Connect with us

පුවත්

ෂාෆ්ටර්ගේ ඝාතනය වෙනතකට හැරෙයි; බිරිඳගෙනුත් ප්‍රකාශක්

Published

on

ජනශක්ති සමාගමේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ජංගම දුරකතනයෙන් ක්‍රිකට් විස්තර ප්‍රචාරක බ්‍රයන් තෝමස් මහතාගේ දුරකතනයට කෙටි පණිවිඩයක් යොමු වී ඇත්තේ ෂාෆ්ටර් මහතා බොරැල්ල පොදු සුසාන භූමියේදී අපරාධකරුවන්ගේ ගොදුරක් බවට පත් වීමෙන් අනතුරුව බව ඒ මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් මෙතෙක් සිදු කර ඇති විමර්ශනවලින් පෙනී ගොස් තිබේ.

ඒ අනුව පැහැදිලි වී ඇත්තේ එම කෙටි පණිවිඩය දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ඝාතකයා විසින් බ්‍රයන් තෝමස් මහතාගේ ජංගම දුරකතනයට යොමු කර ඇති බවය.

එසේම කුරුඳුවත්ත මල්පාරේ පිහිටි සිය නිවසේ සිට ජනශක්ති සමාගමේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතා පසුගිය 15 වැනිදා ගමන්ගත් මෝටර් රථය කෙළින්ම පැමිණ ඇත්තේ බොරැල්ල පොදු සුසාන භූමිය වෙත බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරනු ලබන විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

දිනේෂ් ෂාෆ්ටර් මහතා සවස 2.06ට පමණ නිවෙසින් පිටත්ව ඇති බවත් නිවෙසින් පිටත් වීමෙන් පැය භාගයක් හෝ ඒ ආසන්න කාලයක් තුළ ඔහුට මේ අපරාධය සිදුව ඇති බවත් විමර්ශන තොරතුරු ඔස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන කණ්ඩායම් අනුමාන කරයි.

දිනේෂ්ගේ හා බ්‍රයන් තෝමස්ගේ දුරකතන වෝහාරික පරීක්ෂණයකට

දිනේෂ් ෂාෆ්ටර් මහතා සිය නිවෙසින් පිටත් වූ අවස්ථාවේ සිට ඔහුගේ ගමන්මඟ ආරක්ෂක කැමරා දත්ත විශ්ලේෂණය තුළින් කළ පරීක්ෂාවේදී ඔහුගේ මෝටර් රථය බොරැල්ල පොදු සුසාන භූමිය වෙත කෙළින්ම පැමිණ ඇති බව පෙනී ගොස් තිබේ.

අතරමඟදී මෝටර් රථයට යම් පුද්ගලයෙක් ගොඩවූවාද නැතිනම් ඔහු යම් පුද්ගලයෙක් මුණගැසීමේ අපේක්ෂාවෙන් සුසාන භූමියට ගියේද යන්න පිළිබඳව තවදුරටත් විමර්ශන සිදුකරමින් ඇත.

මෝටර් රථය සුසාන භූමියට ඇතුළු කර නතර කර තිබුණු ස්ථානයේ පිහිටීම නිරීක්ෂණය කිරීමේදී බොරැල්ල පොදු සුසාන භූමිය ගැන හොඳ අවබෝධයක් ඇති අයෙක් මේ අපරාධයට සම්බන්ධව ඇති බවට විමර්ශන නිලධාරීන් අනුමාන කර තිබේ.

“ඔයා එනකම් මම ඉන්නවා”

දිනේෂ් ෂාෆ්ටර් මහතා සමඟ මුදල් ගනුදෙනුවක් සම්බන්ධයෙන් ආරවුලක් පවතින ක්‍රිකට් විස්තර විචාරක බ්‍රයන් තෝමස් මහතාගෙ ජංගම දුරකතනයට දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ජංගම දුරකතනයෙන් ඔයා එනකම් මම ඉන්නවා යන අදහස ඇති කෙටි පණිවුඩයක් යොමු වී ඇත්තේ ද දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මෝටර් රථය බොරැල්ල පොදු සුසාන භූමියට ඇතුළු කර තිබියදී බවද විමර්ශනවලින් පෙනී ගොස් තිබේ.

