සිලෝන් ටී වෙළඳ නාමය ගෝලීය වශයෙන් ප්‍රවර්ධනය කිරීමට රූපවාහිනී දැන්වීම් නිර්මාණය වෙනුවෙන් ලංකා තේ මණ්ඩලය රුපියල් මිලියන 174ක් හෙවත් කෝටි 17.4ක මුදලක් වියදම් කළත් එම දැන්වීම් රූපවාහිනී නාළිකාවල විකාශය කර නැති බව විගණකාධිපති දෙපාර්තමේන්තුව හෙළි කර තිබේ.
මෙය ඇතුළු අක්‍රමිකතා රැසක් 2023 වර්ෂයට අදාලව ලංකා තේ මණ්ඩලය පිළිබඳ විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ වාර්තාවේ සඳහන්ය.
එම වාර්තාවෙනි සඳහන් වන්නේ, සිලෝන් ටී සඳහා ගෝලිය ප්‍රවර්ධන සහ අලෙවි වැඩසටහන යටතේ සාම්ප්‍රදායික ඉහළ මට්ටමේ ප්‍රචාරණය සඳහා රූපවාහිනී මාධ්‍යය යොදාගැනීමට ඉංග්‍රීසි භාෂාවෙන් රූපවාහිනී වෙළඳ දැන්වීම් නිර්මාණයට හා එය චීන, ජපන්, අරාබි, යුක්රේන්, ජර්මන් සහ තුර්කි භාෂා මාධ්‍යයන්වලට සිදුකරන ලද පරිවර්තන සඳහාද 2016 සිට 2020 වර්ෂය දක්වා රුපියල් 174,332,138ක වියදමක් දරා තිබුණු බවය.
එම වෙළඳ දැන්වීම නිර්මාණය කිරීමේ මූලික අරමුණ වූ රූපවාහිනී මාධ්‍ය තුළ ප්‍රචාරණය සිදු කර ගැනීමට අවශ්‍ය මාධ්‍ය මිලදී ගැනීම හා ඒ සම්බන්ධ සැලසුම් සකස් කර නොතිබුණු බැවින් රූපවාහිනී මාධ්‍ය තුළ ප්‍රචාරණයක් සිදු කර නොතිබුණු බවයි එහි වැඩිදුරටත් සඳහන් වේ.
එමෙන්ම රුපියල් 39,832,808ක වියදමින් නිර්මාණය කරන ලද නිර්මාණාත්මක කාර්යයන් 31ක්ද සමාලෝචිත වර්ෂය අවසාන වන විටත් අදාල කාර්යයන් වෙනුවෙන් උපයෝජනය කර නොමැති බව නිරීක්ෂනය වූ බවයි පැවසේ.
මීට අමතරව සිලෝන් ටී නාමය වෙනුවෙන් www.pureceylontea.com නම් වූ වෙබ් අඩවියක් සකස් කර ඇතත්, එයට ප්‍රවේශ වීම ඉතා අඩු බැවින් ඒ වෙනුවෙන් වියදම් කළ රුපියල් මිලියන 172ක මුදලින් අපේක්ෂිත අරමුණු ඉටු නොවූ බවත් විගණකාධිපති වාර්තාව සඳහන් කරයි.
ශ්‍රී ලංකා තේ ගෝලීය වශයෙන් ප්‍රවර්ධනය කිරීම සඳහා 2019- 2023 කාලසීමාව තුළ රුපියල් මිලියන 107ක් වියදම් කර තිබූ නමුත්, චිලී රාජ්‍යයට ඉදිරිපත් කළ මාධ්‍ය සැලසුම හැර අන් සියළු රටවල්වල මාධ්‍ය සැලසුම් ක්‍රියාත්මක කර නොතිබුණු බවත් ඒවායේ කාලය ඉකුත් වී ඇති බවත් විගණකාධිපති වාර්තාව සඳහන් කරතිබේ.
සිලෝන් ටී වෙළඳ නාමය ප්‍රවර්ධනය කිරීම සාර්ථක නොවීම හේතුවෙන් 2011 දී 18%ක් වූ ගෝලීය වෙළඳපොළේ ශ්‍රී ලංකාව සතු වූ කොටස 2023 වන විට 3.88% දක්වා කඩා වැටී ඇති බවත්, වෙළඳපොළ වර්ධනය කරගැනීම සඳහා සුදුසු ක්‍රියාමාර්ග ගෙන නැති බවත් විගණකාධිපති වාර්තාව තවදුරටත් සඳහන්ය.