසසුමට ලක් වේ. මෙම සන්ධානය යටතේ චීනය ශ්‍රී ලංකාව සමඟ ද්විපාර්ශ්වික සංස්කෘතික උරුම සහයෝගීතාව තවදුරටත් ප්‍රවර්ධනය කරනු ඇත.

18.  අධිකරණ, නීතිය ක්‍රියාත්මක කිරීම සහ ආරක්ෂක සහයෝගීතාව ද්විපාර්ශ්වික සහයෝගීතාවේ වැදගත් අංගයක් ලෙස දෙපාර්ශ්වය පිළිගන්නා අතර, දුරකථන මාර්ග හරහා සිදු කෙරෙන වංචා සහ මාර්ගගත ක්‍රමය හරහා කෙරෙන සූදුව වැනි දේශසීමා හරහා කෙරෙන අපරාධ ඒකාබද්ධව මර්දනය කිරීමට දෙපාර්ශ්වයම සූදානම්ව සිටියි. ශ්‍රී ලංකාවේ අධිකරණ, නීතිය ක්‍රියාත්මක කිරීම සහ ආරක්ෂක ක්ෂේත්‍රවල ශක්‍යතා වර්ධනයට සහය වීමට සහ පොලිස් සැපයුම් සඳහා සහය ලබා දීමට චීනය උපරිමයෙන් කටයුතු කිරීමට සූදානම්ය.
19.  මානව වර්ගයා සඳහා වු බෙදා හදාගත් අනාගතයක් සහිත ප්‍රජාවක් සංවර්ධනය කිරීම විෂයෙහිත්, ජනාධිපති ෂී ජින්පින් මැතිතුමා විසින් යෝජනා කරනු ලැබ ඇති ගෝලීය සංවර්ධන මුලපිරීම, ගෝලීය ආරක්ෂක මුලපිරීම හා ගෝලීය ශිෂ්ටාචාර මුලපිරීම විෂයෙහිත් සහය වීමට හා ක්‍රියාකාරීව සහභාගිවීමට තමන් තුළ ඇති කැපවීම ශ්‍රී ලංකාව යළි තහවුරු කළේය. දෙවැනි ලෝක යුද්ධය අවසන් වී නොබෝ කලකින් පිහිටවනු ලැබූ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 80 වැනි සංවත්සරය 2025, එනම් මෙම වසරේදී සනිටුහන් වේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය මධ්‍ය කොට ගත් ජාත්‍යන්තර ක්‍රමය, ජාත්‍යන්තර නීතිය මත පදනම් වූ ජාත්‍යන්තර සාමය සහ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ අරමුණු හා මූලධර්ම මත පදනම් වූ ජාත්‍යන්තර සබඳතා පාලනය කරන මූලික සම්මතයන් එක්ව ආරක්ෂා කිරීමට තමන් තුළ වු කැපවීම දෙපාර්ශ්වය නැවත තහවුරු කළේය. සාමකාමී සහජීවනය පිළිබඳ මූලධර්ම පහට තරයේ අනුගතව සිටින දෙපාර්ශ්වයම, සමාන හා ක්‍රමවත් බහු ධ්‍රැවීය ලෝකයක් සහ විශ්වීය වශයෙන් ප්‍රයෝජනවත් සහ සියල්ලන් ඇතුළත් ආර්ථික ගෝලීයකරණය සඳහා එක්ව පෙනී සිටිමින් ලෝකයේ සියලුම රටවලට සාමය, ආරක්ෂාව, සමෘද්ධිය සහ ප්‍රගතිය සහිත දීප්තිමත් අනාගතයක් නිර්මාණය කිරීම සඳහා කටයුතු කරනු ඇත.

20.  සංචාරය අතරතුරදී, කෘෂිකර්මය, සංචාරක ව්‍යාපාරය, ජීවනෝපාය සහය, ජනමාධ්‍ය සහ සෙසු ක්ෂේත්‍රවල සහයෝගිතා ලියකියැවිලිවලට දෙපාර්ශ්වය අත්සන් තැබීය.