බොහෝ විට එම පණිවිඩය දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ජංගම දුරකතනයෙන් යොමු කර ඇත්තේ ඔහුව එම ස්ථානයට කැඳවා එම අපරාධය කළ පුද්ගලයා හෝ පුද්ගල කණ්ඩායම විසින් බවට සැකයක් පවතී.

එම සැකය මතුවී ඇත්තේ එම කෙටි පණිවුඩය යොමුකර ඇත්තේ සවස 2.30න් පසුව වීම නිසාය.

මේ ඝාතන සැලසුම්කරුවන් උත්සහ ගත්තේ බ්‍රයන් තෝමස් මහතාව එම ස්ථානයට ගෙන්වා ඔහුව මේ අපරාධයට කොටුකරලීමට විය හැකි බවට සැකයක්ද මේ වන විට මතුව තිබේ.

එම කෙටි පණිවිඩයට බ්‍රයන් තෝමස් මහතාද පිළිතුරු පණිවුඩයක් යොමු කරමින් “මට ඔයා එක්ක කිසි කතාවක් නැහැ. මට ඔයාව හම්බවෙන්න උවමනාවක් නැහැ” යන අදහස ඇති කෙටි පණිවුඩයක් ඉංග්‍රීසියෙන් යොමු කර ඇති බව ද විමර්ශනවලින් අනාවරණය වී ඇත.

එසේ පණිවිඩ හුවමාරු වූ බ්‍රයන් තෝමස් සහ දිනේෂ් ෂාෆ්ටර් මහත්වරුන්ගේ ජංගම දුරකතන දෙක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිය භාරයට ගෙන පරිගණක වෝහාරික පරීක්ෂණාගාරයට යොමු කර ඒ සම්බන්ධයෙන් බොහෝ තොරතුරු මතුකරගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කළේය.

ඝානයට බ්‍රයන්ගේ සම්බන්ධයක් ගැන හෝඩුවාවක් නෑ

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කරනු ලැබුවේ බ්‍රයන් තෝමස් මහතාගේ නිවසේ ඇති ආරක්ෂක කැමරා පද්ධතිය පවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනයකට ලක්ව ඇති බවය.

එහිදී එම ඝාතනය සිදුවූ කාල වකවානුව තුළ බ්‍රයන් තෝමස් මහතා නිවෙසින් බැහැර ගිය බවට හෝ මේ අපරාධයට ඔහුගේ සම්බන්ධයක් ඇතැයි මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැති බවද ඔහු කියා සිටී.

මේ ඝාතන විමර්ශනය පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සංවිධානාත්මක අපරාධ හා මනුෂ්‍ය ඝාතන විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් පුද්ගලයන් 23 දෙනකුගෙන් ප්‍රකාශ ලබා ගෙන ඇති බවද නිහාල් තල්දූව මහතා පැවසීය.

ඒ අය අතර දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ පවුලේ සාමාජිකයන් කිහිප දෙනෙක් මෙන්ම බොරැල්ල සුසාන භූමියේ සේවකයන් කිහිප දෙනෙක්ද සිටින බව නිහාල් තල්දූව මහතා කීය.

ආරක්ෂක කැමරා සහ දුරකතන විශ්ලේෂණ මෙන්ම ඇසින් දුටු සාක්ෂි පදනම් කරගෙන විමර්ශන ක්‍රියාත්මක වන බවද නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.

ඔහු පවසන්නේ මේ විමර්ශනය පැතිකඩ කිහිපයක් ඔස්සේ සිදුකරන බවය.

දිනේෂ් ෂාෆ්ටර් මහතා ව්‍යාපාරිකයෙක් මෙන්ම විවිධ ක්ෂේත්‍ර සමඟ සම්බන්ධකම් පැවැත්වූ අයෙක් වූ බැවින් ඒ හැම පැත්තක් කෙරෙහිම විමර්ශන වලදී අවධානය යොමු කර ඇති බවද නිහාල් තල්දූව මහතා කීය.

