නැවත සංශෝධනය කරන ලද ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ගැසට් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී ඇත.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරමින් ත්‍රස්ත විරෝධී පනත හඳුන්වා දීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරන ලද පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළකර ඉන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා 2022 සැප්තැම්බර් 05දා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දුන් අතර, ඒ අනුව එකී පනත් කෙටුම්පත 2022 මාර්තු 22දා රජයේ ගැසට් පත්‍රයේ පළ කෙරුණි.
පසුව, අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය විසින් ඉලෙක්ට්‍රොනික සහ විද්‍යුත් මාධ්‍ය ඔස්සේ මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පාර්ශවයන්ගෙන් විධිමත් පරිදි අදහස් හා යෝජනා කැඳවා තිබුණු අතර ඇතැම් පාර්ශවයන් සමඟ ආමාත්‍යවරයා සාකච්ජා ද පවත්වා ඇත.
ඒ අනුව, ඉදිරිපත් කරනු ලැබූ සියලු අදහස් හා යෝජනා සැලකිල්ලට ගනිමින් රජයේ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ ඇති මුල් පනත් කෙටුම්පත නැවත සංශෝධනය කර නව පනත් කෙටුම්පතක් නීති කෙටුම් සම්පාදක මගින් පිළිවෙළ කිරීමට අවශ්‍ය පියවර ගනු ලැබ ඇත.
එම නව පනත් කෙටුම්පත සඳහා නීතිපතිවරයාගේ නිෂ්කාශනය ලැබී ඇති අතර, ඒ අනුව, එය රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවී ඇත.