චීනය ඇතුළු රටවල් වල විද්‍යාත්මක පර්යේෂණ යාත්‍රා ලංකාවට ඇතුළු නොකිරීමට ගත් තීන්දුව ‘රාජ්‍ය තාන්ත්‍රික ජයග්‍රහණයක්’ ලෙස ඇතැම් රටවල් සැලකූ බව ශ්‍රී ලංකාවේ සිටින ඉහළ පෙළේ චීන රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙක් පැවසීය.
කොළඹ චීන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී – යැන්වෙයි ජූ මහතා ඊයේ (සැප්. 12) කොළඹ වරාය නගරයේ දී මාධ්‍යවේදීන් පිරිසක් සමඟ පැවැති සාකච්ඡාවකදී මේ තීන්දුව සම්බන්ධයෙන් චීන සමාජ මාධ්‍ය තුළ පුළුල් කතිකාවතක් ඇති වී තිබුණු බවද කියා සිටියේය.
මිත්‍ර රටක් ලෙස ශ්‍රී ලංකාව මෙවැනි ක්‍රියාමාර්ගයක් ගැනීමට හේතුවූයේ ඇයිද පිළිබඳව චීන ජනතාව ප්‍රශ්ණ නගා තිබූ බව යැන්වෙයි මහතා මෙහිදී පැවසීය.
ස්වාධීන හා ස්වෛරී රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව ගත් තීරණයට චීනය සම්පූර්ණයෙන්ම ගරු කරන නමුත්, මෙම තීන්දුව ශ්‍රී ලංකා රජය විසින් ස්වාධීනව ගනු ලැබුවක්ද යන්න පිළිබඳව ගැටළු සහගත බව ඔහු පැවසීය.
“මේ තීරණය ශ්‍රී ලංකා රජය විසින් ගෙන තිබුණේ ස්වාධීනවද නැත්නම් බාහිර බලපෑම් නිසාද කියන එක තවත් ගැටළුවක්. අපිටත් කටකතා ගොඩක් ආරංචි වුණා… ඒ නිසා ශ්‍රී ලංකා රජය එවැනි තීරණයක් ගන්නා විට චීනය නිහඬව සිටියා.. මොකද අපි අපේ මිතුරාට ගරු කරනවා… පහුගිය වසර දෙකක් පුරාවට අපේ මිතුරා මුහුණදෙන අසීරු තත්ත්වය අපට තේරෙනවා… සමහර රටවල් ශ්‍රී ලංකාවේ දුෂ්කරතාවයෙන් ප්‍රයෝජන ගෙන අපේ ශ්‍රී ලාංකික මිතුරන්ට විශාල පීඩනයක් දුන්නා…”
සිය මිතුරන්ව අපහසුතාවයට පත් කිරීමට අකමැති බැවින් චීනය නිශ්ශබ්දව සිටි බව ඔහු පැවසීය.
කෙසේ වෙතත්, ‘සමහර මිතුරන්’ විද්‍යාත්මක පර්යේෂණ යාත්‍රා තහනම් කිරීමට ගත් තීරණය ‘රාජ්‍ය තාන්ත්‍රික ජයග්‍රහණයක්’ ලෙස සැලකූ බව යැන්වෙයි මහතා පැවසීය.
සැබෑම මිත්‍රයා හා හවුල්කරුවා චීනය බව ඉතිහාසය සහ අනාගතය විසින් ශ්‍රී ලාංකික මිතුරන්ට ඔප්පු කරනු ඇති බවත්, ශ්‍රී ලංකාව සමඟ ඉදිරියටත් එකට ගමන් කිරීමට සූදානම් බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
නෞකා විසින් සිදුකරන පර්යේෂණ චීනය විසින් තනිව සිදු කරන්නක් නොව, එම පර්යේෂණ තනිවම සිදු කිරීමට හැකියාවක් නොමැති ශ්‍රී ලංකාව සමඟ සහයෝගයෙන් සිදු කරන්නක් බවත් ඔහු පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකාව සමඟ මේ ආකාරයෙන් ඒකාබද්ධ පර්යේෂණ සිදුකිරීමට හැකියාව සහ කැමැත්ත ඇති වෙනත් රටක් ඇතිදැයි ඔහු ප්‍රශ්න කළේය.
ශ්‍රී ලංකාවේ අවසරයකින් තොරව මෙම පර්යේෂණයේ තොරතුරු කිසිවකු සමඟ බෙදාගත නොහැකි බවද ඔහු අවධාරණය කළේය.
චීනය සමඟ සබඳතා ශක්තිමත් කිරීමට ලංකාවේ නව රජය සූදානම් නම්……
මේ අතර, මාධ්‍යවේදීන් අමතමින් ශ්‍රී ලංකාවේ චීන තානාපති – චී ජන්හොං මහතා යළිත් අවධාරණය කර සිටියේ චීනය හා ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වය වසර 2,000ක අතීතයක් දක්වා දිවෙන බවයි.
ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත මැතිවරණය පිළිබඳව අදහස් දක්වමින් තානාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ චීනය සමඟ සබඳතා ශක්තිමත් කිරීමට ලංකාවේ නව රජය සූදානම් නම්, මිත්‍රත්වය හා සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම සඳහා චීනය සැමවිටම කැමැත්තෙන් සිටින බවයි.
ඡායාරූප – ශානිකා ජයසේකර । කැළුම් ශිවන්ත
ඡායාරූප: කැලුම් ශිවන්ත | ශානිකා ජයසේකර)