මෙහිදී දිනේෂ් ෂාෆ්ටර් මහතාට එරෙහිව කිසියම් පැමිණිල්ලක් හෝ ඔහු සමඟ යම් ආරවුලකින් සිටි පුද්ගලයන් සිටියේදැයි කියාත් විමර්ශන පැවැත්වෙන බව නිහාල් තල්දූව මහතා කීය.

එහෙත් මෙතෙක් එවැනි අනාවරණයක් නැතැයිද නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.

විද්‍යාත්මක මෙන්ම තාක්ෂණික සාක්ෂි රැසක් ඔස්සේ මේ වන විට විමර්ශන පැවැත්වෙන බවත් පොලිසියේ අපේක්ෂාව කඩිනමින් විමර්ශන පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගැනීම බවත් නිහාල් තල්දූව මහතා කීය.

මෙම අපරාධය සිදුවූ දින දිනේෂ් ෂාෆ්ටර් මහතා නිවෙසින් පිටත්ව ඇත්තේද තමා බොරැල්ලට යන බව බිරියට කියා බව මුල් ප්‍රකාශවලින් කියැවෙන බැවින් ඒ ගැන ඇගෙන් වැඩිදුර තොරතුරු විමසීමටද නියමිතව ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් කීය.

දිනේෂ් ෂෆ්ටර් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුවන තුරු පවුලේ අයගෙන් මේ මරණය ගැන වැඩිදුර විමසීම්වලට පොලිසිය යොමුවී නැත.

බිරිඳගෙනුත් ප්‍රකාශයක්

ඊයේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කළ බැවින් හෙට සිට එම කටයුත්තට අත තබනු ඇතැයිද එම නිලධාරියා කීය.

සිය සැමියා පැය භාගයකින් පැමිණෙන බව කියමින් නිවෙසින් පිටත්ව ගිය බව දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ බිරිය මුල් අවස්ථාවේදී පොලිසියට පවසා තිබුණි.

හරියටම පැය භාගයක් ගෙවී යන විට ඇය සිය සැමියාට දුරකතන ඇමතුමක් ගෙන ඊට ප්‍රතිචාර නොවූ තැන කලබල වූයේ සිය සැමියාට යම් තර්ජනයක් තිබුණු බැවින් දැයි කියා දීර්ඝ වශයෙන් ඇගෙන් විමසීමට ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු අනාවරණය කළේය.

දිනේෂ් ෂාෆ්ටර් මහතා තමා සිටිනා තැන හඳුනා ගැනීමට හැකි දුරකතනයේ පහසුකම සිය බිරියට අමතරව ව්‍යාපාරික සඟයාටද යොමු කර තිබීම ගැනද විමර්ශනවලදී විශේෂ අවධානයක් යොමුකර තිබේ.

දිනේෂ් ෂාෆ්ටර් මහතා බ්‍රයන් තෝමස් හමුවීමට යන බව තමාට කීවේ යැයි පොලිසියට කියා ඇත්තේ සමාගම් අධ්‍යක්ෂවරයෙක් වන එම ව්‍යාපාරික සඟයාය.

අපරාධකරුවන්ට ගොදුරු වී සිටි දිනේෂ් ෂාෆ්ටර් මහතාව මුලින්ම හමුවන්නේද ඔහුටය.

කෙටි පණිවුඩය ගැන බ්‍රයන් තෝමස් මහතා පවසන හැටියට තමාට එවැනි හමුවක් ගැන දිනේෂ් ෂාෆ්ටර් මහතාගෙන් ආරාධනාවක් ලැබෙන්නේ එදින 2.30 හෝ ඒ ආසන්න කාලයකදී ලැබෙන කෙටි පණිවුඩය හරහාය.