21.  තමාට සහ ශ්‍රී ලංකා දූත පිරිසට දැක්වූ උණුසුම් ආගන්තුක සත්කාරය සම්බන්ධයෙන් චීන රජයට සහ ජනතාවට සිය කෘතඥතාව පළ කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙසට චීන නායතක්වයට ඇරයුම් කළේය. එම කාරුණික ආරාධනයට චීන නායකත්වය කෘතඥතාව පළ කළ අතර, ඒ සම්බන්ධයෙන් රාජ්‍යතාන්ත්‍රික මාර්ග හරහා සන්නිවේදනය පවත්වා ගැනීමට දෙපාර්ශ්වය එකඟ විය.

පුවත්

පුංචි ඡන්දයේ ඇප මුදල් නැවත ගෙවීමට පියවර

Published

on

By

2023 වසරේ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා පිළිගත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් විසින් තැන්පත් කරනු ලැබූ තැන්පතු, මැතිවරණ කොමිෂන් සභාවේ නියමය පරිදි ආපසු ගෙවීමට තීරණය කර තිබේ.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා නිවේදනයක් නිකුත් කරමින් මේ බව දැනුම් දී තිබුණි

2023 වර්ෂයේ දී පැවැත්වීමට නියමිතව තිබුණු පළාත් පාලන ආයතන ඡන්ද විමසීම කල් තබන ලදී.

පසුගිය 17 වනදා පාර්ලිමේන්තුවේ සම්මත වූ 2025 අංක 1 දරන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනතේ 2(3) වගන්තිය අනුව එම තැන්පතු සිදුකරනු ලැබූ තැනැත්තා වෙත ආපසු ගෙවිය යුතු යැයි දක්වා තිබේ.

එමෙන්ම තැන්පතු සිදුකරනු ලැබූ තැනැත්තාට ඒ වෙනුවෙන් නිකුත් කර තිබූ ලදුපත නැවත්ත ඉදිරිපත් කළ යුතුය.

ඒ අනුව තැන්පත් කරන ලද ඇප මුදල් ආපසු ගෙවීම සඳහා,

•එකී ආඥා පනතේ 29(3) වන උප වගන්තිය යටතේ, ඇප තැන්පත් මුදල් භාර අවස්ථාවේ දී ඇප මුදල් තැන්පත් කරන ලද තැනැත්තා වෙත ලබාදෙන ලද ලදුපතෙහි මුල් පිටපත; හා

•ඇප තැන්පත් මුදල් ආපසු ඉල්ලීමේ ලිපියක්; සමඟ

ඇප මුදල් තැන්පත් කරන ලද අදාළ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය වෙත 2025.02.28 දිනට පෙර භාරදිය යුතු බව අදාළ නිවේදනයේ සඳහන් වේ.

2025.02.28 දිනට පෙර භාරදෙනු ලබන ඉල්ලීම් සඳහා අදාළ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල මගින් අදාළ තැනැත්තන් වෙත ඇප තැන්පත් මුදල් ආපසු ගෙවීමට නොපමාව කටයුතු කරන ලෙසට වැඩිදුරටත් නිවේදනයෙන් දැනුම් දී තිබේ.

Continue Reading

පුවත්

රතු නිවේදන නිකුත් කර තිබූ අපරාධකරුවන් දෙදෙනෙකු දිවයිනට

Published

on

By

රතු නිවේදන නිකුත් කර තිබූ මෙරට තුළ අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු අද (19) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත්  තිබුණි.

මොවුන් අතරින් පළමු වැන්නා නඳුන් චින්තක නොහොත් හරක් කටා නැමැති සංවිධානාත්මක අපරාධකරුට මෙරටින් පළා යාම සඳහා උදව් උපකාර කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කළ රවිඳු සන්දීප ගුණසේකරයි .
ඔහු කන්තලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අනෙක් පුද්ගලයා මිනීමැරුම් , වෙඩි තැබීම් රාශියකටම , ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ චෝදනා ලබා සිටි මීගමුව ප්‍රදේශයේ පදිංචි අමිල චන්ද්‍රානන්ද යන අයයි

මොවුන් දෙදෙනා පස්වරු 12.50 ට ඉන්දියාවේ චෙන්නායි සිට ඉන්ඩිගෝ ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත ගෙනැවිත් තිබේ.

ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු මොවුන් දෙදෙනා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොළඹ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත රැගෙන යාමට පියවර ගෙන තිබුණි.

තවත් මෙවැනිම රතු නිවේදන නිකුත් කළ අපරාධකරුවන් දෙදෙනෙකු අද රාත්‍රියේ  රැගෙන ඒමට නියමිතය.

