ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණයට හේතුව තීරණය කර ගැනීම සඳහා පත්කළ පංච පුද්ගල අධිකරණ විශේෂඥ වෛද්‍ය කමිටුව මෙතෙක් ඒ සම්බන්ධයෙන් සොයාගත් කරුණු විශ්ලේෂණය කිරීමේ අරමුණින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ දී දෙදින සාකච්ඡාවක් ආරම්භ කර තිබේ.
මෙම සාකච්ඡාව ඊයේ (23) ආරම්භ කළ අතර, එය අද (24) දිනයේදී ද පැවැත්වීමට නියමිතය.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධිකරණ විද්‍යා දෙපාර්තමේන්තුවේ විශේෂඥ අධිකරණ වෛද්‍ය, මහාචාර්ය දිනේෂ් ප්‍රනාන්දු, කොළඹ විශ්වවිද්‍යාලයේ අධිකරණ විද්‍යා දෙපාර්තමේන්තුවේ විශේෂඥ අධිකරණ වෛද්‍ය මහාචාර්ය අසේල මෙන්ඩිස්, රුහුණ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධිකරණ විද්‍යා දෙපාර්තමේන්තුවේ විශේෂඥ අධිකරණ වෛද්‍ය, මහාචාර්ය යූ.සී.ඩී. පෙරේරා, මහනුවර ජාතික රෝහලේ හිටපු විශේෂඥ අධිකරණ වෛද්‍ය එස්. ශිවසුබ්‍රමනියම්, ගාල්ල කරාපිටිය රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී පී.ආර්. රුවන්පුර යන මහත්වරු මෙම පංච පුද්ගල කමිටුව නියෝජනය කරති.
ෂාෆ්ටර් මහතාගේ මරණය සියදිවි නසා ගැනීමක් ද නැතහොත් ඝාතනයක් ද යන්න සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් මතුවීම නිසා ඒ සම්බන්ධයෙන් සොයා බලා අවසන් තීරණයක් දැනුම් දීම මෙම පංච පුද්ගල විශේෂඥ අධිකරණ වෛද්‍ය කමිටුවට පැවරී ඇත.
ෂාෆටර් මහතාගේ දේහය යළි ගොඩගෙන කරාපිටිය රෝහලේ දී යළි පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කළ අතර, ඊට අදාළව මෙතෙක් ලැබී ඇති වාර්තා සහ කරුණු සමාලෝචනය කිරීම අදාළ දෙදින සාකච්ඡාවේ අරමුණ බව පංච පුද්ගල කමිටුව සඳහන් කරයි.
මේ ආකාරයට සාකච්ඡා වට කිහිපයක් ඉදිරියේ දී පැවැත්වීමට නියමිත බවද මේ අතර වාර්තා වේ.
මූලාශ්‍රය – දිනමිණ