සැබෑ ලෙසම දිනේෂ් ෂාෆ්ටර් මහතා නිවෙසින් පිටත් වූයේ බ්‍රයන් තෝමස් හමුවීමට නම් බොරැල්ල පොදු සුසාන භූමියේ සිට ඔහුට කෙටි පණිවුඩයක් යොමු නොකරන බවත් කාර්ය බහුල ව්‍යාපාරිකයෙක් වන ඔහු කල්වේලා ඇතිව වේලාවල් වෙන් කරගන්නා බවත් විමර්ශනවලින් පෙනී ගොස් ඇත.

දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ජංගම දුරකතනයෙන් බ්‍රයන් තෝමස් මහතාගේ දුරකතනයට කෙටි පණිවුඩය ගොස් ඇත්තේද බොරැල්ල සුසාන භූමිය අවට දුරකතන සංඥා කුලුනුවලින් බවද පෙනී ගොස් ඇත.

“සතුරෙකු අතින් මේ ඝාතනය වෙලා තියෙන්නේ. සතුරා ගැන සොයා ගන්න හැම ක්ෂේත්‍රයක් ගැනම සොයා බලනවා“ යනුවෙන් මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රතකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා කීය.

දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ඝාතන විමර්ශන මේ වන විට සිදුවන්නේ මුල් අවස්ථාවේ පැවති තත්ත්වයට වඩා අලුත් මඟක බවත් මේ ඝාතනය සම්බන්ධයෙන් සැක කටයුතු තොරතුරු රැසක් අනාවරණය වෙමින් ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තොරතුරු සඳහන් කරයි.

මේ වන විට ඇත්තේ එම තොරතුරු වඩාත් තහවුරු කර ගැනීමේ කටයුතු වන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

එම තහවුරු කර ගැනීමෙන් අනතුරුව ඇතැම් විට හිතා ගැනීමටත් නොහැකි සිදුවීම් රැසක් අනාවරණය වනු ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තොරතුරු වැඩිදුරටත් අනාවරණය කළේය.

මේ ඝාතනය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන වලට අදාළව ඒ මහතා නිවෙසේ සිට කනත්ත දක්වා පැමිණි මාර්ගයේ තිබූ CCTV 42ක්ද පරීක්ෂා කර තිබේ.

මූලාශ්‍රය – දිනමිණ

පුවත්

ව්‍යවස්ථාදායක සභාවේ ලේකම් තනතුරට ඇඩ් එකක් දාන්න යයි

Published

on

By

පුරප්පාඩු වී ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් තනතුර පිරවීම සඳහා පුවත්පත් දැන්වීමක් පළකිරීමට එම සභාව තීරණය කර ඇතැයි වාර්කා වේ.
මේ අතර, “ලංකාදීප” පුවත්පත වාර්තා කර ඇත්තේ එම ධූරයට 

විශ්‍රාමික විනිසුරුවරයකු පත් කිරීම කෙරෙහි එම සභාවේ අවධානය යොමුවී ඇති බවයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් ධූරයට මෙතෙක් පත් කෙරුණේ සේවයේ  සිටින පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා බවද එහි දැක්වේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම්වරයා ලෙස කටයුතු කළ පාර්ලිමේන්තුවේ හිටපු මහ ලේකම් ධම්මික දසනායක මහතා පසුගියදා හදිසියේම එම තනතුරින් ඉල්ලා අස්විය. 

ඔහු ඉල්ලා අස්වීමේ ලිපිය  බාර දෙමින් පැවසුවේ පෞද්ගලික හේතු මත තනතුරින් ඉවත් වන බවයි.

ධම්මික දස නායක මහතා පාර්ලිමේන්තු මහ ලේකම් ධූරයෙන් පසුගිය 2023 වසරේදී විශ්‍රාම ලැබීමෙන් පසු ඔහුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් තනතුරට පත්කෙරිණ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවමෙරට පරිපාලන ව්‍යුහයේ වැදගත් තීරණාත්මක ආයතනයක් ලෙස සැලකේ. 