Continue Reading

පුවත්

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට (Update)

Published

on

By

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු පුත්තලම පාලවිය ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මොහොමඩ් අස්මාන් ෂෙරිෆ්ඩීන් නැමති මෙම පුද්ගලයා වයස අවුරුදු 34ක් වූ පුද්ගලයෙකි.


(පෙර පුවත 2025 පෙබරවාරි 19, ප.ව.3:19)

ගණේමුල්ල සංජීව ඝාතනය ගැන පොලීසිය කතා කරයි

අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ අංක 5 මහෙස්ත්‍රාත් අධිකරණය තුළ ගණේමුල්ලේ සංජීව වෙඩිතබා ඝාතනය කිරීම සඳහා නීතිඥවරයෙකු සහ නීතිඥවරියක් ලෙස වෙස්වලාගත් දෙදෙනෙකු පැමිණ ඇතැයි පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා කියා සිටියේය.

නීතිඥයෙකු ලෙස වෙස්වලාගත් පුද්ගලයා හිස් අතින් අධිකරණය තුළට පැමිණ ඇති බවත් ඉන් අනතුරුව අදාළ කාන්තාවගෙන් ගිනිඅවිය ලබාගෙන ඇති බවත් සිදුකළ පරීක්ෂණ අනුව හෙළි වී ඇතැයි පොලීසිය පැවසීය.

ගණේමුල්ල සංජීව විත්තු කූඩුවේ සිට ඉන් බැසීමට ආසන්න වෙන අවස්ථාවේ අදාළ පුද්ගලයා විසින් වෙඩිතැබීම සිදුකර ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ අංක 5 මහෙස්ත්‍රාත් අධිකරණය තුළ ගණේමුල්ලේ සංජීව අද (19) උදෑසන වෙඩිතබා ඝාතනය කළ අතර මේ සම්බන්ධයෙන් විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසය ඇතුළු විශේෂ කණ්ඩායම් 5ක් යටතේ සිදුකරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

මේ අතර ගණේමුල්ල සංජීව නමැත්තා වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සිදුකරන විමර්ශන සඳහා අවශ්‍ය කරන සියලු CCTV දර්ශන පොලීසිය වෙත ලබාදීමට පියවර ගන්නා ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය එහි රෙජිස්ටර්වරයාට නියම කර තිබේ.

මෙම සිද්ධියට අදාළව කෙසෙල්වත්ත පොලීසිය විසින් දහවල් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය ඉදිරියේ කරුණු වාර්තා කළේය.

අධිකරණ නිලධාරීන් ඇතුළු සෙසු පුද්ගලයින්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සිදුවන බවත් ඉදිරි විමර්ශන කටයුතු සඳහා සීසීටීවී දර්ශන ලබා ගැනීමට අවශ්‍ය නියෝග නිකුත් කරන ලෙසත් පොලීසිය අධිකරණයෙන් ඉල්ලා තිබුණි.

එම ඉල්ලීම පිළිගත් ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විමර්ශන කටයුතු සඳහා පොලීසියට අවශ්‍ය කරන සීසීටීවී දර්ශන මුදාහැරීමට පියවර ගන්නා ලෙස දැන්වීය.

(පෙර පුවත 2025 පෙබරවාරි 19පෙ.ව.10.25)


අලුත්කඩේ උසාවියේ වෙඩි තැබීමකින් ගණේමුල්ල සංජීව මරුට

අලුත්කඩේ අධිකරණ සංකීර්ණය ඇතුළතදී  වෙඩි තැබීමක් සිදුව තිබේ.

පොලීසිය පැවසුවේ, වෙඩි තැබීමෙන් සංවිධානාත්මක අපරාධකල්ලි නායකයෙකු වන ගණේමුල්ල සංජීව නැමැත්තා ජීවිතක්ෂයට පත්ව ඇති බවය.

ගණේමුල්ල සංජීව නැමැත්තාව නඩු කටයුත්තක් සඳහා බූස්ස බන්ධනාගාරයේ සිට අද (19) පෙරවරුවේ අලුත්කඩේ අධිකරණය වෙත රැගෙනවිත් තිබුණි.

නීතිඥවරයෙකු ලෙස වෙස්වලාගෙන පැමිණි පුද්ගලයෙකු විසින් වෙඩිතැබීම සිදුකර ඇතැයි අනාවරණය වී තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved