රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ අභාවයෙන් හිස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන සඳහා ජගත් ප්‍රියංකර මහතා පත් වීමට නියමිත බව වාර්තා වේ.
ඒ සනත් නිශාන්ත මහතා පාර්ලිමේන්තුවට තේරී පත් වූ මැතිවරණයේ පුත්තලම් දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අදාළ මනාප ලැයිස්තුවේ තේරී පත් නොවූ අපේක්ෂයන්ගේ වැඩිම මනාප සංඛ්‍යාව ඔහුට හිමි වීම හේතුවෙනි.
එම මැතිවරණයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් වැඩි ම මනාප සංඛ්‍යාවක් ලබාගෙන එම දිස්ත්‍රික්කයේ පළමු වැනියා වීමට සනත් නිශාන්ත මහතාට හැකි වූ අතර ඔහු ලබා ගත් මනාප සංඛ්‍යාව 80082ක්.
එම ලැයිස්තුවේ හයවැනි ස්ථානය ජගත් ප්‍රියංකර මහතා විසින් හිමිකර ගත් අතර ඔහු ලබා ගත් මනාප සංඛ්‍යාව 40527කි.
එම මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට පුත්තලම දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු අසුන් 5ක් හිමි වූ අතර පිළිවෙලින් සනත් නිශාන්ත, ප්‍රියන්කර ජයරත්න, අරුන්දික ප්‍රනාන්දු, චින්තක අමල් මායාදුන්න සහ අශෝක ප්‍රියන්ත යන මහත්වරු එම අසුන්වලට පත් වූහ.
කටුනායක අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සහ ඔහුගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියා මියගියේය.
පොලීසිය පැවසුවේ, කටුනායක සිට කොළඹ දෙසට ධාවනය කරමින් තිබූ ඒ මහතා ගමන් කරමින් සිටි සුඛෝපභෝගි රථය, ඒ දෙසටම ධාවනය කරමින් තිබූ කන්ටේනරයක පිටුපස ගැටී ඇති බවයි.
අනතුරුව එම රථය ආරක්ෂක වැටේ ගැටී මේ අනතුර සිදුව තිබිණි.
අනතුරින් බරපතළ තුවාල ලැබූ රාජ්‍ය අමාත්‍යවරයාගේ රියදුරා රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.
කෙසේවෙතත් ජගත් ප්‍රියංකර, විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුතු ජාතික නිදහස්පෙරමුණේ පුත්තලම් දිස්ත්‍රික් නායකයා ලෙස කටයුතු කරන අතර ජාතික නිදහස්පෙරමුණ මේ වන විට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ඉවත්ව පාර්ලිමේන්තුව තුළ විපක්ෂයේ කණ්ඩායමක් ලෙස කටයුතු කරමින් සිටී.