නීතිපති, පොලිස්පති, ඉහළ උසාවිවල විනිසුරුවරුන් යනාදීන්  පත් කිරීම අනුමත කරනු ලබන්නේ මෙම සභාවෙනි.

Continue Reading

පුවත්

යුද ජයග්‍රහණයට අදට වසර 18යි

Published

on

By

දශක තුනකට අධික කාලයක් මෙරට පැවති එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජයට පත් කර අදට (18) වසර 16ක් සපිරේ.

2009 වසරේ මැයි 18 වනදා නන්දිකඩාල් කලපුවේ දී එල්.ටී.ටී.ඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් රණවිරුවන් අතින් ජිවිතක්ෂයට පත්විමත් සමග එතෙක් පැවති කුරිරු යුද්ධය නිමාවට පත් කෙරුණි.

ලොව විශාලතම මානුෂිය මෙහෙයුම මගින් ප්‍රාණ ඇපයේ සිටි සිවිල් වැසියන් දහස් ගණනක් එල්.ටී.ටී.ඊ ග්‍රහණයෙන් මුදාගැනිමේ ගෞරවය ද මෙරට ආරක්ෂක අංශ වෙත හිමි වේ.

යුධ ජයග්‍රහණයට වසර 16ක් සපිරීම නිමිත්තෙන් “ජාතික විජයග්‍රාහි සැමරුම් උත්සවය” හෙට (19) දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ.

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි රණවිරු ස්මාරකය අභියස දී පස්වරු 4 සිට 6 දක්වා මෙම සැමරුම් උත්සවය පැවැත්වීමට නියමිතයි.

නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම ජාතික රණවිරු අනුස්මරණ උත්සවය සඳහා ත්‍රස්තවාදය නිමා කිරීමට ත්‍රිවිධ හමුදාවට නායකත්වය ලබාදුන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ සහ මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක ද සහභාගී වීමට නියමිතව තිබේ.

මේ අතර දේශප්‍රේමී ජාතික පෙරමුණ ඊයේ මාධ්‍ය හමුවක් පවත්වමින් ඉල්ලීමක් කළේ ජාතික රණවිරු දින සැමරුමට සමගාමීව අද දිනයේ සෑම නිවසකම ජාතික කොඩියක් එසවීමට පියවර ගන්නා ලෙසයි.

Continue Reading

පුවත්

තුසිත, හල්ලොලුවට වෙඩි තැබීමේ සිද්ධියේ පරීක්ෂණ CCDයට බාරදෙයි

Published

on

By

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන තුසිත හල්ලොලුව මහතා ගමන් කළ රථය ඉලක්ක කරගනිමින් සිදුකළ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාර දී තිබේ.

වැඩබලන පොලිස්පතිවරයාගේ නියෝග මත අදාළ සිද්ධියේ පරීක්ෂණ කටයුතු කොළඹ අපරාධ කොට්ඨාසයට භාර දී  ඇති බව පොලීසිය පවසයි.

කොළඹ, නාරාහේන්පිට දාබරේ මාවතේදී ඊයේ (17) රාත්‍රියේ මෙම වෙඩි තැබීමක් සිදුකර තිබිණි.

රථයේ ඉදිරිපස වීදුරුවට වෙඩි වැදී තිබුණත් එහි ගමන් කළ තුසිත හල්ලොලුව මහතාට හෝ ඔහුගේ නීතිඥවරයාට කිසිඳු හානියක් සිදුව නොතිබිණි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ වෙඩි තැබූ පුද්ගලයන් පහරදීමක්ද සිදුකර ඇති අතර පහරකෑමට ලක්වූ තුසිත හල්ලොලුව මහතා රෝහල්ගත කර ඇති බවය.

මෙම වෙඩි තැබීමෙන් පසු තුසිත හල්ලොලුව මහතා සතුව තිබූ ලිපිගොනුවක් කිසියම් අයෙකු විසින් පැහැරගෙන ගොස් ඇති බව ද වාර්තා වේ.

වෙඩි තැබූ පුද්ගලයන් පලාගොස් ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved