ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු පුත්තලම පාලවිය ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මොහොමඩ් අස්මාන් ෂෙරිෆ්ඩීන් නැමති මෙම පුද්ගලයා වයස අවුරුදු 34ක් වූ පුද්ගලයෙකි.
(පෙර පුවත 2025 පෙබරවාරි 19, ප.ව.3:19)
ගණේමුල්ල සංජීව ඝාතනය ගැන පොලීසිය කතා කරයි
අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ අංක 5 මහෙස්ත්‍රාත් අධිකරණය තුළ ගණේමුල්ලේ සංජීව වෙඩිතබා ඝාතනය කිරීම සඳහා නීතිඥවරයෙකු සහ නීතිඥවරියක් ලෙස වෙස්වලාගත් දෙදෙනෙකු පැමිණ ඇතැයි පොලීසිය පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා කියා සිටියේය.
නීතිඥයෙකු ලෙස වෙස්වලාගත් පුද්ගලයා හිස් අතින් අධිකරණය තුළට පැමිණ ඇති බවත් ඉන් අනතුරුව අදාළ කාන්තාවගෙන් ගිනිඅවිය ලබාගෙන ඇති බවත් සිදුකළ පරීක්ෂණ අනුව හෙළි වී ඇතැයි පොලීසිය පැවසීය.
ගණේමුල්ල සංජීව විත්තු කූඩුවේ සිට ඉන් බැසීමට ආසන්න වෙන අවස්ථාවේ අදාළ පුද්ගලයා විසින් වෙඩිතැබීම සිදුකර ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.
අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ අංක 5 මහෙස්ත්‍රාත් අධිකරණය තුළ ගණේමුල්ලේ සංජීව අද (19) උදෑසන වෙඩිතබා ඝාතනය කළ අතර මේ සම්බන්ධයෙන් විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසය ඇතුළු විශේෂ කණ්ඩායම් 5ක් යටතේ සිදුකරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
මේ අතර ගණේමුල්ල සංජීව නමැත්තා වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සිදුකරන විමර්ශන සඳහා අවශ්‍ය කරන සියලු CCTV දර්ශන පොලීසිය වෙත ලබාදීමට පියවර ගන්නා ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය එහි රෙජිස්ටර්වරයාට නියම කර තිබේ.
මෙම සිද්ධියට අදාළව කෙසෙල්වත්ත පොලීසිය විසින් දහවල් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය ඉදිරියේ කරුණු වාර්තා කළේය.
අධිකරණ නිලධාරීන් ඇතුළු සෙසු පුද්ගලයින්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සිදුවන බවත් ඉදිරි විමර්ශන කටයුතු සඳහා සීසීටීවී දර්ශන ලබා ගැනීමට අවශ්‍ය නියෝග නිකුත් කරන ලෙසත් පොලීසිය අධිකරණයෙන් ඉල්ලා තිබුණි.
එම ඉල්ලීම පිළිගත් ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විමර්ශන කටයුතු සඳහා පොලීසියට අවශ්‍ය කරන සීසීටීවී දර්ශන මුදාහැරීමට පියවර ගන්නා ලෙස දැන්වීය.
(පෙර පුවත 2025 පෙබරවාරි 19පෙ.ව.10.25)
අලුත්කඩේ උසාවියේ වෙඩි තැබීමකින් ගණේමුල්ල සංජීව මරුට
අලුත්කඩේ අධිකරණ සංකීර්ණය ඇතුළතදී වෙඩි තැබීමක් සිදුව තිබේ.
පොලීසිය පැවසුවේ, වෙඩි තැබීමෙන් සංවිධානාත්මක අපරාධකල්ලි නායකයෙකු වන ගණේමුල්ල සංජීව නැමැත්තා ජීවිතක්ෂයට පත්ව ඇති බවය.
ගණේමුල්ල සංජීව නැමැත්තාව නඩු කටයුත්තක් සඳහා බූස්ස බන්ධනාගාරයේ සිට අද (19) පෙරවරුවේ අලුත්කඩේ අධිකරණය වෙත රැගෙනවිත් තිබුණි.
නීතිඥවරයෙකු ලෙස වෙස්වලාගෙන පැමිණි පුද්ගලයෙකු විසින් වෙඩිතැබීම සිදුකර ඇතැයි අනාවරණය වී තිබේ.